මීට මාසයකට පමණ ඉහතදී මා මාගේ පෞද්ගලික වෛද්‍යවරයා හමු වීමට ගියේ, සමේ ඇතිව තිබූ දිලීර ආසාදනයකට ප්‍රතිකාර ගැනීමට ය. නමුත් ඒ වන විටත් ආසාදන තත්ත්වය වර්ධනය වී තිබුණු බැවින් මාහට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහය පැතීමට සිදු විය.
කෙසේ වෙතත්, ආසාදන තත්ත්වය පිළිබඳව මා සහ මාගේ පෞද්ගලික වෛද්‍යවරයා අතර සිදුවූ සංවාදය සබන් පිළිබඳ මා තුළ වූ අවබෝධය වෙනතකට යොමු කිරීමට හේතුවක් විය.
“අපි පිරිසුදු වෙන්න කියලා ඇඟ හොඳට සබන් දාලා සෝදනව නේ. එහෙම ඕනෑවට වැඩිය හේදුවා ම, හමේ තියෙන හිතකර බැක්ටීරියා මැරිලා, අපිට ආසාදන හැදෙන්න පුළුවන්,” ඔහු පැවසීය.
මෙම ප්‍රකාශය මාගේ සබන් භාවිතය පිළිබඳව දෙගිඩියාවක් ඇති වීමට තුඩු දුන් අතර එහි සත්‍යතාව පිළිබඳව සොයා බැලීමට ද මා පෙළඹවීය.
ඒ අනුව, මෙම ගැටලුව ගැන මම චර්ම රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්නගෙන් විමසා බැලුවෙමි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පිළිතුරු දුන්නේ, එහි සත්‍යතාවක් පවතින බව ය. ඕනෑවට වඩා සබන් යොදා සේදීමෙන් සමේ ඇති අම්ල මැන්ටලයට (acid mantle) හානි විය හැකි බව ඔහු පැවසීය.
අම්ල මැන්ටලය යනු, අපගේ සම මතුපිට ඇති තුනී ආරක්ෂිත තට්ටුවක් වන අතර එය බාහිරින් පැමිණෙන අහිතකර ද්‍රව්‍ය සහ බැක්ටීරියාවලට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරයි.
මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න පෙන්වා දුන්නේ, අපේ සම ආම්ලික බවත් අප සම පිරිසුදු කිරීමට භාවිත කරන සබන් වර්ග භාෂ්මික බවත් ය.
එබැවින් සම මත ඕනෑවට වඩා සබන් ගැල්වීමෙන් අම්ල මැන්ටලය බිඳ වැටෙන බව ඔහු පැවසීය.
මේ පිළිබඳව මම චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිටගෙන් ද විමසා බැලීමක් කළෙමි.
“අපේ සමේ සාමාන්‍ය pH අගය තියෙන්නේ 5.5ක් වගේ. හැබැයි සබන් හැම එකක ම වගේ pH අගය තියෙන්නේ 9-10ත් අතර ගාණක්. අපි සබන් ගාන්න ගාන්න, සමේ තියෙන්න ඕනේ pH අගයට වඩා උඩ පැත්තකට තල්ලු වෙනවා. එතකොට අර ආම්ලික pH අගයෙන් අපේ සමට තියෙන ආරක්ෂාව නැති වෙනවා,” මහාචාර්යවරයාගේ අදහසට දිගුවක් ඇය එකතු කළා ය.
එවිට බැක්ටීරියා, වෛරස්, දිලීර වැනි මිනිස් ශරීරයට අහිතකර ද්‍රව්‍ය ශරීයට ඇතුළු වී විවිධ ගැටලු ඇති කරන බව මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න පැවසීය.
“සබන්වලින් බැරියර් එක බිඳ වැටුණා ම පිටස්තර පරිසරයේ තියෙන අහිතකර දේවල් සම අභ්‍යන්තරයට යනවා,” යැයි ඔහු පැහැදිලි කළේ ඒ හේතුවෙන් ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව ද සඳහන් කරමිනි.
“එතකොට අත්වල චර්ම ප්‍රදාහ (eczema) තත්ත්ව එනවා. ගොඩක් සබන් පාවිච්චි කරන අයගේ නියපොතු ආශ්‍රිතව පැරනිකියා (paronychia) කියන ප්‍රදාහ තත්ත්වය ඇති වෙනවා. Candida කියලා දිලීරයක් තියෙනවා. අර ආරක්ෂක ආවරණය බිඳ වැටුණා ම ඒවා ඇතුළට ගිහිල්ලා, නියපොතු වටේ පැසවනවා. කොළ පාට වෙනවා.”
විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පෙන්වා දුන්නේ ද “ඕනෑවට හමට වතුරවත් හොඳ නැහැ. එතකොට ඕනෑවට වඩා පාවිච්චි [සබන්] කළොත් හානි වෙන්න පුළුවන්. හැබැයි අපි එදිනෙදා සබන් පාවිච්චි කරන එක හැමෝට ම නරකයි කියලා එකක් නැහැ. අපිට පිරිසුදු වීමට සබන් ඕනේ,” යනුවෙනි.
සමේ කාර්යභාරය කුමක් ද?

මිනිසාගේ සිරුරේ විශාල ම ඉන්ද්‍රිය සම වේ. මිනිස් සිරුර ම ආරක්ෂා කිරීමත්, ආවරණය කිරීමත්, හැඩයක් ලබා දීමත්, පෙනුමක් ලබා දීමත් සම මගින් සිදු කරයි. සමේ බාහිර පරිසරය සමග ගැටෙන ස්ථාන රළු බවක් ගනී. එමෙන් ම සම රෝම දරමින් සිරුරට ආරක්ෂාව ලබා දෙන අතර නව සෛල නිපදවමින් පැරණි සෛල ඉවත් කරයි.
එකිනෙකාගේ සම විවිධ වන අතර වියළි, තෙල් සහිත, සංවේදී හෝ සාමාන්‍ය සමක් සහිත පුද්ගලයින් අපට හමුවේ.
“අපේ සමේ ප්‍රාථමික කාර්යයක් තමයි බාහිර පරිසරයෙන් අභ්‍යන්තරය ආරක්ෂා කිරීම,” යැයි සමේ කාර්ය භාරය පිළිබඳව සඳහන් කරමින් මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න පෙන්වා දුන්නේ ය.
ඊට අමතරව පරිවෘත්තීය ද්‍රව්‍ය බැහැර කිරීමට උදව් කිරීම, දේහ උෂ්ණත්වය පාලනය සහ පාරජම්බුල කිරණවලින් ශරීරය ආරක්ෂා කිරීමට සම මගින් ඉටුවන තවත් කාර්යයන් අතර වේ.
සමස්තයක් වශයෙන්, එය අපගේ ශරීර බරෙන් 16%ක් පමණ වේ. මිනිස් සමේ අපිචර්මය සහ චර්මය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකි.
‘දුර්වල සමක් තියෙන කුඩා දරුවන්ට සබන් හොඳ නැහැ’

දුර්වල සමක් ඇති කුඩා දරුවන්ට සබන් භාවිතය අහිතකර බව මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න පැවසීය.
එවැනි දරුවන් සඳහා වෛද්‍ය උපදෙස් මත සබන් වෙනුවට ආදේශක භාවිත කිරීම සුදුසු බව ඔහු පෙන්වා දුන්නේ ය.
“ස්කින් බැරියර් එක දුර්වල ළමයින්ට සබන් පාවිච්චි කළොත් සම වේලිලා චර්ම ප්‍රදාහ (eczema) ඇති වෙන්න පුළුවන්. රතු වෙලා කසනවා,” යැයි මහාචාර්යවරයා ඇති විය හැකි රෝගී තත්ත්ව පිළිබඳව පැහැදිලි කළේ ය.
“ඒ වගේ රෝගී තත්ත්වයක් තියෙන ළමයි පාවිච්චි කරන්න ඕනේ සබන් ආදේශක. සබන් ආදේශකයක් විදිහට අපි බහුලව පාවිච්චි කරන්නේ Aqueous cream කියන එක.”
ඊට එකඟ වෙමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ද පෙන්වා දුන්නේ, වියළි සමක් ඇති වැඩිහිටියන්ට ද සබන් වෙනුවට ආදේශ භාවිත කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන බව ය.
හිතකර ක්ෂුද්‍ර ජීවීන් සහ කාන්තාවන්ට පණිවිඩයක්!

සමේ සිටින හිතකර ක්ෂුද්‍ර ජීවින් විනාශ වීම බොහෝ දුරට අදාළ වන්නේ, සමේ සංවේදී ස්ථානවලට බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මා හා පැවසුවා ය.
“කිහිලි, ඉකිලි වගේ තැන්, විශේෂයෙන් කාන්තාවන්ගේ පෞද්ගලික ප්‍රදේශ,” එවැනි සංවේදී ස්ථාන බව ඇය පෙන්වා දුන්නා ය.
“අපේ සමේ ආරක්ෂාවට ක්ෂුද්‍ර ජීවීන් (microbiome) ඉන්නවනේ. නැත්නම් commensal microflora. ඒ ක්ෂුද්‍ර ජීවීන් අපි ඕනෑවට වඩා සබන් පාවිච්චි කරලා pH අගය වැඩි කළොත් හරි, ඩ්‍රයි කළොත් හරි එයාලා එතනින් අයින් වෙන්න පුළුවන්,” ඇය එය සිදුවන ආකාරය පැහැදිලි කළා ය.
“ඒකට හොඳ ම උදාහරණය තමයි කාන්තාවන්ගේ පෞද්ගලික ප්‍රදේශ, යෝනි මාර්ගය. එතන අපි ඕනෑවට වඩා සබන් දාලා සේදුවොත් ලැක්ටොබැසිලස් (lactobacillus) කියන හිතකර බැක්ටීරියා එක අයින් වෙන්න පුළුවන්. ලැක්ටොබැසිලස් අයින් වුණා ම එතන ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන් කැන්ඩිඩා (Candida) කියන දිලීරය. ඒ නිසා අපි කාන්තාවන්ට කියනවා සබන් දදා පෞද්ගලික ප්‍රදේශ පිරිසුදු කරන්න එපා කියලා,” විශේෂඥ වෛද්‍යවරිය අනිසි සබන් භාවිතය නිසා කාන්තාවන්ට ඇතිවිය හැකි ගැටලු පිළිබඳව සඳහන් කරමින් පැවසුවා ය.
කෙසේ වෙතත්, සමේ සිටින හිතකර ක්ෂුද්‍ර ජීවීන් වැඩි වශයෙන් ප්‍රතිජීවක ඖෂධ හෝ ප්‍රතිජීවක ක්‍රීම් භාවිතයෙන් ද විනාශ විය හැකි බව මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න මා හා පැවසීය.
ඊට අමතරව අනිසි ලෙස සබන් භාවිතයෙන් සම මතුපිට ඇති තෙල් සහිත බව ඉවත් වීමට සිදුවන බව ඔහු සඳහන් කළේ ය.
“සමේ තියෙන තෙල්වලින් moisturising effect (තෙතමනය) එකක් එන්නේ හමෙන් වතුර වාෂ්ප වීම වැළැක්වීමෙන්. තෙතමනය රඳවා ගන්න එකෙන් කරන්නේ සමේ අපිචර්මයට වතුර ලබා දෙන එක.”
එය ස්වාභාවික මොයිස්චරයිසින් සාධකය (NMF) ලෙස හඳුන්වන බව ත් එහි යූ රියා, ලැක්ටික් ඇසිඩ්, එසෙන්ෂල් ෆැටී ඇසිඩ් ආදී සංඝට අඩංගු වන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
“ඒ ටික තමයි හේදිලා යන්නේ සබන්වලින්,” මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
සබන් පාවිච්චි කරන්න ඕනේ මොන වෙලාවට ද?

සමේ තැවරී ඇති තෙල් වැනි අපද්‍රව්‍ය, දහඩිය සහ වෙනත් අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමට සබන් උපකාරී වන බව මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න පැවසීය.
“උදාහරණයක් විදිහයට තෙල් එක්ක වැඩ කරනවා කියලා හිතමුකෝ. සමේ ගෑවිලා තියෙන තෙල් වගේ දෙයක් ඉවත් කරන්න සබන් අවශ්‍යයි. මොක ද ඒවා තදින් සමට බැඳෙන හින්දා. ඊළඟට මඩ වගේ දේවල් සෝදා ගන්න සබන්වල තියෙන ඉමල්සිෆයින් ඇක්ෂන් (emulsifying action) කියන එක අවශ්‍යයි. සබන්වලින් ඒ බැඳිලා තියෙන අංශු බුරුල් කරලා ඉවත් කරනවා. ඒකයි සබන්වල තියෙන වාසිය,” ඔහු පැහැදිලි කළේ ය.
කෙසේ වෙතත්, දිනකට දෙවරක් සබන් භාවිතය හානි දායක නොවන බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
“ඕනෑවට වඩා පාවිච්චි කළොත් සහ විශේෂයෙන් ම සංවේදී සමක් තියෙන අය පාවිච්චි කළොත් තමයි සම වේලෙන්න බලන්නේ.”
දිනකට දෙවරක් වුව ද පමණ ඉක්මවා සබන් යෙදීම සමට අහිතකර බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කළා ය.
“අපි පිරිසුදු වෙන්නේ දවසට දෙපාරක් වගේ නේ උපරිම. ඒ වෙලාවට සබන් ගෑවට කමක් නැහැ. හැබැයි ඒ වෙලාවට සබන් ලොකු වෙලාවක් ගාන එක ගැලපෙන්නේ නැහැ. ගාන වාර ගණන වැඩි වීම, පාවිචිචි කරන ප්‍රමාණය වැඩි වීම, සෝදන්න ගත කරන වෙලාව වැඩි වීම… ඒක කරන්න හොඳ නැහැ,” ඇය පෙන්වා දුන්නා ය.
“අපි සබන් පාවිච්චි කරන්නේ, තෙල් – කුණු ඉවත් කරලා පිරිසුදු වෙන්න නේ. ඒකට තට්ටු තට්ටු සබන් ගාලා, අතුල්ලලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා යම් කිසි සීමාවක් තුළ සබන් පාවිච්චිය බහුතර ශ්‍රී ලාංකිකයින්ට ගැටලුවක් නෙවෙයි.”
සබන් ගන්න කලින් හිතන්න ඕනේ දේවල් තියෙනවා ද?

බේබි සෝප්, ටොයිලට් සෝප්, බේදින් බාර්, ලික්විඩ් සෝප් සහ ලොන්ඩ්‍රි සෝප් ආදී ලෙස වෙළෙඳපොළේ සබන් වර්ග පවතින චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසුවා ය.
“ලංකාවේ බහුතර මිනිස්සුන්ට ඔය තියෙන සබන් හෝ බේතින් බාර් වර්ග දෙකෙන් ම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අපි ගොඩ දෙනෙකුට සාමාන්‍ය සබන් පාවිච්චි කරන්න පුළුවන්,” ඇය පැහැදිලි කළා ය.
විශේෂ විකල්පවලට යොමු විය යුත්තේ, වියළි සමක් ඇති සහ සමේ රෝග ඇති පුද්ගලයින් බව යැයි ඇය පැවසුවේ, “මම අර කලින් කිව්වා වගේ පෞද්ගලික ප්‍රදේශවලට ගොඩාක් සැර සබන් හොඳ නැහැ,” යනුවෙන් නැවතත් අවධාරණය කරමිනි.
සබන් කියන එකේ හොඳ නරක ගැන එහෙම පොදුවේ කියන්න හරි අමාරුයි. සබන්වලට අමතරව එකතු වෙන දේවල් අනුව ඒකේ ගුණාත්මක බව වෙනස් වෙනවා. සබන් කියන්නේ ගොඩක් වෙලාවට පෞද්ගලික තෝරා ගැනීමක්. සමහරු ඒකෙ සුවඳට කැමතියි,” විශේෂඥ වෛද්‍යවරිය සංවාදය අවසන් කරමින් මා හා පැවසුවා ය.
source:bbc.com/sinhala