Wednesday, January 22, 2025
More
    Homeපෝෂණයආසියාවේ ළදරු ආහාරවල ඇති සැඟවුණු සීනි ගැන හෙළිදරව්වක්

    ආසියාවේ ළදරු ආහාරවල ඇති සැඟවුණු සීනි ගැන හෙළිදරව්වක්

    ඇගේ වැඩෙන දරුවාට අවශ්‍ය ආහාර නිවසේදී සකසා ගැනීමට දවසේ ප්‍රමාණවත් කාලයක් ඇයට නොමැත. එහෙත්, ශීඝ්‍රයෙන් දියුණු වන පිලිපීනයේ ඇය වැනි කාර්ය බහුල, වැඩ කරන මව්වරුන් සඳහා විකල්ප රැසක් තිබේ.

    “මට මුල ඉඳලා මොනවා හරි හදන්න ගියොත්, ඒක හදන්න දෙගුණයක කාලයක් ගත වෙනවා,” ඇය පැහැදිලි කරයි.

    “ඒත් සෙරිලැක් ගත්තා ම, මට තියෙන්නෙ උණු වතුර ටිකක් දාලා මිශ්‍ර කරන්න විතර යි. මම ඒවා උදේට, දවල්ට, රෑට දවසට තුන් පාරක් පුතාට කවනවා. ඒක කවන්න ලේසියි, ඕන තැනක ගන්න තියෙනවා, ඒ වගේ ම මිලත් දරන්න පුළුවන්. වැඩ කරන අම්මලාට හැම අතින් ම හොඳ යි.”

    ජෙනිලින් මෑත කාලීනව වෙළඳපොළෙන් මිල දී ගත හැකි ළදරු ආහාර නිෂ්පාදන වෙත වැඩි වශයෙන් යොමු වන බොහෝ මව්වරුන්ගෙන් කෙනෙකි: අග්නිදිග ආසියාව පුරා ක්ෂණික ධාන්‍ය වර්ග, කැඳ වර්ග, පිරිසිදු ආහාර, බෑග් සහ කෙටි ආහාර අලෙවිය වසර පහක් තුළ දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

    ක්ෂණික කැඳ මිශ්‍රණයක් වන Cerelac පිලිපීනයේ Nestle සමාගමේ ඉහළ ම අලෙවියක් ඇති ආහාර නිෂ්පාදනයක් වන අතර, එය පහසුව පමණක් නොව මව්වරුන්ගේ අභිමතාර්ථ ද ඉටු කරයි. සියල්ල දැරිය හැකි මිලකට මිල දී ගත හැකි අතර ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙයි.

    සමාජ මාධ්‍යවල ක්ෂණික සෝදිසියකදී දක්නට ලැබුණේ, අභිමතාර්ථ සහිත මව්වරුන් පිරිසක් සහ ඔවුන්ගේ සිනාසෙන ළදරුවන් වැඩෙන දරුවන්ට අවශ්‍ය තීරණාත්මක පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් අඩංගු බවට එහි ගුණ වර්ණනා කරන ආකාරය යි.

    කෙසේ වෙතත්, නිෂ්පාදනය ලොව පුරා සිටින දෙමාපියන්ට ක්ෂණිකව හඳුනාගත හැකි වුව ද, හි ඇති අමුද්‍රව්‍ය එසේ නොවිය හැකි ය.

    මක්නිසා ද යත්, Cerelac, පිලිපීනයේ සහ එක්සත් රාජධානියේ දෙමාපියන්ට එකතු කරන ලද ක්ෂුද්‍ර පෝෂකවල ප්‍රතිලාභ පිරිනමන අතර, අග්නිදිග ආසියානු රටක් වන පිලිපීනයට වෙනත් රසයන් ද ලබා දෙයි: ඒ, එකතු කළ සීනි ය.

    මේ හේතුවෙන්, සාම්ප්‍රදායික ආහාර වේලක් වෙනුවට පහසු ආහාර වෙත දෙමාපියන් වැඩි වැඩියෙන් යොමු වන රටක සෞඛ්‍ය වෘත්තිකයෝ කනස්සල්ලට පත්ව සිටිති.

    Cerelac box with mother feeding son the infant cereal
    පිලිපීනයේ ළදරු ආහාර වෙළෙඳපොළෙන් 98%ක් අත්පත් කරගෙන ඇත්තේ, නෙස්ලේ සමාගම යි

    පිලිපීනයේ, නෙස්ලේ සමාගම පවසන්නේ, එය කෝඩෙක්ස් කොමිසමේ ප්‍රමිති සහ මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කරන බව ය. කෝඩෙක්ස් කොමිසම (Codex) යනු ආහාර නිෂ්පාදකයින්, රජයයන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලින් සමන්විත ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් පිහිටුවන ලද සාමූහිකයකි.

    Nestlé Nutrition ව්‍යාපාරයේ විධායක නිලධාරිනී ආර්ලීන් ටැන්-බැන්ටෝටෝ පැවසුවේ, “අපගේ නිෂ්පාදනවල එකතු කරන ලද සීනි, සෑම විට ම ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය සහ කෝඩෙක්ස් අනුගමනය කරන ජාත්‍යන්තර සහ දේශීය මාර්ගෝපදේශ මගින් නියම කර ඇති සීමාවට වඩා ගොඩක් අඩු යි. මේ ක්ෂේත්‍රයේ තියෙන විශේෂඥ ආයතන දෙක තමයි ඒ,” යනුවෙනි.

    එහෙත්, දැනට පවතින ප්‍රමිතීන් ප්‍රමාණවත් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇති අතර, වයස අවුරුදු 3ට අඩු ළමුන් සඳහා ඕනෑ ම ආහාරයක් තුළ සීනි සහ ලුණු වළක්වා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා යාවත්කාලීන කරන ලෙස නිර්දේශ කරයි.

    මේ අතර, අග්නිදිග ආසියාව පුරා ළදරු ආහාර 1,600ක් පිළිබඳව යුනිසෙෆ් සංවිධානය කළ අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක එකතු කළ සීනි සහ රසකාරක අඩංගු බව ය.

    ලෝහමය රසයක් ඇති යකඩ වැනි තීරණාත්මක පෝෂ්‍ය පදාර්ථවල රසය සහ මාළු සුවඳින් යුත් මොළයේ පෝෂකයක් වන DHA වල රසය වෙනස් කිරීමට අවශ්‍ය ඇයි ද යන්න පිළිබඳ සරල පැහැදිලි කිරීමක් Cerelac පැකට්ටුව මත මුද්‍රණය කර ඇතැයි ටැන්-බැන්ටෝටෝ පවසන්නී ය:

    “ක්ෂුද්‍ර පෝෂක ඌණතාව රට තුළ බහුලව පැතිරී ඇති අතර එය සමනය කිරීමේ අපගේ ප්‍රයත්නයන්හිදී අපි වගකීම්සහගත ලෙස කටයුතු කරනවා,” යනුවෙන් ටැන්-බැන්ටෝටෝ මහත්මිය පැවසුවා ය.

    “ළදරුවන්ගෙන් 97%ක දෛනික පෝෂණ අවශ්‍යතාව සපිරෙන්නේ නැහැ. අවුරුදු 0 සිට 5 දක්වා ළදරුවන්ගෙන් 40%ක් යකඩ ඌණතාව නිසා රක්තහීනතාවයෙන් පීඩා විඳිනවා. ඒ වගේ ම, රක්තහීනතාවය ජීවිත කාලය පුරා ම බලපාන බව කවුරුත් දන්නා දෙයක්. උදාහරණයක් විදිහට, වයස 0 සිට 5 දක්වා දරුවන්ගෙන් 20%ක මොළයේ වර්ධනය සහ ප්‍රතිශක්තිය අඩපණ වී තිබෙනවා. ඒ නිස යි අපි අපේ නිෂ්පාදන වැඩි දියුණු කරන්නේ.”

    මැනිලාහි සායනවලදී, ළදරුවන්ට සහ කුඩා දරුවන්ට මන්දපෝෂණයෙන් සිදුව ඇති බලපෑම් ඔවුහු නිරන්තරයෙන් දකිති.

    “සමහරු අඩුබර තත්ත්වයේ, තවත් සමහරු අධිබර මට්ටමේ. ඒ වගේ ම, තවත් අය දරුණු විදිහට මන්දපෝෂණයෙන් පෙළෙනවා,” එක් වෛද්‍යවරයෙක් බීබීසී වෙත පැවසීය.

    අධිබර දරුවන්ගේ වැඩිවීමක් සිදුව ඇත්තේ මන්දැයි නිශ්චිතව කිව නොහැක. ස්ථූලභාවය වැඩි වීමට ජීවන රටාවේ වෙනස්කම් සහ නාගරීකරණය ඇතුළු විවිධ සාධක බලපයි. නමුත් පෝෂණවේදීන් පවසන්නේ, තරුණ වයසේදී රස වරණයන් වර්ධනය වන අතර පිලිපීනයේ වැනි සමහර රටවල පැණි රස ආහාර ලබා දීම කලින් ආරම්භ කරන බව ය.

    වෛද්‍ය මියෑන් සිල්වෙස්ටර් වැනි මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි Cerelac වැනි නිෂ්පාදනයක එකතු කරන ලද සීනි මෙතරම් සැලකිල්ලක් දක්වන්නේ එබැවිනි. පිලිපීනයේ Cerelac හි වඩාත් ජනප්‍රිය වර්ගයේ සීනි ග්‍රෑම් 17.5ක් පමණ ඇත – එය ප්‍රමාණාත්මකව සීනි තේ හැඳි හතරක් ඉක්මවයි – නමුත් එයට ස්වභාවික සහ එකතු කළ සීනි යන දෙවර්ගය ම ඇතුළත් විය හැකි ය. නෙස්ලේ සමාගම පවසන්නේ, සීනි එකතු කිරීමක් නොකර සීනි රසය ගැනීමට විවිධ ප්‍රභේද හෝ රසයන් ඇති අතර එකතු කරන ලද සීනි රසයන් ද ඇති බව ය.

    “අපි නිතර ම සඳහන් කරන දෙයක් තමයි, කුපෝෂණය කියන්නේ මන්දපෝෂණය විතරක් නෙවෙයි. අධිබර හා ස්ථුල දරුවනුත් කුපෝෂණයට අයත් වෙනවා. ඒ වගේ ම, ආහාර පාලනය කිරීම ගොඩක් අමාරු දෙයක්,” ආචාර්ය සිල්වෙස්ටර් පැහැදිලි කරයි.

    “මේ සීනි මට්ටම් මේ ළදරුවන්ට ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ ගැන හිතද්දී මනස අවුල් වෙනවා.”

    පිලිපීනයේ යුනිසෙෆ් පෝෂණ නිලධාරිනී ඇලිස් එන්කරෝයි පවසන්නේ, ප්‍රාදේශීය, රජයේ රෙගුලාසි නොමැතිකමින් දෙමාපියන්ට ද විශේෂ අවාසියක් සිදුවන බව ය.

    “ඔබ යුරෝපයේ වෙනත් රටවලට ගියොත්… ඒ රටවල අලෙවි වන දේවල් පාලනය කරන රෙගුලාසි තියෙනවා. අන්තර්ගතයේ සහ ඇසුරුමේ ඇති දේ පිළිබඳව පැහැදිලි අදහසක් දීමට ඒ සමාගම් කටයුතු කරනවා. ඒකෙන් පවුලේ අයට සහ පාරිභෝගිකයින්ට ඔවුන්ට හොඳ සහ සෞඛ්‍යයට අහිතකර දේ තේරුම් ගන්න පහසු වෙනවා,” ඇය පෙන්වා දෙයි.

    නියාමනය අවශ්‍ය වන්නේ නිෂ්පාදනයේ හෝ ඇසුරුම්වල ඇති දේ සම්බන්ධයෙන් පමණක් නොවන බව ඇය වැඩිදුරටත් පවසයි. “අපි ඩිජිටල් ස්කෑන් පරීක්ෂණයක් කළා… අපි දැක්ක දේ තමයි සමාජ මාධ්‍යවල තියෙන දේවල්වලින් 99%ක් ම මිනිසුන් අවුල් කරනවා,” එන්කරෝයි පැවසුවා ය. “විශේෂයෙන් ළමයින් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ පළ කෙරෙන දේ නියාමනය කිරීමේ අවශ්‍යතාවක් මතු වෙලා තියෙනවා.”

    Chiara Maganalles or Mommy Diaries PH on social media films a post with her family
    පිලිපීනයේ සමාජ මාධ්‍ය මතධාරීන් රැසක් ළදරු ආහාර නිෂ්පාදන ප්‍රවර්ධනය කරති

    ෂියාරා මැගනලීස් හෙවත් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් දන්නා පරිදි Mommy Diaries PH අනුගාමිකයින් මිලියන 1.6කින් සමන්විය ය. Nestle සමාගමේ “Parenteam” අධ්‍යාපනික නාලිකාවේ YouTube වීඩියෝවක ඇය Cerelac හි ප්‍රතිලාභ පිළිබඳව සිය දස දහස් ගණනක් වන ග්‍රාහකයින්ට පැහැදිලි කරයි.

    ඇය වසර ගණනක් තිස්සේ එම නිෂ්පාදනය ප්‍රවර්ධනය කරයි. ඇයට එය දෙපාර්ශවයට ම වාසිසහගත ගනුදෙනුවකි.

    “මගේ පළවෙනි දරුවාට මුලින් ම සෙරිලැක් දුන්නේ පහසු නිසා… ඒක අපේ ආදායමටත් ගැලපෙනවා… ඒ වගේ ම පෝෂ්‍ය කොටස් නිසාත් මම ඒක දුන්නා. ඒකෙ යකඩ පෝෂණය වැඩි යි,” ඇය පවසයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කිරීමෙන් ෂියාරාගේ ජීවිතය ද පරිවර්තනය වී ඇත – ඇයට දැන් සන්නාම ගනුදෙනුවලින් උපයන මුදලින් ඇගේ පවුලට උපකාර කිරීමට හැකි ය.

    නමුත් විවේචකයින් පවසන්නේ, සාම්ප්‍රදායික වෙළෙඳ ප්‍රචාරණ ක්‍රම හා සසඳන විට ගෙවීම් ලබා කරන ප්‍රවර්ධන විශ්වාසදායක විශේෂඥ උපදෙස් ලෙස පෙනෙන බව ය. ෂියාරා නිර්දේශ කළ පරිදි දිනකට කිහිප වතාවක් සෙරිලැක් දීම නෙස්ලේ සමාගම බීබීසීයට පැවසූ දෙයට පටහැනි ය.

    ටැන්-බැන්ටෝටෝ එය විස්තර කළේ, එය ළදරුවෙකුගේ ආහාර වේලට “අනුපූරක” ආහාරයක් වන අතර එය “මුළු දවස පුරා” නොගත යුතු බව ය.

    පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් “අවම වශයෙන් එක සැරයක් දෙන්න,” ඇය පැවසීය.

    නෙස්ලේ සමාගම පවසන්නේ, දිනපතා පලතුරු, එළවළු සහ මස් වැනි විවිධ ආහාර සමග ළදරු ධාන්‍යමය ආහාර දිනකට එක් වරක් ලබා දීම නිර්දේශ කරන බව ය. සමාගම පවසන්නේ, තොරතුරු එහි නිෂ්පාදන ලේබලවල සඳහන් කර ඇති බව ය. එහෙත්, ඊ-වාණිජ්‍ය අඩවිවල ප්‍රවර්ධන ද්‍රව්‍ය සහ එහි අධ්‍යාපනික වේදිකාව දිනකට තුන් වරක් දක්වා Cerelac නිෂ්පාදන ආහාරයට ගැනීම යෝජනා කරයි.

    Imee Marcos talking to the BBC in the Philippines Senate
    ත්මන් ජනාධිපතිවරයාගේ සොහොයුරිය වන ඉමී මාර්කෝස්, ළදරු ආහාරවල සීනි එකතු කිරීම අපරාධයක් බවට පත් කරන පනතකට අනුග්‍රහය දක්වයි

    පිලිපීනයේ නියාමනය සඳහා ඇති ඉල්ලුමට යම් තරු බලයක් ඇත. වත්මන් ජනාධිපතිවරයාගේ සහෝදරිය සහ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ දියණිය වන ඉමී මාර්කෝස් ළදරු ආහාර නිෂ්පාදකයින් ඔවුන්ගේ නිෂ්පාදනවලට සීනි එකතු කිරීම තහනම් කරන පනතකට අනුග්‍රහය දක්වයි.

    ඊට අනුකූල වීමට අපොහොසත් වුවහොත් විශාල දඩයකට ලක්විය හැකි අතර නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන්ට වසර 1 සිට 5 දක්වා සිර දඬුවම් නියම කළ හැකි ය.

    “ඒක ක්‍රියාත්මක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. බොහෝ පනත් සහ ආහාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන තියෙනවා, මේ සියලු ආහාර සපයන දැවැන්ත බහුජාතික සමාගම් ගොඩක් බලවත් වන අතර අද වන තුරු මට ඇහුම්කන් දීමක්වත් කරලා නැහැ, ”සෙනෙට් සභික ඉමී මාර්කෝස් බීබීසීයට පැවසීය.

    නෙස්ලේ සමාගම පවසන්නේ, තමන් පැමිණිලිවලට සවන් දෙන බවත්, ළදරු ආහාරවල එකතු කරන ලද සීනි ක්‍රමානුකූලව ඉවත් කරන බවත් ය. නමුත් නිෂ්පාදනයේ පෝෂණ පැතිකඩ සහ සංයුතිය රසය සමග සමතුලිත කිරීමට කාලය ගතවන බව ද එම සමාගම පැවසීය.

    සමාගමේ වැඩියෙන් ම අලෙවි වන සැකසූ ආහාරයෙහි සීනි රහිත ප්‍රභේදයක් ලබා ගැනීමට නියමිත අතර, මීළඟ “වසර දෙක තුන” තුළ එකතු කරන ලද සියලු ම සීනි සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ටැන්-බැන්ටෝටෝ පැවසුවා ය.

    මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණවලින් පෙනී යන්නේ, ළදරුවෙකුගේ ජීවිතයේ පළමු දින 1,000 තුළ – පිළිසිඳ ගැනීමේ සිට වයස අවුරුදු දෙක දක්වා – සීනි භාවිත නොකිරීමෙන් වැඩිහිටි ජීවිතයේ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම අඩු කරන බව ය.

    දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සොයා ගත්තේ, මුල් ජීවිතයේ සීනි භාවිතය සීමා කිරීම දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම 35%කින් සහ අධිරුධිර පීඩනය 20%කින් අඩු කරන බව ය.

    ජීවිතයේ පළමු දින 1000 පුද්ගලයෙකුගේ අනාගත සෞඛ්‍යය හැඩගස්වා ගත හැකි තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව විශේෂඥයෝ විශ්වාස කරති.

    Source: https://www.bbc.com/sinhala/articles/c1mlnzv722do

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments