Sunday, June 22, 2025
More
    Homeසූපවේදයමඤ්ඤොක්කා වලින් හදන කෑම වර්ග 24ක්

    මඤ්ඤොක්කා වලින් හදන කෑම වර්ග 24ක්

    නුදුරු අනාගතයේ ලෝකයටම මුහුණ පාන්නට සිදුවන ආහාර අර්බුදය වෙනුවෙන් මේ දිනවල ශ්‍රී ලාංකිකයින් ද ගෙවතුවගා මට්ටමින් විවිධ ආහාරබෝග වර්ග සිටුවීම සිදුකරනවා. මෙලෙස වගාකරන බෝගයන් අතරට මඤ්ඤොක්කා දණ්ඩක් දෙකක් පැල කරගන්න නම් බොහෝ දෙනා අමතක කරන්නෙ නැහැ. හැමදාමත් තැම්බූ මඤ්ඤොක්කා විතරක් පරිභෝජනය කළ අපේ හෙළ අරණ පාඨක ඇත්තන්ට ඔන්න අද අපි අපේකමත් රැකගෙන අලුත් විදිහකට මඤ්ඤොක්කා කන හැටියි කියලා දෙන්න යන්නේ. නිකන් තිරිඟු පිටි ගුලි ගිලිනවට වඩා ආදේශකයක් විදිහට මෙම මඤ්ඤොක්කා ආහාර ඔබේ ආහාර රටාවට වගේම ඔබේ ජීවිතයේ සුවිශේෂී තැන් සමරන්නත් එකතුකරගන්න පුළුවන් නම් වෙනදට වඩා වෙනස් විදිහකට මඤ්ඤොක්කා වල තියෙන පෝෂණීය ගුණය නොඅඩුව රසවත්ව ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වේවි. අද අපි ඔබට කියලා දෙන්නේ ඔබේ මඤ්ඤොක්කා අස්වැන්න නෙලාගත්තට පස්සේ හෝ මඤ්ඤොක්කා අලයක් පොලෙන් ගෙනාවට පස්සේ ඔබට එයින් සාදාගත හැකි රසවත් කෑම වර්ග 24 ක් ගැන.

    ඔබ මෙම ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වොත් මෙන්න මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්…

    • මඤ්ඤොක්කා පිටි සාදාගන්නා හැටි
    • මඤ්ඤොක්කා පිෂ්ඨය සාදාගන්න හැටි
    • මඤ්ඤොක්කා ඉඳිආප්ප
    • මඤ්ඤොක්කා පිට්ටු
    • මඤ්ඤොක්කා රොටී
    • මඤ්ඤොක්කා පැටිස්
    • මඤ්ඤොක්කා පූරි
    • මඤ්ඤොක්කා මුරුක්කු
    • මඤ්ඤොක්කා බිස්කට්
    • මඤ්ඤොක්කා පැණි බෝල
    • මඤ්ඤොක්කා ලේයර් කේක්
    • මඤ්ඤොක්කා බූන්දි
    • මඤ්ඤොක්කා කොකිස්
    • මඤ්ඤොක්කා සේවරි බෝල
    • මඤ්ඤොක්කා බොන්ඩා
    • තැම්බූ මඤ්ඤොක්කා කේක්
    • මඤ්ඤොක්කා ක්‍රොකට්
    • මඤ්ඤොක්කා ස්විස් රෝල්
    • මඤ්ඤොක්කා පපඩම්
    • මඤ්ඤොක්කා ක්‍රීම්
    • මඤ්ඤොක්කා මිශ්‍ර බත්
    • සුමාන්

    ආදී ආහාර වර්ග 24 ක්..

    මඤ්ඤොක්කා පිටි සාදා ගැනීම

    සාදන ක්‍රමය :-

    01. කැපීම් තැලීම් හා තුවාල නොවූ අලුත් මඤ්ඤොක්කා අල තෝරාගන්න. (නිල් පාට ඉරි නොමැති අල තෝරා ගැනීම වඩාත් සුදුසු වේ.)

    02. අල වල පොතු ගලවා ජල බඳුනට දමා කුඩා පෙති වලට කපන්න.

    03. ජල බඳුනෙන් පෙති ඉවතට ගන්න.

    04. මඤ්ඤොක්කා පෙති හිරු එළියෙන් හෝ වියලනයකින් (විදුලි පෝරණු හෝ සූර්‍ය තාප පෝරණු) හොඳින් වේලා ගන්න.

    05. වේලාගත් පසු සුළං නොවදින සේ ගබඩා කර තබාගන්න.

    06. අවශ්‍ය වූ විට වංගෙඩියකින් හෝ බ්ලෙන්ඩරයකින් පිටි කර ගන්න.

    මඤ්ඤොක්කා ඉඳිආප්ප

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • හුමාලයෙන් තැම්බූ මඤ්ඤොක්කා පිටි කෝප්ප 01 යි

    • හුමාලයෙන් තැම්බූ හාල් පිටි කෝප්ප 01 යි

    • උතුරවා හුමාලය ඉවත් කරගත් ජලය

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. පිටි දෙවර්ගය කලවම් කර පෙනේරයකින් හලා ගන්න. අවශ්‍ය පමණ ලුණු එක්කරන්න.

    02. හුමාලය තරමක් පිටවූ ජලය, පිටි මිශ්‍රණයට එක් කරමින් ඉඳිආප්ප පදමට අනාගන්න.

    03. ඉඳිආප්ප වංගෙඩියට පිටි මිශ්‍රණය දමා තෙල් ගාන ලද ඉඳිආප්ප තට්ටු වලට වත්කරන්න.

    04. හුමාලයෙන් විනාඩි 15 ක් පමණ තම්බා ගන්න.

    මෙය 3 – 4 දෙනෙකුට සෑහේ..

    මඤ්ඤොක්කා පිට්ටු

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිටි කෝප්ප 01 යි

    • හාල් පිටි කෝප්ප 01 යි

    • ගාන ලද පොල් කෝප්ප 1,1/2 යි

    • උකු පොල් කිරි කෝප්ප 01 යි (පිට්ටුව තැම්බුනු පසු ඉසීම සඳහා)

    • මඳක් උණුසුම් ජලය

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. පිටි දෙවර්ගය කලවම් කර හලාගන්න.

    02. පොල් වලට ලුණු දමා, හොඳින් කලවම් කර එයට පිටි මිශ්‍රණය දමා අවශ්‍ය තරමට ජලය යොදමින් කැටකර ගන්න.

    03. පිට්ටු තම්බන මුට්ටිය ලිප තබා ජලය උතුරන විට පිට්ටු බම්බුව තුලට පොල් ස්වල්පයක් දමා ඒ මත කැට කරගත් පිටි මිශ්‍රණය දමා පිට්ටු බම්බුවේ මුදුන පියනකින් වසා හුමාලය පිට වනතුරු හොඳින් තම්බාගන්න.

    04. තැම්බුණු පසුව බම්බුව මුට්ටියෙන් ඉවතට ගෙන පිට්ටුව දීසියකට දමා ඒ මත පොල් කිරි ඉස කෑමට ගන්න.

    🚫 සැලකිය යුතුයි :

    පිට්ටු තැම්බීමට ස්ටීමරයක් ද පාවිච්චි කළ හැකිය. එසේ කරන විට කෝප්පයකට පිට්ටු මිශ්‍රණය දමා සාමාන්‍යයෙන් තදකර ඒවායින් තුනක් පමණ ඉඳිආප්ප තට්ටුවක් මත තබා ස්ටීමරය තුළ තබා පියන වසා හුමාලයෙන් විනාඩි 15 ක් පමණ වේලා තම්බා ගන්න.

    මෙය 4 දෙනෙකුට සෑහේ.

    මඤ්ඤොක්කා රොටී

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිටි කෝප්ප 01 යි

    • තිරිඟු පිටි කෝප්ප 01 යි

    • ගාන ලද පොල් කෝප්ප 02 යි

    • ලියාගත් ළූණු ගෙඩි 06

    • ලියාගත් අමූමිරිස් කරල් 04 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • ජලය ස්වල්පයයි

    සාදන ක්‍රමය :-

    01. ළූණු හා මිරිස් සිහින්ව ලියාගන්න.

    02. මඤ්ඤොක්කා පිටි, තිරිඟු පිටි, පොල්, ලුණු, ළූණු , අමු මිරිස් එක්කර කලවම් කර තුනී කළ හැකි තරමට පදම් වනතුරු වතුර ස්වල්පයක්ද එක්කර අනා තරමක ගුලි සාදන්න.

    03. අඟල් 1/4 ක් පමණ ඝනකමට කැමති විෂ්කම්භයකට පිටි ගුලි තුනී කරන්න.

    04. තැටියක් ලිප තබා එය රත් වූවාට පසු තැටිය මත දමා දෙපැත්ත රන්වන් පාට වනතුරු පුලුස්සා ගන්න. (දෙපැත්ත හරවමින්)

    මෙය 4 දෙනෙකුට ප්‍රමාණවත්ය.

    මඤ්ඤොක්කා පැටිස්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිටි කෝප්ප 01 යි

    • තිරිඟු පිටි කෝප්ප 01 යි

    • මාගරින් (පුරවා) මේස හැඳි 01 යි

    • බිත්තර කහ මද 02 යි

    • උකු පොල්කිරි හෝ ජලය කෝප්ප 01 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • බැදීමට තෙල්

    • පිරවීම සඳහා: සෝයා හෝ මස් ව්‍යාංජනයක් පිළියෙල කරගන්න.

    සාදන ක්‍රමය :-

    01. පිටි දෙවර්ගය එකට හලා මාගරින් දමා ඇඟිලි තුඩු වලින් මිශ්‍ර කරන්න.

    02. මැද වලක් සාදා බිත්තර කහමද, ලුණු හා පොල් කිරි එකතු කර ඒකාකාරී වූ ඝන මිශ්‍රණයක් සාදාගන්න. පොල් කිරි දැමීමේදී මිශ්‍රණය දියාරු නොවීමට ප්‍රවේසම් විය යුතුය.

    03. මිශ්‍රණය පිටි තැවරූ ලෑල්ලක් මත තුනී වන සේ තුනීකර විෂ්කම්භය 3″ ක් පමණ වන සේ රවුම් කපගන්න.

    04. කපාගත් පිටි රවුම් මත පිළියෙල කරගත් ව්‍යාංජන මැදින් තබා බිත්තර සුදමද වටේට ගා දෙකට නමා ගෑරුප්පුවකින් වටේ තද කරන්න.

    05. ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගන්න.

    06. තෙල් බේරීමට කඩදාසියක් මත තබන්න.

    පැටිස් 25 – 30 සෑදිය හැකි ය.

    මඤ්ඤොක්කා පූරි

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිටි කෝප්ප 01 යි

    • තිරිඟු පිටි කෝප්ප 01 යි

    • බටර් මේස හැඳි 02 යි

    • බේකින් පවුඩර් තේ හැඳි 1/2 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • ජලය අවශ්‍ය පමණ

    • බැදීමට තෙල්

    සාදන ක්‍රමය :-

    01. තිරිඟු පිටි, මඤ්ඤොක්කා පිටි හා බේකින් පවුඩර් එක්කර පෙනේරයකින් එකට හලා ගන්න.

    02. පිටි මිශ්‍රණයට බටර්, ලුණු හා ජලය අවශ්‍ය පමණ එක් කිරීමෙන් ඝන මිශ්‍රණයක් සාදා ගන්න.

    03. මිශ්‍රණය පැය 03 ක් පමණ පසෙකින් තබන්න.

    04. ඊට පසු මිශ්‍රණය ලෑල්ලක 1/4″ ක් පමණ වනතුරු තුනීකර 2″ – 4″ විශ්කම්භය ඇති රවුම් වලට කපන්න.

    05. මේවා උණු තෙලෙන් බදින්න.

    06. මස් හොද්දක් සමඟ ආහාරයට ගන්න.

    මෙය 5 – 6 දෙනෙකුට ප්‍රමාණවත් ය.

    මඤ්ඤොක්කා මුරුක්කු

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • හොඳින් හලාගත් මඤ්ඤොක්කා පිටි කෝප්ප 1,1/2 යි

    • උණු කරගත් උකු පොල් කිරි කෝප්ප 3/4 – 1 යි

    • ගම්මිරිස් කුඩු මේස හැඳි 01 යි

    • පිරිසුදු කල තල මේස හැඳි 01 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • බැදීමට තෙල්

    සාදන ක්‍රමය :-

    01. මඤ්ඤොක්කා පිටි, තල, ගම්මිරිස් කුඩු, ලුණු එකට මිශ්‍ර කර භාජනයකට දමන්න.

    02. උතුරුවා ගත් උකු පොල්කිරි ස්වල්පය බැගින් පිටි මිශ්‍රණයට එක් කරමින් ඉඳිආප්ප පදමට අනාගන්න.

    03. පිටි මිශ්‍රණය මුරුක්කු වංගෙඩියක දමා තෙල් තැවරූ කෙසෙල් කොළයක් මත මුරුක්කු හැඩයට මිරිකා රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.

    🚫 සැලකිය යුතුයි :

    රත් වූ තෙල් වලටම මුරුක්කු මිරිකා ගැනීමට ද පුළුවන.

    මඤ්ඤොක්කා බිස්කට්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිටි කෝප්ප 01 යි

    • තිරිඟු පිටි කෝප්ප 01 යි

    • බේකින් පවුඩර් තේ හැඳි 01 යි

    • බටර් හෝ මාගරින් 50g යි

    • කුඩුකර හලාගත් සීනි 125g යි

    • බිත්තර කහමද 02 යි

    • කිරි මේස හැඳි 06 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. පිටි දෙවර්ගයත්, ලුණු කුඩු, බේකින් පවුඩර්, එකට දමා හොඳින් හලාගන්න.

    02. මාගරින්, සීනි එක්කර හොඳින් මෘදු වනතුරු ගසන්න.

    03. එයට තිරිඟු පිටිද, මඳක් ගසාගත් බිත්තර කහමද ද දමා මිශ්‍ර කරන්න.

    04. කිරි ස්වල්පය බැගින් මෙම මිශ්‍රණයට එක් කරමින් මෘදු ඝන මිශ්‍රණයක් සාදා ගන්න.

    05. පිටි තැවරු ලෑල්ලක් මත 1/8″ ඝනකමට තුනීකර රවුම් හැඩයට හෝ අලංකාර හැඩයකට බිස්කට් අච්චුවකින් කපාගන්න.

    06. පිළියෙල කරගත් කේක් ට්‍රේ එකක් මත අසුරා පැ.හ. 360° උණුසුම් පෝරණුවක විනාඩි 15 ක් පමණ පුළුස්සා ගන්න.

    බිස්කට් 50 ක් පිළියෙල කරගත හැක.

    මඤ්ඤොක්කා පැණි බෝල

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිටි කෝප්ප 01 යි

    • පොල්කිරි කෝප්ප 1,1/2 යි

    • හකුරු 50g

    • ජලය කෝප්ප 01 යි

    සාදන ක්‍රමය :-

    01. මඤ්ඤොක්කා පිටි වලට පොල්කිරි ස්වල්පය බැගින් එක්කරමින් ඝන මිශ්‍රණයක් පිළියෙල කරගන්න. (බෝල සාදා ගැනීමට හැකි පරිදි)

    02. 1/2″ පමණ විෂ්කශ්කම්භය ඇති බෝල සාදාගන්න.

    03. හකුරු, ජලය, ඉතිරි පොල් කිරි එකට දමා උණු කරන්න.

    04. මිශ්‍රණය උතුරන විට ඊට පිළියෙල කරගත් මඤ්ඤොක්කා බෝල දමා විනාඩි 10ක් පමණ තම්බාගන්න.

    05. මඤ්ඤොක්කා බෝල තැම්බී මිශ්‍රණය උකුවන විට ලිපෙන් බාන්න.

    ✍️ සටහන :

    මඤ්ඤොක්කා පිටි වෙනුවට ගා ගත් අමු මඤ්ඤොක්කා භාවිතා කළ හැක. මෙහිදී බෝල පිළියෙල කිරීම සඳහා පොල් කිරි අවශ්‍ය නොවේ.

    මඤ්ඤොක්කා ලේයර් කේක්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිටි 75g යි

    • තිරිඟු පිටි 75g යි

    • බේකින් පවුඩර් තේ හැඳි 1,1/2 යි

    • මාගරින් හෝ බටර් 150g යි

    • කුඩුකර හලාගත් සීනි 150g යි

    • බිත්තර කහමද 03 යි

    • බිත්තර සුදු මද 03 යි

    • දෙහි යුෂ තේ හැඳි 02 යි

    • දෙහිගෙඩියක කුරුට්ට

    • වැනිලා අවශ්‍ය පමණ

    • ලුණු අවශ්‍ය පමණ

    සාදන ක්‍රමය :-

    01. පිටි දෙවර්ගයට බේකින් පවුඩර් එක්කර පෙනේරයකින් හලාගන්න.

    02. මාගරින් හා සීනි ක්‍රීම් වනතුරු මිශ්‍ර කරන්න.

    03. බිත්තර කහමද හොඳින් ගසා ක්‍රීම් වූ බටර් හා සීනි මිශ්‍රණයට තුන් වතාවකින් එක් කරන්න.

    04. බිත්තර සුදු මද පෙන නගින තුරු ගසන්න. වරින් වර මිශ්‍ර කරගත් පිටි ස්වල්පය බැගින් එක්කර නැවතත් බිත්තර ස්වල්පය බැගින් එක්කොට ගසා හොඳින් මිශ්‍ර කරන්න.

    05. එම පිටි මිශ්‍රණයට දෙහි කුරුටු, වැනිලා හා ලුණු එක්කරන්න.

    06. තෙල් කඩදාසියක බටර් තවරා කේක් තැටියේ ඇතුල ආවරණය කරන්න. කේක් තැටි තුනකට මිශ්‍රණය දමන්න. (අඟල් 6 පමණ විශ්කම්භය ඇති)

    07. පැ.හ. 350°ක පමණ උෂ්ණත්වය ඇති පෝරණුවක විනාඩි 15 -20 ක් පණ පුළුස්සා ගන්න.

    08. කේක් නිවුනයින් පසුව බටර් හා අයිසින් වලින් කේක් එක ආවරණය කරන්න. කේක් ගෙඩියේ මතුපිට කැමති පරිදි අයිසින් කරගන්න.

    මඤ්ඤොක්කා බූන්දි

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිටි කෝප්ප්ද් 01 යි

    • ගම්මිරිස් තේ හැඳි 01 යි

    • ජලය කෝප්ප 1/2 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • බැදීමට තෙල්

    සාදන ක්‍රමය :-

    01. තෝසේ වලට මෙන් සියලුම ද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍රකර පැය 02 ක් පමණ පසෙකින් තබන්න.

    02. තෙල් රත් කරන්න.

    03. තෙල් හැන්දක සිදුරු තුළින් මේ මිශ්‍රණයෙන් ටිකෙන් ටික රත්වූ තෙලට වත් කරන්න.

    04. බැදගත් බූන්දි තෙල් උරා ගැනීමට කඩදාසියක් මත තබන්න.

    🚫 සැලකිය යුතුයි :

    මෙම මිශ්‍රණය ගම්මිරිස් නොමැතිව පිළියෙල කරගෙන පසුව සීනි දමා ප්‍රයෝජනයට ගත හැකිය.

    මඤ්ඤොක්කා පිෂ්ඨය සාදාගැනීම

    මඤ්ඤොක්කා පිෂ්ඨය මඤ්ඤොක්කා පිටි වලට වඩා සුදු පාට වන අතර, සියුම් ගතියෙන් ද වැඩිය. මෙම පිෂ්ඨය කෑම වර්ග පිළියෙල කිරීමට ගතහැකි අතර, රෙදි කැඳ දැමීම සඳහා ද පාවිච්චි කළ හැක. “කෝන් ෆ්ලවර්” වෙනුවට බිස්කට්, උකු සාස් (සෝස්) වර්ග සහ පුඩින් වර්ග සෑදීමේදී ද ප්‍රයෝජනයට ගැනීමට පුළුවන.

    01. පිෂ්ඨය සෑදීම සඳහා අලුත් මඤ්ඤොක්කා අල පොතු හැර සෝදා සිහින් රැල් වශයෙන් ගාගන්න. නැතිනම් කෑලි වලට කපාගන්න. ඉන්පසු බ්ලෙන්ඩරයේ දමා අඹරා ගන්න.

    02. මෙසේ අඹරාගත් මඤ්ඤොක්කා බේසමකට දමා ඊට වතුර යොදා පිෂ්ඨය හොඳින් පිටවන තෙක් අතින් පොඩි කරමින් හොඳින් මිරිකා ගන්න.

    03. රෙදි කැබැල්ලක ආධාරයෙන් මෙම වතුර වෙනත් භාජනයකට පෙරා එම දියරයෙහි ඇති පිෂ්ඨය භාජනය පතුලේ තැන්පත් වන තුරු පසෙකින් තබන්න.

    04. පැයකින් පමණ පසු, භාජනය පතුලේ පිෂ්ඨය තැන්පත් වන අතර, වතුර පෙරා හැර පිෂ්ඨය වියලා ගන්න.

    05. වියලාගත් පිෂ්ඨය හුලං නොවදින සේ භාජන වල දමා කල්තබා ගත හැක.

    මඤ්ඤොක්කා කොකිස්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පෘෂ්ඨය කෝප්ප 01 යි

    • පොල් කිරි කෝප්ප 3/4 යි

    • බැදීමට තෙල්

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. මඤ්ඤොක්කා පෘෂ්ඨය පෙනේරයකින් හලාගන්න.

    02. හලාගත් පිෂ්ඨය භාජනයකට දමන්න. එයට ලුණු එකතු කර පොල් කිරි වලින් භාගයක් දමා මෘදු මිශ්‍රණයක් වනතුරු මිශ්‍ර කරන්න.

    03. මෙම මිශ්‍රණයට ඉතිරි පොල්කිරි දමා උකු සහිත මෘදු මිශ්‍රණයක් සකස් කරගන්න.

    04. පොල්තෙල් ගැඹුරු සාස්පානක හෝ තාච්චියක රත් කරන්න.

    05. කොකිස් අච්චුව උණු තෙලෙහි බහාලන්න.

    06. මීට පසු කොකිස් අච්චුවෙන් 3/4 ක් පමණ ආවරණය වන තෙක් මිශ්‍රණයෙහි බහාලන්න.

    07. ඉන්පසු රත් වූ තෙලෙහි බහා බැදගනිමින් කොකිසය අච්චුවෙන් ගලවා යන්තම් දුඹුරුවන් වනතුරු බැදගන්න.

    08. කොකිස් කඩදාසියක දමා තෙල් බේරෙන්න හරින්න.

    මෙයින් කොකිස් 15 – 20 ක් සාදා ගත හැකිය.

    මඤ්ඤොක්කා බිස්කට්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • මඤ්ඤොක්කා පිෂ්ඨය කෝප්ප 1,1/2 යි

    • බටර් හෝ මාගරින් කෝප්ප 1/2 යි

    • කුඩුකර හලා ගත් සීනි කෝප්ප 2/3 යි

    • බිත්තර කහ මද 03 යි

    • වැනිලා තේ හැඳි 01 යි

    සාදන ක්‍රමය :-

    01. බටර්, සීනි, බිත්තර කහමද, වැනිලා එකට මිශ්‍ර කරන්න. එයට පිටෂ්ඨය එක්කර අතින් අනාගන්න.

    02. බිස්කට් අච්චුවකට මේ මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා තෙල් නොතැවරූ කේක් තැටි වලට තැනින් තැන වක්කරන්න.

    03. බිස්කට් අච්චුවක් නොමැති නම් පිටි ප්‍රමාණය අඩුකර සාමාන්‍ය බිස්කට් පිළියෙල කරන අන්දමට පිටි තැවරූ ලෑල්ලක් මත තුනීකර බිස්කට් කටර් එකකින් කපාගන්න.

    04. පැ.හ. 400°ක පමණ උෂ්ණත්වය යටතේ ලා දුඹුරු පැහැ වනතුරු විනාඩි 7 – 10 ක් පෝරණුවක පුළුස්සා ගන්න.

    තැම්බූ මඤ්ඤොක්කා ආහාර

    මඤ්ඤොක්කා සේවරි බෝල

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • තම්බා පොඩි කළ මඤ්ඤොක්කා කෝප්ප 04 යි

    • කපාගත් රතුළූණු ගෙඩි 06 යි

    • කපාගත් අමුමිරිස් කරල් 06 යි

    • උම්බලකඩ මේස හැඳි 01 යි (අවශ්‍ය නම්)

    • ගාන ලද පොල් කෝප්ප 01 යි

    • දෙහි ස්වල්පයක්

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. ගාගත් පොල් වලට රතුළූණු, මිරිස්, ලුණු, උම්බලකඩ දමා අනාගන්න.

    02. තම්බා පොඩිකරගත් මඤ්ඤොක්කා අල පළමු මිශ්‍රණයට දමා මිශ්‍රකර 1, 1/2″ පමණ සිටින සේ බෝල කර කෑමට ගන්න.

    සැලකිය යුතුයි :

    වැඩි ප්‍රමාණයක් සාදන විට වංගෙඩියේ දමා කොටා පිළියෙළ කළ හැකි ය.

    මඤ්ඤොක්කා බොන්ඩා

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • තම්බා පොඩි කරගත් මඤ්ඤොක්කා කෝප්ප 03 යි

    • තෙල් මේස හැඳි 02 යි

    • අබ තේ හැඳි 01 යි

    • ලියාගත් රතුළූණු ගෙඩි 10 යි

    • ලියාගත් අමූමිරිස් කරල් 05 යි

    • ගාගත් කැරට් අල 01 යි

    • තම්බා කපාගත් ඉස්සන් 20 යි (අත්‍යාවශ්‍ය නොවේ)

    • කහ තේ හැඳි 01 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • බැදීමට තෙල්

    • අබ ස්වල්පයක්

    දවටනය සඳහා :-

    • තිරිඟු පිටි / හාල් පිටි කෝප්ප 1/3 යි

    • සෝයා පිටි / මුං පිටි කෝප්ප 1/2 යි

    • ජලය කෝප්ප 01 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. තෙල් මේස හැඳි 02 ක් රත්කර අබ පුපුරවා රතුළූණු, ලීක්ස්, කැරට්, මිරිස්, ඉස්සන්, කහ හා ලුණු එක්කරන්න.

    02. පොඩිකළ මඤ්ඤොක්කා මිශ්‍රකර ලිපෙන් බාගන්න. ඉන්පසු බෝල කරන්න.

    03. තිරිඟු පිටි / හාල් පිටි හා සෝයා පිටි / මුං පිටි ජලය, ලුණු මිශ්‍ර කර උකු දවටනයක් පිළියෙල කරන්න.

    04. බෝල දවටනයේ තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

    බොන්ඩා 10 – 12 ක් සාදාගත හැකිය.

    තැම්බූ මඤ්ඤොක්කා කේක්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • තම්බා හොඳින් පොඩිකරගත් මඤ්ඤොක්කා කෝප්ප 02 යි

    • කිරි කෝප්ප 01 යි

    • මාගරින් හෝ බටර් කෝප්ප 3/4 යි

    • තිරිඟු පිටි කෝප්ප 1/2 යි

    • කුඩුකරගත් සීනි කෝප්ප 01 යි

    • බිත්තර 02 යි

    • දෙහි ගෙඩියක කුරුට්ට

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • වැනිලා ස්වල්පයක්

    සාදන ක්‍රමය :-

    01. මඤ්ඤොක්කා හා කිරි මිශ්‍ර කරන්න.

    02. සීනි සහ මාගරින් එක්කර සැහැල්ලු ගතියක් දැනෙන තෙක් හොඳින් ගසාගන්න. බිත්තර ද වෙන් වෙන් වශයෙන් ගසා මිශ්‍රණයට දමා නැවත ගසාගන්න.

    03. සීනි, මාගරින් මිශ්‍රණයට තිරිඟු පිටි, දෙහි කුරුට්ට හා ලුණු මිශ්‍ර කරන්න. (මේවා එක් කිරීමේදී මිශ්‍රණය පෙරළන්න.) ඉහත මිශ්‍රණයට මඤ්ඤොක්කා හා කිරි මිශ්‍රණය එක්කර මිශ්‍ර කරන්න.

    04. තෙල් තවරන ලද කඩදාසි කේක් තැටියක අතුරා කේක් මිශ්‍රණය දමන්න.

    05. කේක් මතුපිට කජු සහ සුල්තානා වලින් අලංකාර කර මධ්‍යම ප්‍රමාණයට උණුසුම් කළ පෝරණුවක විනාඩි 45 සිට පැයක් පමණ කාලයක් පුළුස්සා ගන්න.

    අමු මඤ්ඤොක්කා ආහාර

    මඤ්ඤොක්කා රොටී

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • ගානලද මඤ්ඤොක්කා කෝප්ප 02 යි

    • ගානලද පොල් කෝප්ප 01 යි

    • පාන් පිටි කෝප්ප 1/4 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. ගාන ලද මඤ්ඤොක්කා මිරිකා වැඩි ජලය ඉවත් කරන්න.

    02. මඤ්ඤොක්කා, පාන් පිටි, පොල්, ලුණු හොඳින් මිශ්‍රකර (තුනී කළ හැකි රොටි පදමට) තරමක ගුලි සාදාගන්න.

    03. 1/4″ පමණ ඝනකමට විෂ්කම්භය 3″ පමණද වන සේ රවුමට පිටි මිශ්‍රණය කෙසෙල් කොළයක තුනී කරන්න.

    04. රොටී කබලක් ලිප තබා එය රත් වූ පසු සාදාගත් රොටී ඒ මත දමා දෙපැත්ත රන්වන් පාට වනතුරු පුළුස්සා ගන්න.

    මෙය දෙදෙනෙකුට සෑහේ.

    මඤ්ඤොක්කා පිට්ටු

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • ගාන ලද අමු මඤ්ඤොක්කා කෝප්ප 01 යි

    • ගාන ලද පොල් කෝප්ප 01 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. ගාන ලද මඤ්ඤොක්කා වල වැඩි ජලය මිරිකා ඉවත් කරන්න.

    02. එයට ඉතිරි ද්‍රව්‍ය දමා සියුම් කැට ලෙස මල් කරගන්න.

    03. පිට්ටු බම්බුවක ආධාරයෙන් විනාඩි 10 – 15 පිට්ටුව හුමාලයෙන් තම්බාගන්න.

    සැලකිය යුතුයි :

    මඤ්ඤොක්කා ගා ගැනීමට චීස් ග්‍රේටරයක්, හිරමනයක් හෝ ඇණයකින් සිදුරු කරගත් පිරිසිදු බෙලෙක් තහඩුවක් පාවිච්චි කළ හැකිය.

    මඤ්ඤොක්කා ක්‍රොකට්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 01 යි

    • ගාගත් පොල් කෝප්ප 01 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • බැදීමට තෙල්

    පිරවීම සඳහා :-

    තෙම්පරාදු කළ මාළු, සිහින්ව ලියාගත් මස් හෝ එළවළු යොදන්න. කොච්චි සම්බෝල ද යොදාගත හැක.

    සාදන ක්‍රමය :-

    01. මඤ්ඤොක්කා පොතු ඉවත්කර සෝදා සිහින්ව ගා ගන්න. (දියර ගතිය වැඩි නම් මිරිකා ගන්න)

    02. ගාගත් මඤ්ඤොක්කා, පොල් හා ලුණු සමඟ මිශ්‍ර කරන්න.

    03. මඤ්ඤොක්කා ස්වල්පයක් ගෙන බෝලයක ආකාරයට සාදා අත්ල මතට ගෙන රවුමට තුනී කර පිරවීමට සුදුසු මිශ්‍රණය යොදා දිගටි හෝ රවුම් හැඩයට සකසා ගන්න. (මෙහිදී පිරවූ ද්‍රව්‍ය මනාව මඤ්ඤොක්කා මිශ්‍රණයෙන් වැසිය යුතුය.)

    04. ගැඹුරු තෙලෙහි ක්‍රොකට් රන්වන් පාට වනතුරු බැදගන්න .

    ක්‍රොකට් 12 -15 සාදා ගත හැකිය.

    මඤ්ඤොක්කා ස්විස් රෝල්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 02 යි

    • උකු මිටිකිරි කෝප්ප 01 යි

    • සීනි කෝප්ප 1/2 යි

    • කබලේ බැද සිහින්ව කපාගත් කජු හෝ රටකජු කෝප්ප 1/2 යි

    සාදන ක්‍රමය :-

    01. සීනි හා කිරි මිශ්‍රකර ලිප තබා උතුරුවන්න.

    02. මිශ්‍රණය උතුරන විට සිහින්ව ගාගත් මඤ්ඤොක්කා මිශ්‍ර කර, වරින් වර හැඳිගාමින් උකුවන්න හරින්න. මිශ්‍රණය ඝන වී එක් ගුලියකට එකතු වන විට ලිපෙන් බා මදක් නිවෙන්නට හරින්න.

    03. මිශ්‍රණය මදක් නිවුනාට පසු පොලිතීන් කොළයක් හෝ කෙසෙල් කොළයක් මත මිලි මීටරයක් පමණ ඝනකමට හතරැස් ආකාරයට තුනී කරන්න.

    04. මිශ්‍රණය මතුපිට කජු හෝ රටකජු විසුරුවා හැර පැදුරක් මෙන් ඔතා හොඳින් නිවුනාට පසු අඟල් 1/2″ ක් පමණ ඝනකමට කපාගන්න.

    මඤ්ඤොක්කා බිස්කට්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • ගාන ලද අමු මඤ්ඤොක්කා කෝප්ප 01 යි

    • මිටිකිරි කෝප්ප 1/2 යි

    • උණු කළ බටර් හෝ මාගරින් මේස හැඳි 03 යි

    • බිත්තර 02 යි

    • ගාන ලද කලටි පොල් කෝප්ප 1/2 යි

    • ගාන ලද හකුරු කෝප්ප 3/4 යි

    • කුඩාවට කැපූ කජු කෝප්ප 1/2 යි

    • සීනි මේස හැඳි 01 යි

    • උඩට වත්කිරීමට උණුකල මාගරින් මේස හැඳි 01 යි

    • රෝස වතුර බින්දු කිහිපයක්

    සාදන ක්‍රමය :-

    01. බිත්තර හොඳින් ගසා ගන්න. එයට ගාන ලද හකුරු, උණුකළ බටර් හා පොල් කිරි එකතු කරන්න.

    02. ඊට ගාන ලද මඤ්ඤොක්කා, පොල්, කැපූ කජු, ලුණු ස්වල්පයක් හා රෝස වතුර එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

    03. අඟල් 06 ක කේක් තැටියක කෙසෙල් කොළ අතුරා ඊට මිශ්‍රණය වත් කරන්න.

    04. උණුසුම් පෝරණුවක පැයක් පමන පුළුස්සා ගන්න. (පැ.හ. 375° – 400°)

    05. මතුපිට රන්වන් පැහැය වනවිට පෝරණුවෙන් ඉවතට ගන්න.

    06. උණු කළ බටර් මතුපිට වත්කර සීනිද ඉස නැවත පාටවන තුරු පෝරණුවට දමා පුළුස්සා ගන්න.

    නිවුනු පසු ප්‍රයෝජනයට ගන්න.

    සුමාන්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 02 යි

    • ගාගත් කලටි පොල් කෝප්ප 01 යි

    • සීනි කෝප්ප 1/2 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    • තවාගත් කෙසෙල් කොළ

    සාදන ක්‍රමය :-

    01. මඤ්ඤොක්කා, පොල්, සීනි සහ ලුණු මිශ්‍රකර කලවම් කරන්න.

    02. කෙසෙල් කොළ මත මිශ්‍රණයෙන් මේස හැන්දක් හෝ දෙකක් දමා දිගටි පාර්සල් වශයෙන් සාදා බදින්න. (සියලුම පාර්සල් එක සමාන හැඩයෙන් යුක්ත විය යුතුය.)

    03. මෙම පාර්සල් වාෂ්පයෙන් අමු ගතිය නැතිවන තෙක් තම්බාගන්න.

    මඤ්ඤොක්කා ක්‍රීම්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • සිහින්ව ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 1/2 යි

    • වෙන්කරගත් බිත්තර කහමද සහ සුදුමද 02 යි

    • වැනිලා තේ හැඳි 1/4 යි

    • උතුරන කිරි කෝප්ප 04 යි

    • සීනි කෝප්ප 1/2 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. බිත්තර කහමද කිරි ස්වල්පයක් සමඟ (මේස හැඳි 03 ක් පමණ) මිශ්‍ර කරන්න.

    02. මඤ්ඤොක්කා, සීනි, ලූණු හා ඉතිරි කිරි එක් කරන්න.

    03. ඩබල් බොයිලේරුවක විනාඩි 10 -12 ක් තම්බන්න. එය ලබාගත නොහැකි නම්, මිශ්‍රණය භාජනයක දමා ජලය සහිත හට්ටියක බහා පිසින්න.

    04. විනාඩි 15 ක් පමණ පිස මිශ්‍රණය තරමක් උකුවන විට(උකු ටින්කිරි තරමට) පසෙකින් තබන්න.

    05. බිත්තර සුදුමද ඝනවන තුරු ගසන්න.

    06. කහමද මිශ්‍රණය තරමක් නිවුණු පසු සුදුමද එකතුකොට වැනිලා එක් කරන්න.

    07. ශීතකරණයක සීත කරගන්න.

    08. අලුත්, වියලි හෝ ටින්කරන ලද පලතුරු සමඟ රසවිඳින්න.

    5 – 6 දෙනෙකුට ප්‍රමාණවත්ය.

    මඤ්ඤොක්කා පපඩම්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 01 යි

    • අඹරාගත් සුදුළූණු බික් 02 යි

    • සුදුරු කුඩු තේ හැඳි 01 යි

    • සිහින්ව ලියාගත් කරපිංචා හෝ සැල්දිරි තේ හැඳි 01 යි

    • මිරිස් කුඩු ස්වල්පයක්

    සාදන ක්‍රමය :-

    01. සියලුම ද්‍රව්‍ය භාජනයක දමා මිශ්‍ර කරන්න.

    02. සාස්පානෙන් භාග්‍යයක් වතුර පුරවා උතුරවන්න.

    03. සාස්පාන් පියනෙහි ඇතුල් පැත්තේ මඤ්ඤොක්කා මිශ්‍රණය තුනීව අතුරන්න.

    04. සාස්පාන් පියන සාස්පානේ නැවත තබා හුමාලයෙන් විනාඩි 05 ක් පමණ තම්බන්න.

    05. හුමාලයෙන් තැම්බූ මඤ්ඤොක්කා ලෑල්ලක තබා අවශ්‍ය හැඩ වලට හා ප්‍රමාණ වලට කපාගන්න.

    06. තද අව්වේ පැය තුනක් පමණ වියළා ගන්න.

    07. රන්වන් පැහැ වනතුරු බැදගන්න.

    කැබලි 20 ක් සාදාගත හැකිය.

    මඤ්ඤොක්කා මිශ්‍ර බත්

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    • සහල් කෝප්ප 01 යි

    • ජලය කෝප්ප 04 යි

    • කපාගත් මඤ්ඤොක්කා කෝප්ප 02 යි

    • අවශ්‍ය ප්‍රමාණයට ලුණු

    සාදන ක්‍රමය :-

    01. අලුත් මඤ්ඤොක්කා පොතුහැර පොතු හැර කුඩා කැබලි වලට කපා සෝදන්න. සෝදා පසෙකින් තබන්න.

    02. සහල් සෝදා තම්බාගන්න.

    03. සහල් තැම්බෙන විට සේදූ මඤ්ඤොක්කා දමා කූරුගාන්න. ටික වේලාවක් භාජන විවෘත කොට තබා පිසගන්න.

    04. වැඩි ජලය පෙරා හරින්න.

    📄මූලාශ්‍රය :- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

    අනුෂ්කා පෙරේරාගේ facebook සටහනක් ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments