Wednesday, January 22, 2025
More
    Homeසෞඛ්‍ය හා ජීවිතයIVF ප්‍රතිකාර ගැන ඔබ දැනගත යුතු වැදගත් ‘නඩු තීන්දුවක් - එය මදසරු...

    IVF ප්‍රතිකාර ගැන ඔබ දැනගත යුතු වැදගත් ‘නඩු තීන්දුවක් – එය මදසරු රෝගීන්ට එය කෙසේ බලපානු ඇති ද?

    මෙම තීරණය ප්‍රාන්තයේ අයිවීඑෆ් ප්‍රතිකාරවල අනාගතය ගැන සැක මතු කිරීමට තුඩු දී ඇත්තේ, එහි ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා සපයන්නන් රැසක් එම සේවාව අත්හිටුවීමට පියවර ගැනීමත් සමග ය. වෛද්‍ය විශේෂඥයින් සහ ප්‍රජනක උපදේශක කණ්ඩායම් අනතුරු ඇඟවූයේ, මෙම තීන්දුව ඇලබාමා සහ ඉන් පිටතත් මදසරුභාවයට ප්‍රතිකාර කිරීමේදී ඍණාත්මක ප්‍රතිඵල අත් කර දිය හැකි බව ය.

    ගබ්සා කිරීමට විරුද්ධ ඇතැම් කණ්ඩායම් කළලවලට වඩා වැඩි නීතිමය ආරක්ෂාවක් ලැබිය යුතු බවට තර්ක කරමින් මෙම තීන්දුව ප්‍රශංසාවට ලක් කළහ.

    මෙවැනි නඩුවක් විභාග වූයේ ඇයි සහ අධිකරණය ලබා දුන් තීන්දුව කුමක් ද?

    මෙම සිද්ධිය මතුවන්නේ, 2020 වසරේදී සාඑල්‍යතා සායනයකදී තම කළල අහිමි වූ යුවළ තුනක් එය වැරදිසහගත ක්‍රියා හේතුවෙන් සිදු වූ මරණ බව පවසමින් ගොනු කරන ලද නඩුවකිනි. රෝගියෙකු කළල තැන්පත් කර ඇති ස්ථානයට කිසිදු වග විභාගයකින් තොරව පැමිණ ඒවා ස්පර්ශ කිරීමේදී අනපේක්ෂිත ලෙස ඒවා අතින් ගිලිහී බිම වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම කළල විනාශ වී ඇත.

    මෙම යුවළ ‘Center for Reproductive Medicine’ සහ ‘Mobile Infirmary Association’ යන ආයතන ද්විත්වයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළේ, ප්‍රාන්තයේ බලාත්මක වැරදිසහගත ක්‍රියා හේතුවෙන් කුඩා දරුවෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් ඇති පනත යටතේ ය. එම නීතිය යටතට භ්‍රෑණ ගැනුණ ද අයිවීඑෆ් නිසා හට ගන්නා කළල යටත් නොවේ. කෙසේ වෙතත්, එම කළල පුද්ගලයෙකු හෝ දරුවෙකු ලෙස නිර්වචනය කළ නොහැකි බව ත් මෙම නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව ත් පහළ අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබ තිබිණි. නමුත් තම තීන්දුව ලබා දීමේදී ඇලබාමා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම යුවළගේ පාර්ශවය ගත් අතර ශීත කළ කළල “දරුවන්” ලෙස සලකන බවට තීන්දු කළේ ය.

    වැරදිසහගත ලෙස මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වන නීතිය “සියලු නූපන් දරුවන්ට, ඔවුන්ගේ සිටින ස්ථානය කුමක් වුව ත්” අදාළ වන බව එම තීන්දුවේ සඳහන් වෙයි. බහුතර මතය සමග එකඟ වෙමින් අගවිනිසුරු ටොම් පාකර් මෙසේ ලිවීය: “උපතට පෙර සිට ම, සියලු මිනිසුන්ට දෙවියන් වහන්සේගේ ස්වරූපය ඇත, ඔහුගේ මහිමය නැති නොකර ඔවුන්ගේ ජීවිත විනාශ කළ නොහැක.”

    ඉන් ඇලබාමාහි මදසරු රෝගීන්ට සිදුවන්නේ කුමක් ද?

    මෙම තීන්දුව මගින් අයිවීඑෆ් තාක්ෂණය තහනම් කිරීම හෝ සීමා නොකෙරේ. මෙම නඩුව ගොනු කළ යුවළවලට ඇත්ත වශයෙන් ම අවශ්‍ය වූයේ, එම ක්‍රමවේදය හරහා තමන්ට ද විසඳුමක් සොයා ගැනීම ය. නමුත් මෙම තීරණයත් සමග ඇලබාමා නීතිය යටතේ, අයිවීඑෆ් තාක්ෂණය මගින් දරුවන් බිහි කිරීමේ ඇතැම් අංග නීත්‍යනුකූල ද යන්න පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි බව විශේෂඥයෝ පවසති. කළලයක් පුද්ගලයෙකු ලෙස සලකන්නේ නම්, ඒවා සායනවලදී භාවිත කිරීමට සහ තැන්පත් කිරීමට අවසර දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කළ හැකි ය.

    ප්‍රජනක අයිතීන් සඳහා වූ මධ්‍යස්ථානයේ (Center for Reproductive Rights) රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ එලිසබෙත් ස්මිත් බීබීසීය වෙත ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසුවා ය: “සෑම [අයිවීඑෆ්] කළලයක් ම භාවිත කරන්නේ නැහැ, හැම කළලයකට ම එසේ කළ නොහැකි යි.”

    “කළල සඳහා නීත්‍යනුකූල පුද්ගලභාවය ලබා දෙන නීති සම්පාදනය කිරීමෙන් බොහෝ අය තම පවුල් ගොඩනැගීමේදී රඳා පවතින විද්‍යාවක් වන අයිවීඑෆ් භාවිතයට විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්.”

    නීතිය පිළිබඳව ඇති අපැහැදිලිභාවය එම ක්‍රමවේදය පවතින්නේ ද හෝ එය නීත්‍යනුකුල ද යන්න ගැන කනස්සල්ලට පත් විය හැකි රෝගීන් අතර ද මතු විය හැකි ය.

    ඇලබාමා ප්‍රාන්තයේ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “මෙම තීරණයේ අදහස සියලු ම ඇලබාමියානුවන්ට බලපාන අතර පවුලක් ගොඩ නැගීමට කැමති අයට සාඑල්‍යතාවය සඳහා ඇති විකල්ප සීමා වී ඇති බැවින් දරුවන්, මුණුබුරන්, ලේලියන්, බෑණනුවන් සහ ඥාති සොහොයුරන් අඩු වීමට එය හේතු වනු ඇත.”

    මෙය එක්සත් ජනපදයේ ගබ්සා විවාදය සමග සම්බන්ධ වන්නේ කෙසේ ද?

    2022 වසරේදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය රට පුරා ගබ්සාව සඳහා තිබුණු අයිතිය අහෝසි කිරීමත් සමග එම ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ ම නීති සම්පාදනය කිරීමට ප්‍රාන්තවලට දොර විවර කළේ ය. මෙම තීරණයෙන් පසු, රිපබ්ලිකන් පක්ෂය පාලනය යටතේ ඇති ප්‍රාන්ත එය සීමා කිරීමට පියවර ගත් අතර ඩිමොක්‍රටික් පාලනය යටතේ ඇති ප්‍රාන්ත ඒ සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීමට පියවර ගෙන ඇත.

    ඇලබාමා ප්‍රාන්තයේ දැනටමත් ගැබ් ගත් පසු කිසිදු අවස්ථාවක ගබ්සා කිරීම සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත.

    ධවල මන්දිරය ඇලබාමා තීන්දුව හැඳින්වූයේ, “ශ්‍රේෂ්ඨාධිකරණය රෝ එදිරිව වේඩ් තීන්දුව අවලංගු කිරීමත් සමග පවුල්වලට ගත හැකි වඩා ත් පෞද්ගලික තීරණ සමහරක් පාලනය කිරීමට දේශපාලකයන්ට මග පෑදුණු අවස්ථාවේ ඇති වනු ඇතැයි අප බලාපොරොත්තු වූ ආකාරයේ ම අවුල් සහගත තත්ත්වයක්,” ලෙසිනි.

    ගබ්සාවට විරුද්ධ පාර්ශව ද මෙම තීන්දුව දෙස හොඳින් බලා සිටිති. කළලයක් හෝ භ්‍රෑණයක් (ගැබ) නීත්‍යනුකූලව පුද්ගලයෙකු ලෙස සලකනු ලබන්නේ කවදා ද යන ප්‍රශ්නය බොහෝ ප්‍රාන්තවල ගබ්සාව සීමා කිරීමේදී බලාපාන සාධකයකි. නීති කටයුතු සම්බන්ධයෙන් පෙනී සිටින සම්ප්‍රදායික ක්‍රිස්තියානි කණ්ඩායමක් වන ‘The Alliance Defending Freedom’, ඇලබාමා තීන්දුව විස්තර කළේ, “ජීවය ලද දැවැන්ත ජයග්‍රහණයක්,” ලෙසිනි.

    “තත්ත්වය කුමක් වුවත්, පිළිසිඳ ගත් මොහොතේ සිට සියලු මිනිස් ජීවිතවලට වටිනාකමක් ලැබෙනවා,” එහි ප්‍රකාශිකා ඩෙනිස් බර්ක් බීබීසීයට ප්‍රකාශයක් කරමින් පැවසුවා ය. “ඇලබාමා නීතිය මෙම මූලික සත්‍යය පිළිගන්නා බව අධිකරණය නිවැරදිව හඳුනා ගැනීම සම්බන්ධයෙන් අපි කෘතඥ වෙනවා.”

    අනෙකුත් ගබ්සා විරෝධී ක්‍රියාකාරීන් පැවසුවේ, තම මතය අනුව ගැබ් ගැනීමක් අවසන් කිරීම හා සසඳන විට අයිවීෆ් පැහැදිලි සදාචාරාත්මක ගැටලුවක් නොවන බව ය.

    2018 වසරේදී ගබ්සාව පිළිබඳ ඇලබාමාහි ව්‍යවස්ථාව එහි වචනාර්ථ නිසි ලෙස ගලපමින් කෙටුම්පත් කිරීමට උපකාර කළ නීතිඥ එරික් ජොන්ස්ටන් බීබීසීයට මෙසේ පැවසීය: “නූපන් කළලවල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වැඩි දෙනෙක් සංසේචනය කළ ඩිම්බ සඳහා ආරක්ෂාවක් අවශ්‍ය යැයි කියාවි.” නමුත් දරුවන් ලැබීමට අයිවීඑෆ් භාවිත කළ ගබ්සාවට එරෙහි අදහස් ඇති යුවළ සිටින බව ඔහු පිළිගත් අතර තමන් ඔවුන්ව කිසිවිටෙක ත් හෙළා නොදකින බව ද පැවසීය.

    “ඒක උභතෝකෝටික ප්‍රශ්නයක්. සෑහීමකට පත් වෙන්න පුළුවන් උත්තරයක් නැති උභතෝකෝටික ප්‍රශ්නයක්,” ඔහු තම සඳහන් කළේ ය.

    අයිවීඑෆ් (IVF) යනු කුමක් ද?

    අයිවීඑෆ් තාක්ෂණය මගින් දරුවන් බිහි කිරීම ගැබ් ගැනීමේ ගැටලු ඇති කාන්තාවන්ට විසඳුමක් ලබා දෙයි. රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව එක්සත් ජනපදයේ ගැබ් ගැනීම්වලින් 2%ක් පමණ අයිවීඑෆ්හි ප්‍රතිඵලයකි.

    මෙම ක්‍රියාවලිය සිදු වන්නේ වන්නේ, කටුවක් ආධාරයෙන් කාන්තාවකගේ ඩිම්බ කෝෂවලින් ලබා ගන්නා ඩිම්බයක් රසායනාගාරයක් තුළදී පුරුෂයෙකුගේ ශුක්‍රාණු සමග එක් කිරීමෙනි. පසුව සංසේචනය වූ කළලය කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කරන අතර එමගින් ගැබ් ගැනීමක් සිදු වීමට මග පාදයි.

    නමුත් මෙම ක්‍රියාවලිය නිශ්චිත වශයෙන් ම සිදුවන බවට සහතිකයක් ලබා දිය නොහැකි අතර සාර්ථක ගැබ් ගැනීමක් සිදු කර ගැනීම සඳහා කිහිප වරක් උත්සහ ගැනීම සිදු විය හැකි ය. ඇතැම් අවස්ථාවලදී, ඇලබාමා නඩු විභාගයේදී මෙන්, සංසේචනය කළ කළල ද්‍රව නයිට්‍රජන් අඩංගු ටැංකිවල ශීත කර, තැන්පත් කර තිබේ. ඒවා දශකයක කාලයක් දක්වා වුව ද තැන්පත් කර තැබිය හැකි බව විශේෂඥයෝ පවසති.

    අනෙක් ප්‍රාන්තවල කුමක් විය හැකි ද?

    එක්සත් ජනපද ප්‍රාන්ත බොහෝ විට අනෙක් ප්‍රාන්තවල නීති අනුකරණය කිරීමට නැඹුරු වන අතර මෙම රටාව ගබ්සාව සමග කටයුතු කිරීමේදී ක්‍රියාත්මක වන අයුරු නිරීක්ෂණය කර ඇත. සාර්ථක ලෙස ව්‍යවස්ථාදායකය මගින් සම්මත කෙරුණු හෝ නීතිමය අභියෝගවලට ඔරොත්තු දුන් නීති හෝ ප්‍රතිපත්ති මොනවා ද යන්න පිළිබඳව ප්‍රාන්ත සෙසු ප්‍රාන්ත වෙතින් ඉඟි ලබා ගනී.

    ඇලබාමා තීන්දුව අදාළ වන්නේ එම ප්‍රාන්තය තුළ පමණක් වුව ද, විශේෂඥයින් පැවසුවේ, ශීත කළ කළල නීත්‍යනුකූලව දරුවන් හෝ පුද්ගලයන් ලෙස සැලකිය යුතු ය යන සංකල්පය ඉදිරියට ගෙන යාමේ අරමුණින් වෙනත් ප්‍රාන්තවලට ව්‍යවස්ථාදායක උත්සහයන් හෝ නඩු කටයුතු සිදු විය හැකි බව ය. එහෙත්, ගබ්සාව පිළිබඳ ප්‍රශ්නයේදී සිදු වූවාක් මෙන්, මෙම විශේෂිත නඩුව එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවසන් වනු ඇතැයි සිතිය නොහැකි බව ඔවුන් පවසන්නේ, ඇලබාමා තීන්දුව ප්‍රාන්ත අධිකරණය ලබා දුන් නිසා සහ එය ෆෙඩරල් නීතිය නොව ප්‍රාන්ත කටයුතු සම්බන්ධ නීතිය අර්ථ නිරූපණය කරන නිසා බැවිනි.

    මෙම තීන්දුව එක්සත් ජනපද දේශපාලනයට බලපාන්නේ කෙසේ ද?

    ගැබ ට වයස සති 23-25ක් පමණ වන කාලයක් දක්වා ගබ්සා කිරීමට ව්‍යවස්ථාපිත අයිතිය සහතික කළ රෝ එදිරිව වේඩ් නඩු තීන්දුව එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කළ දා සිට ගබ්සා කිරීමේ අයිතිය වෙනුවෙන් හඬ නැගීම ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට වාසිදායක ප්‍රශ්නයක් වී ඇත.

    ඇලබාමා තීන්දුවත් සමග, ඩිමොක්‍රටික් අපේක්ෂකයින්ට එක්සත් ජනපදය පුරා මදසරුභාවයට ඇති ප්‍රතිකාර සඳහා ප්‍රවේශය ආරක්ෂා කිරීම තම මැතිවරණ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේදී භාවිත කිරීමට හැකි වනු ඇත.

    මේ අතර, රිපබ්ලිකන් දේශපාලනඥයන්, බොහෝ විට එක්සත් ජනපදයේ ගබ්සාව තහනම් කිරීමට හෝ සීමා කිරීමට කැමති ආගමික සම්ප්‍රදායික මත දරන පාර්ශව දෙසට නැඹුරු වනු ඇත.

    රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, පක්ෂයේ නාම යෝජනා අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි තරගයේ ඉතිරිව සිටින එක ම සැලකිය යුතු තරගකරුවා වන නිකී හේලි මුල් අවස්ථාවේදී ඇලබාමා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුමත කළා ය.

    නමුත් එක රැයකින් ඇය සිය මුල් ප්‍රතිචාරය ආපසු හැරවීමට උත්සහ කරමින් වාර්තාකරුවන්ට පැවසුවේ, “මම ඇලබාමා තීන්දුවට එකඟ වුණා කියලා කිව්වේ නැහැ,” නමුත් කළලයක් “නූපන් දරුවෙකු ලෙස සැලකීමට” එකඟ වූ බව ය.

    bbc.com/sinhala ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments