Tuesday, June 24, 2025
More
    Homeකාලීන පුවත්ඔබේ තැන්පතුවලින් රැඳවුම් බදු අය වීම නිදහස් කර ගන්නා ආකාරය ගැන ඔබ...

    ඔබේ තැන්පතුවලින් රැඳවුම් බදු අය වීම නිදහස් කර ගන්නා ආකාරය ගැන ඔබ දැන ගත යුතු කරුණු 5ක්

    බැංකු හෝ මූල්‍යායතනවල ඇති තැන්පතුවල පොළියෙන් අය කරගනු ලබන රැඳවුම් බද්ද පසුගිය අප්‍රේල් 01 වන දායින් ඇරඹි නව තක්සේරු වර්ෂයේදී 5%ක බදු ප්‍රතිශතයේ සිට 10%ක් දක්වා ඉහළ දැමූ අතර, පොළිය අය වන වාර්ෂික ආදායම් සීමාව රු.1,200,000.00 සිට රු. 1,800,000.00 දක්වා ඉහළ දැමිණි.

    ඒ අනුව තක්සේරු වර්ෂයක, එනම් වසරේ අප්‍රේල් 01 සිට මීළඟ වසරේ මාර්තු 31 දක්වා තක්සේරු ආදායම 1,800,000.00ට අඩු ඔබගේ තැන්පතුවලින් රැඳවුම් බදු අය නොකිරීමට බදු සහනයක් ලබා දී තිබේ.

    නමුත් ඔබ එම බදු සහනය සඳහා අවශ්‍ය ලේඛන භාර දී නොමැති නම් ඉහත අදායම් සීමාවට වඩා ඔබේ වාර්ෂික අදායම අඩු වුව ද ඔබේ තැන්පතුවලට ලැබෙන පොළියෙන් මෙම බද්ද අය වේ.

    එසේනම් ඔබ මේ බදු සහනය ලබා ගන්නේ කෙසේ ද?

    1. බැංකුවට හෝ මූල්‍ය සමාගමට ප්‍රකාශයක් ලබා දෙන්නේ කොහොම ද?

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අප්‍රේල් 23 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ, තක්සේරු වර්ෂයක අදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයන් විසින් මෙම රැඳවුම් බදු සහනය ලබා ගැනීම සඳහා බැංකුවට ප්‍රකාශයක් ලබා දිය යුතු බව ය.

    ඒ අනුව තක්සේරු වර්ෂයක ඔබගේ අදායම ඉහත සීමාවට අඩු නම් ඔබ විසින් ඒ බව සහතික කරන ලද ප්‍රකාශනයක් ඔබගේ තැන්පතු සහිත බැංකුවට හෝ මූල්‍ය ආයතනයට භාර දිය යුතු ය.

    මෙම ප්‍රකාශයේ ආකෘති පත්‍රයක් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බා ගත කරගත හැකි අතර, එසේත් නැතිනම් ඔබගේ බැංකුවෙන් හෝ මූල්‍ය ආයතනයෙන් ද ලබා ගත හැකි ය.

    මීට පෙර දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත මෙම ලේඛන ලබා දී සිදු කළ යුතු ව තිබූ සංකීර්ණ ක්‍රියාවලියක් මේ ආකාරයෙන් බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කර සරල සහ පහසු ක්‍රියාවලියක් බවට පත් කළ බව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

    ඔබ විසින් බැංකුවට ලබා දෙනු ලබන මෙම ප්‍රකාශය තුළ ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය මෙන් ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් කළ යුතු ය.

    2. TIN අංකය නැතිනම් කළ යුත්තේ කුමක් ද?

    2023 වසරේ මැයි මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනාට බදු ලිපිගොනු විවෘත කිරීම අනිවාර්ය කරන ලදී.

    දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ, වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් මේ වන විට ශ්‍රී ලංකාවේ මිලියන 17ක් පමණ සිටින අතර, ඔවුන්ගෙන් මිලියන 10ක් සඳහා බදු ලිපිගොනු විවෘත කර ඇති බව ය.

    මිලියන 9ක් සඳහා දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් ඔවුන් සතුව ඇති තොරතුරු මත TIN අංකය හෙවත් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක නිර්මාණය අකර ඇති අතර, මිලියන එකක් පුද්ගලයන්ගේ ඉල්ලීම් මත සකස් කර ඇත.

    ඔබ රැඳවුම් බදු සහනය ලබා ගැනීම සඳහා යොමු කරන ප්‍රකාශයේ ඔබ සතුව TIN අංකය තිබෙන්නේ නම් එය සටහන් කර බැංකුවට හෝ මූල්‍ය ආයතනයට භාර දිය යුතු අතර, එසේ ටින් අංකයක් නොමැති අයගේ ද අයැදුම්පත් තාවකාලිකව භාර ගන්නා ලෙස දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් බැංකු සහ මූල්‍ය ආයතනවලට දැනුම් දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, ඔබට TIN අංකයක් නොමැති වුව ද බැංකුව හෝ මූල්‍ය ආයතනය හරහා ප්‍රකාශය ලබා දී මෙම සහනය ලබා ගැනීමට හැකියාව පවතියි.

    මේ නිසා TIN අංකයක් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිට ප්‍රකාශය බැංකු වෙත භාර දෙන ලෙස දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඉල්ලා සිටිති.

    3. ළමා ඉතුරුම්වලට සහනය ලබා ගන්නේ කෙසේ ද?

    ළමා ඉතුරුම් හෙවත් බාල වයස්කරුවන් සඳහා වැඩිහිටියන් විසින් පවත්වාගෙන යනු ලබන ඉතුරුම් ගිණුම් සඳහා ද මෙම බදු සහනය ලබා ගත හැකි බව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

    මේ සඳහා ළමා ඉතුරුම් ගිණුම හිමි බාල වයස්කරුවාගේ භාරකරු මෙම ප්‍රකාශය සම්පුර්ණ කර බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ලබා දිය යුතු ය.

    4. ව්‍යාජ ප්‍රකාශ ලබා දුන්නොත් සිදුවන්නේ කුමක් ද?

    TIN අංකය නොමැතිව ලබා දෙන අයැදුම්පත්‍ර මැයි මාසයේ පළමු සතිය තුළ දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත බැංකු සහ මූල්‍ය ආයතන විසින් ලබා දෙනු ලැබය යුතු අතර, එසේ ලැබෙන ප්‍රකාශයන් ලබා දුන් පුද්ගලයන් හට බදු ලිපිගොනු විවෘත කර TIN අංකය බැංකුවටත්, අදාළ පුද්ගලයාටත් ලබා දීම සඳහා දේශීය අදායම් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    මෙහිදී යම් කිසි අයෙකු ව්‍යාජ ලේඛන හෝ බොරු තොරතුරු සිය ප්‍රකාශයේ සඳහන් කර ඒවා තිබුණහොත් ඔවුන්ට විරුද්ධව දේශීය අදායම් පනතේ විධි විධාන යටතේ නීතිමය පියවර ගන්නා බව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

    ඉදිරියේදී තැන්පතු විවෘත කිරීමට, වාහන මිල දී ගැනීම සහ හුවමාරු කිරීමට, ඉඩම් මිල දී ගැනීමට, ණයවර පත් ලබා ගැනීමට මෙන් ම කොටස් වෙළෙඳපොලේ යෝජනා සඳහා ද TIN අංකය අත්‍යවශ්‍ය වනු ඇති බැවින් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපිගොනු විවෘත කර තිබීම වැදගත් බව ඔවුහු පෙන්වා දුන්හ.

    මේ නිසා එක් එක් පුද්ගලයන් සතු වත්කම් දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන නිසා යම් අයෙකු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඒවා හඳුනාගත හැකි බව ඔවුහු පවසති.

    5. TIN අංකයක් ලබා ගන්නේ කෙසේ ද?

    මේ වන විටත් වයස අවුරුදු 18ට වැඩි ඇතැම් පුද්ගලයන් සඳහා දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් TIN අංක සකස් කරනු ලැබ ඇති නිසා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඊ සේවා හරහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඔබට TIN අංකයක් තිබෙන්නේ දැයි පරික්ෂා කිරීමට හැකියාව පවතියි.

    එලෙස TIN අංකයක් තිබෙන්නේ නම් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලයක් හරහා TIN අංකය ලබා ගැනීමේ අවස්ථාව ඔබට පවතියි.

    ඔබට TIN අංකයක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා හැකියාව තිබේ.

    එම ලියාපදිංචි වීමේ ක්‍රියාවලියේදී ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමෙන් බදු සම්බන්ධ කාර්යයන් පහසුවෙන් කරගැනීමට හැකි බව දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

    ඔබට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට අපහසු නම් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ඕනෑ ම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත යාමෙන් හෝ තැපෑලෙන් අයැදුම් කිරීමේ හැකියාව ද පවතියි.

    source:bbc.com/sinhala

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments