Tuesday, June 17, 2025
More
    Homeකාලීන පුවත්කාන්තාව පිළිබඳ 'ජීවවිද්‍යාත්මක' අර්ථකථනයට බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය

    කාන්තාව පිළිබඳ ‘ජීවවිද්‍යාත්මක’ අර්ථකථනයට බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය

    2010 සමානාත්මතා පනත යටතේ “කාන්තාව” ජීව විද්‍යාත්මකව අර්ථ දැක්වීමට එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව සහය දක්වා ඇත.

    එය ස්කොට්ලන්තය, එංගලන්තය සහ වේල්සය පුරා ලිංගිකත්වය පදනම් කර ගත් අයිතිවාසිකම් අදාළ වන ආකාරය පිළිබඳ දිගුකාලීන නීතිමය සටනක කූටප්‍රාප්තිය සනිටුහන් කරයි.

    ස්කොට්ලන්ත රජය, ලිංගිකත්වය පදනම් කර ගත් ආරක්ෂාවන් අදාළ විය යුත්තේ කාන්තාවන් ලෙස උපත ලැබූවන්ට පමණක් බවට තර්ක කරමින් නඩුවක් ගොනු කළ “For Women Scotland” නම් ප්‍රචාරක කණ්ඩායමට විනිසුරුවරු පක්ෂ වූහ.

    විනිසුරු ලෝඩ් හොජ් පැවසුවේ, මෙම තීන්දුව එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට එරෙහිව ලැබූ ජයග්‍රහණයක් ලෙස නොසැලකිය යුතු බව ය. තව ද, නීතිය තවමත් සංක්‍රාන්ති ලිංගිකයින්ට වෙනස් කොට සැලකීමට එරෙහිව ආරක්ෂාව සපයන බව ඔහු අවධාරණය කළේ ය.

    ‘සංක්‍රාන්ති ලිංගිකයින්ට ආරක්ෂාව සැලසෙනවා’

    ස්කොට්ලන්ත රජය අධිකරණයේදී තර්ක කළේ, ලිංගික අනන්‍යතාසහතිකයක් (GRC)ඇති සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට ජීව විද්‍යාත්මක කාන්තාවන්ට සමාන ලිංගිකත්වය පදනම් කර ගත් ආරක්ෂාවක් හිමි වන බව ය.

    සමස්ත බ්‍රිතාන්‍යයට ම අදාළ වන 2010 සමානාත්මතා පනතේ නිසි අර්ථ නිරූපණය තීරණය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

    විනිසුරු ලෝඩ් හොජ් පැවසුවේ, මෙහි කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ, “කාන්තාව” සහ “ලිංගිකත්වය” යන වචන නීති සම්පාදනයේ අර්ථ දක්වා ඇති ආකාරය සම්බන්ධයෙන් බව ය.

    ඔහු අධිකරණය හමුවේ පැවසුවේ, “මෙම අධිකරණයේ ඒකමතික තීරණය නම්, 2010 සමානාත්මතා පනතේ කාන්තාව සහ ලිංගිකත්වය යන යෙදුම් ජීව විද්‍යාත්මක කාන්තාවක් සහ ජීව විද්‍යාත්මක ලිංගිකත්වය ගැන සඳහන් කරන” බව ය.

    “නමුත් මේ තීන්දුව අපේ සමාජයේ එක් කණ්ඩායමක් හෝ කිහිපයක් තවත් කණ්ඩායමක් පරාජය කරමින් ලබපු ජයග්‍රහණයක් විදිහට දකින්න එපා. ඒක එහෙම දෙයක් නෙවෙයි.”

    පුරුෂයා සහ ස්ත්‍රිය පිළිබඳ ‘පොදු පිළිගැනීම’

    ස්කොට්ලන්ත රජයට එරෙහිව නඩුව ගොනු කළ ක්‍රියාකාරීන් අධිකරණයෙන් පිටව යන විට එකිනෙකා වැළඳගෙන සතුට පළ කළ අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙක් කඳුළු සලමින් සිටියහ.

    සමානාත්මතා පනත “ලිංගිකත්වය” සහ “ලිංගික සංක්‍රාන්තිය” ඇතුළු විවිධ ලක්ෂණ මත පදනම්ව වෙනස් කොට සැලකීමට එරෙහිව ආරක්ෂාව සපයයි.

    ලන්ඩන්හි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගෙන් ඉල්ලා තිබුණේ, එම නීතියෙන් “ලිංගිකත්වය” යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව – එය ජීව විද්‍යාත්මක ලිංගිකත්වය ද, නැතහොත් 2004 ලිංගික අනන්‍යතා පනතමගින් අර්ථ දක්වා ඇති පරිදි නීත්‍යනුකූල, “සහතික කළ” ලිංගිකත්වය ද යන්න පිළිබඳව තීන්දු කරන ලෙස ය.

    ස්කොට්ලන්ත රජය තර්ක කළේ, ස්ත්‍රී පුරුෂ භාවය හඳුනාගැනීමේ පනත මගින් “සියලු අරමුණු සඳහා” ලිංගිකත්වයේ වෙනසක් 2004 නීති සම්පාදනය මගින් පැහැදිලි කර ඇති බව ය.

    For Women Scotland නමැති සංවිධානය පුරුෂයා සහ ස්ත්‍රිය යන වචනවල “පොදු පිළිගැනීම අනුව” කෙරෙන අර්ථකථනයක් වෙනුවෙන් තර්ක කළ අතර, ලිංගිකත්වය යනු “වෙනස් කළ නොහැකි ජීව විද්‍යාත්මක තත්ත්වයක්” බව අධිකරණය හමුවේ පැවසීය.

    ගැටලුවේ ආරම්භය

    රාජ්‍ය අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලවල ස්ත්‍රී පුරුෂ සමතුලිතතාව සහතික කිරීම සඳහා නිර්මාණය කරන ලද පනත් කෙටුම්පතක් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් 2018 දී සම්මත කිරීමත් සමග මෙම නීතිමය ආරවුල ආරම්භ විය.

    For Women Scotland සංවිධානය චෝදනා කළේ, අමාත්‍යවරුන් එම නීතිය යොදා ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩල කෝටාවලට සංක්‍රාන්ති ලිංගිකයන් ඇතුළත් කර ඇති බව ය.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් ස්කොට්ලන්ත අධිකරණවල කිහිප වතාවක් ම විභාග කිරීම් සිදුව ඇත.

    source:bbc.com/sinhala

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments