Sunday, February 8, 2026
More
    Homeකෘෂිකර්මයජාතියේ පුනරුදය උදෙසා ප්‍රතිව්‍යුහකරණය කළ යුතු කෘෂිකර්මාන්තය

    ජාතියේ පුනරුදය උදෙසා ප්‍රතිව්‍යුහකරණය කළ යුතු කෘෂිකර්මාන්තය

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන කෘෂිකර්මාන්තය තවමත් ප්‍රමුඛතම අංශයක් ලෙස සැලකීමට බුන්වේ. දේශපාලන හා පරිපාලන අවශ්‍යතා මත වෙන්කර හුවා දැක්වුවත්, ඊට පශු සම්පත් ක්ෂේත්‍රය මෙන්ම ධීවර හා අනෙකුත් වැවිලි බෝග ක්ෂේත්‍රයන් ද දායක වේ. 2025 පළමු කාර්තුව වනවිට මිලියන 21.76 කට වැඩි ජනගහනයෙන් 24% ක් කෘෂිකර්මාන්තය ආශ්‍රිත ශ්‍රම බලකාය නියෝජනය කරන බව මෙරට මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. එනමුත් එම වසරේ කෘෂිකාර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දැක් වූ දායකත්වය සියයට 7.6 ක් ලෙස ප්‍රමාණිකව පහත වැටී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.

    අපේ රටේ බහුතර පිරිසක් අතර අර්ථ ව්‍යවහාරයට ගැනෙන ධාන්‍ය, එළවළු හා පලතුරු බෝග වගාවට සීමා වු කෘෂිකර්මාන්තය ගැන සලකා බැලීමේදී, රෝපණ ද්‍රව්‍ය සහ පොහොර වෙනුවෙන් වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදුවීම, වැව් හා ජලාශ ආශ්‍රිත වාරි ජලය අවශ්‍ය වේලාවට මුදා නොහැරීම, නිෂ්පාදන උදෙසා නිසි මිලක් නොලැබීම, අතිරික්ත නිෂ්පාදන අපතේයාම, බෝගවලට වැළඳෙන හා පැතිරයන වසංගත ඉක්මනින් මැඩපවත්වාගත නොහැකිවීම මේ අතර ප්‍රමූඛ වේ. විශේෂයෙන්ම ඇලවේලි හා වැව් පද්ධති කාලීනව විධිමත් ලෙසින් ප්‍රතිසංස්කරණය නොකිරීම, වන සතුන්ගෙන් සිදුවන වගා පාළුකිරීම අවමකර ගැනීමට තිරසර පිළිවෙත් නොගැනීම හා විධිමත් ලෙස ඉඩම් පරිහරණය සඳහා අවැසි නෛතික තත්ත්වයන් ලබානොදීම වැනි කරුණු ඉහත ගැටළු තවදුරටත් තීව්‍ර කර ඇත. මෙවැනි වාතාවරණයක් යටතේ දිට්වා සුළිකුණාටුවෙන් එම අංශය තුළ මෑත කාලයේ නිර්මාණය කළ ගැටළු සමනයවීමට තවත් වගා කන්න තුනක්වත් ගතවනු ඇත. ඒ අනුව ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින වෙනත් කිසිම රටක දක්නට නොලැබෙන බරපතල ආර්ථික හා සමාජයීය ගැටළු රැසක්, මෙරට ගොවි ජනතාව මත නිර්මාණයවී ඇති ආකාරය මැනවින් පිළිබිඹු කෙරේ.

    නිර්මාණයවී ඇති සහ තවදුරටත් ගොඩනැගෙන මෙම තත්ත්වයන් සැබෑ ලෙස අපට පවසන්නේ කුමක්ද? මෙකී ගැටළු පිටුදැකීමේ අභියෝගය දේශපාලනඥයින්ගේ න්‍යාය පත්‍රවල දිදුලන මාතෘකාවක් බවට පත්කරගෙන ඇත්තේ දශක ගණනාවක සිට ය. සෑම වසර පහකට වරක් ඉතිහාසයේ විශාලතම ප්‍රතිලාභ ලබාදෙන මුවාවෙන් කෙරෙන සහනාධාර කෙරෙහි අති බහුතරයක් ගොවිජනතාව ඒකරාශී කරගැනීම ඔස්සේ ඔවුන් අතර පවතින සැබෑ දරිද්‍රතාවය වසන් කිරීම කෙතරම් අඥාන ක්‍රියාදාමයක්ද? මෙම ගැටළු තුරන් කිරීමේ දුෂ්කර කාර්ය යටපත් කරගෙන ඇත්තේ ඊටම ගැලපෙන නිලධාරි පංතියක් අවස්ථානුරූපව ඔවුන් වටා එක පෙළට සිටීම හේතුවෙනි. කෙසේ වුවද, මෙම අභියෝගාත්මක ගැටළු තිරසාර ලෙස විසඳා ගතයුතු බවට නම් විවාදයක් නොමැත.

    අවම වශයෙන්, ඉදිරි දශකයේදී කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ උසස් ප්‍රාගුණ්‍යයක් හා  තීරණාත්මක ප්‍රගතියක් අත්පත්කර ගැනීම සඳහා කටයුතු කිරීම අපගේ අභිලාෂය විය යුතු ය. මෑත කාලීනව තම රටේ කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදකත්වය අවම වශයෙන් දෙගුණ කළ රාජ්‍යයන් අතර බ්‍රසීලය, චීනය සහ වියට්නාමය දෙස බැලීමෙන් මෙහි වැදගත්කම අවබෝධකර ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස 1949 දී මහජන චීන ජනරජය පිහිටවීමෙන් අනතුරුව 1953 සිටම වසර පහෙන් පහට කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධනය ඉලක්කය කරගත් ආර්ථික හා සමාජ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාවට නැංවීම පෙන්වා දිය හැකි ය. ඉන් ඔබ්බට ගොස් 1978 දෙසැම්බර් මාසයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ එකොළොස් වන මධ්‍යම කාරක සභාවේ, තුන්වන පූර්ණ සැසියේදී නිවේදනය කළේ චීන තත්ත්වයන්ට ගැලපෙන කෘෂිකාර්මික නව්‍යකරණ මාවතකට එරට පිවිසෙන බව ය. එදා මෙදා තුර චීන රජය විසින් කෘෂිකාර්මික නවීකරණය පිළිබඳ සංකල්ප යාවත්කාලීන කර ඇති අතර කෘෂිකාර්මික අංශය සඳහා නව්‍ය නිෂ්පාදන ක්‍රම සහ නවීන තාක්ෂණික මෙහෙයුම් පද්ධති ස්ථාපිත කිරීම කෙරෙහි නිරතුරුව අවධානය යොමුකර තිබේ. ඒ අනුව ගොවීන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය මෙන්ම ජන ජීවිතයට අදාල පහසුකම් වැඩිදියුණු කිරීමේ සුවිශේෂී ක්‍රියාන්විත ඔස්සේ වසර 2020 අවසානයේදී එරට සෑම පළාතකින්ම දරිද්‍රතාවය තුරන් කිරීමට චීන රජය සමත්විය. චීනය විසින් 2025 වසර අවසන් වනවිට වාර්ෂික ආර්ථික වර්ධනය සියයට 4.8 ක් තරම් වූ දැවැන්ත ජයග්‍රහණයක්, කරා ගෙනගොස් ඇත්තේ ඒ ලෙසිනි.

    දෙවැනි නිදසුනට ගැනෙන අග්නිදිග ආසියාතික රටක් වූ වියට්නාමය, අඛණ්ඩව වසර 30 ක සන්නද්ධ ගැටුම් මගින් විනාශ වූ ආර්ථිකයකට උරුමට පෑවේය.  එක්සත් ජනපදය විසින් 1975 – 1994 කාලය තුළ පනවන ලද සම්බාධක මෙන්ම 1991 සෝවියට් සංගමයේ බිඳවැටීම සහ සමාජවාදී රටවල සහාය හීනවීම මත එරට ආර්ථික ගැටළු තවදුරටත් සංකීර්ණ විය. රට සාමකාමී ස්ථාවරත්වයකට පත්වුවද වියට්නාමය අනුගමනය කළේ මධ්‍යගත සැලසුම් සහිත ආර්ථික රටාවකි. විශාල උත්සාහයක් දැරුවත්, එරට කෘෂිකාර්මික සංවර්ධනය එකතැන පල් වූ අතර දේශීය ආහාර නිෂ්පාදනය ජාතික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවීය. ගොවීන්ගේ නිෂ්පාදන ඉතා අල්ප විය. ජාතිය පෝෂණය කිරීම සඳහා, වසරකට ආහාර ටොන් මිලියන 1-2 ක් ආනයනය කිරීමට වියට්නාමයට සිදු වූයේ ග්‍රාමීය ජනගහනයෙන් වැඩි දෙනෙකු දරිද්‍රතාවයට මුහුණ පෑ පසුබිමක ය.

    මෙම තත්වය හමුවේ 1986 දී, වියට්නාමයේ පාලක කොමියුනිස්ට් පක්ෂය “ඩොයි මොයි” Doi Moi නමින් පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණයක් ආරම්භ කරමින් එතෙක් පැවති මධ්‍යගත  කෘෂිකර්මාන්ත වෙළඳපොළ රටාව, වඩාත් සමාජවාදී-නැඹුරු වෙළඳපොළ ආර්ථික Socialist-Oriented Market Economy නිෂ්පාදන මාවතකට යොමුකරන ලදී. මෙම ප්‍රතිසංස්කරණය ඔස්සේ ගොවීනට වෙළඳපල ආර්ථිකයක මූලධර්ම හා රීති සමග හිමිකාරිත්වය, කළමනාකරණය සංවිධානය කිරීම සහ බෙදාහැරීම යන අංශ තුනක් යටතේ දැනුම්වත් කරන ලදී. ඒ අතර කෘෂි ව්‍යාපාරවලට ප්‍රබල දිරිගැන්වීම් ලබාදෙමින් වියට්නාම ගොවිජනතාව වෙත අවශ්‍ය කාලීන කෘෂි තාක්ෂණික ආධාර ලබා දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, 1986-2023 වකවානුව තුළ දී වියට්නාමයේ කෘෂිකාර්මික අංශය වසරකට 3.5% කින් වර්ධනය විය. 1990 සහ 2023 කාලය තුළ ගොවිපල මට්ටමේ නිමැවුම් වූ කෝපි, රබර් හෝ කජු සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර කුකුළු මස්, ඌරු මස් හෝ ධීවර නිෂ්පාදනය දෙගුණයක සිට දස ගුණයකින් වැඩි වූ බව වාර්තා කෙරුණි. ඒ හේතුවෙන් වියට්නාම ගොවීන්ගේ ආදායම ද ක්‍රමයෙන් ඉහළ නැංගේ ය. දරිද්‍රතාවය වාර්ෂිකව 1-2% කින් අඩුකරගැනීමට සමත් විය. මේවනවිට වියට්නාම රජයේ අරමුණවී තිබෙන්නේ 2030 වසරේදී ලොව ඉහළම කෘෂි ආහාර නිෂ්පාදන සැකසුම් රටවල් 10 අතරට එක්වීමයි.

    මේ ආකාරයට විදේශීය රාජ්‍යයන්ගේ අත්දැකීම් හා උගත් පාඩම් පාදක කරගනිමින්, මෙරට කෘෂි දේශගුණික කලාපයන්ට ගැලපෙන ප්‍රායෝගික ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ හා දේශපාලඥයින්ගේ වගකීමකි. එහිදී, දේශීය කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍ර   විවිධාංගීකරණය ඔස්සේ අගය එකතු කළ නව සන්නාම හඳුන්වා දීමත්, සත්ත්ව පාලනය සඳහා පවතින තෘණ බිම් හිඟයට විසඳුම් ලෙස රක්ෂිත බිම් වලින් බැහැරව නව තෘණ බිම් ස්ථාපිත කිරීමත්, උසස් ආරයේ සතුන් විධිමත් ලෙස සපයාදීමත් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ගොවිතැනෙහි නිරතවීමෙන්ම දුප්පතුන් ලෙස කේන්ද්‍රගතව සිටින වියළි කලාපීය සහ උතුරු-නැගෙනහිර ගොවි ජනතාවගේ ආදායම් විෂමතාවය දුරු කිරීම සඳහා මෙන්ම, උසස් ද්විතීයික අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සම්බන්ධයෙන් පුළුල් පරතරයකට මුහුණ දී සිටීන ඔවුන්ගේ දරුවන්ගේ අභිලාෂයන් මුදුන්පත්කර දීමට උපායමාර්ගික ප්‍රමුඛතා ක්ෂේත්‍ර කිහිපයක් පෙන්වා දියහැකි වේ. ඒ උදෙසා ආහාර සැකසුම් කර්මාන්ත වෙනුවෙන් ආයෝජන කිරීම දිරිමත් කිරීම, කෘෂියන්ත්‍රෝපකරණ උපාංග කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීම, ප්‍රාග්ධන යෙදවුම් උදෙසා වන ණය අරමුදල් ප්‍රසාරණය කිරීම, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන අගය එකතුකළ ආහාර නිෂ්පාදන සඳහා පූර්ණ බදු නිදහස ලබාදීම ඒ අතුරින් වඩාත් ඉස්මතු වේ.

    සාමාන්‍යයෙන් ග්‍රාමීය ජීවිතය හා සම්බන්ධ වීමට, ප්‍රාදේශීය සංස්කෘතීන් අත්විඳීමට සහ ස්වාභාවික භූ දර්ශනය නැරඹීම තුලින් ලැබෙන ප්‍රතිලාභ භුක්ති විඳීමට ජනතාව දක්වන්නේ ඉතා ප්‍රියමනාප බවකි. ඒ ඔස්සේ ගොඩනැගුණු කෘෂි සංචාරක ව්‍යාපාරය Agrotourism මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය තුළ පසුගිය දශකයේ සීඝ්‍රයෙන් පැතිර ගියේ ය. එකී රටවල ග්‍රාමීය ප්‍රජාවට ආර්ථික ප්‍රතිලාභ තිරසාර ලෙස අත්පත්කර දීම සඳහා කෘෂි සංචාරක ව්‍යාපාරය මහඟු දායකත්වයක් සපයා ඇත. එහෙත් මෙරට තුල ඒ කෙරෙහි තවමත් පවතින්නේ සිමිත නැඹුරුවකි. කෙසේ වුවද යැපුම් ගොවිතැනින් ඔබ්බට ග්‍රාමීය ආර්ථිකයන් විවිධාංගීකරණය කිරීමට මෙම ක්‍රමය පහසුවෙන් ආදේශකරගත හැකි වේ. ඒ අනුව රජයේ හා පුද්ගලික අංශය සතු කෘෂිකාර්මික ගොවිපල, ඒ සඳහා පහසුවෙන් පරිවර්තනය කළහැකි වේ. කෘෂිකර්මාන්තය සහ කෘෂි සංචාරක ව්‍යාපාර සහයෝගීතාවයෙන් ක්‍රියාකරන විට, ප්‍රජා බලගැන්වීම උත්තේජනය කළ හැකි අතර ඊට සමගාමියව ගොඩනැගෙන, ක්ෂුද්‍ර ව්‍යවසායන් Microenterprises ඔස්සේ ග්‍රාමීය ප්‍රජාවගේ සැඟවුණු ව්‍යවසායකත්ව විභවයන් ඉදිරියට ගතහැකි වේ. එමගින් ග්‍රාමීය ආර්ථිකය වඩාත් යහපත් මට්ටමකට ඔසවා තැබිය හැකි අතර එම ප්‍රජාවගේ දරිද්‍රතාවය අඩු කිරීමේ මාවතක් ද එළිපෙහෙළි කරනු ඇත.

    මෙවන් ක්‍රියාදාම ඔස්සේ ඉහළ ගුණාත්මකභාවයකින් හා කාර්යක්‍ෂමතාවයකින් යුත් නිෂ්පාදන කර්මාන්ත රටාවකට කෘෂිකාර්මික අංශය සමීපවීමේදී සදාකාලිකවම ගොවියා පෙළන දරිද්‍රතාවය යටපත් කිරීමට හැකියාව උදාකෙරනු ඇත. නමුත් එය ඉතා අභියෝගාත්මක කාර්යයකි. එය ජයගැනීම උදෙසා ගොවිතැනෙහි නිරතවන්නන්හට අවැසි කෘෂි තාක්ෂණික දැනුම අත්පත් කරගැනීමට අදාළව වෘත්තීයමය පුහුණු පහසුකම් එයට සමගාමීයව පුළුල් කළ යුතු වේ. මක්නිසාදයත් ආර්ථික ව්‍යුහය ප්‍රාථමික අංශයෙන් නිෂ්පාදන අංශයට විශේෂයෙන් ඉහළ මට්ටමේ නිෂ්පාදන හා සේවා අංශවලට මාරුවීමේදී දියුණු තාක්‍ෂණ භාවිත උදෙසා උසස් කුසලතා ඔවුන් විසින් අත්පත්කර ගෙන සිටිය යුතු බැවිනි. එමෙන්ම ඉන් ඔබ්බට ගොස් ස්වකීය කෘෂි ව්‍යාපාර සමග ඒ වටා පවතින හරිත පරිසර පද්ධතිය රැකබලා ගැනීමේ පාරිසරික සංරක්ෂණ හා සංවර්ධන ක්‍රමෝපායයන්ගේ Environmental conservation and development strategies වැදගත්කම හා එහි ප්‍රතිලාභ අත්පත්කර ගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් වෙත අවධාරණය කිරිම ඉතා වැදගත් වේ. ඒ අනුව සමස්ත කෘෂිකාර්මික අංශයම නව සංවර්ධන දර්ශනයක් යටතේ ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. ඒ ඔස්සේ සාපේක්ෂ දරිද්‍රතාවය තුරන් කර පොදු සමෘද්ධිය ළඟා කරගත හැකි වැඩිදියුණු කළ යාන්ත්‍රණයක් සකස් කර ගැනීම අරභයා, තායිලන්තය සහ ඉන්දියාව වැනි කලාපීය රටවල් කෘෂිකාර්මික හා ද්විතීයික කාර්මික අංශ ඒකාබද්ධ කරමින් ලබාගෙන ඇති සාර්ථක අත්දැකීම් අපට ආදර්ශයට ගත හැකි වේ.

    විශේෂයෙන්ම අද දවසේ ලෝකයේ බොහෝ රටවල කෘෂිකාර්මික සැපයුම් දාම Agricultural supply chains වැදගත් කාර්යභාරයක් ඉටුකරන සේවාවක් ලෙස ඉදිරියට පැමිණ තිබේ. අපේ රට සම්බන්ධයෙන් ඒ උදෙසා ගෙවතු සහ කුඩා ගොවිපලවල්, බහුකාර්ය ගොවිපලවල්, ඒකාබද්ධ කෘෂි ව්‍යාපාර හා ව්‍යාපෘති, ආහාර තොග එකතු කිරීමේ මධ්‍යස්ථාන හා වෙළඳපොළවල් සහ ආර්ථික මධ්‍යස්ථානයන්හි කාර්යභාරය ඉතා වැදගත් ලෙස සැලකිය හැකි වේ. එහෙයින් නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයින් වෙත ගෙන යාම සඳහා තරඟකාරි සැපයුම් දාම පද්ධතියක් විධිමත් ලෙස ගොඩනැගීමට කටයුතු කිරීම එහි ප්‍රගමනයට ඉවහල් වනු ඇත. කෙසේ වෙතත්, මෙරට ගොවීන් බහුතරයක් තවමත් පාරිභෝගිකයින් සමඟ සෘජු සබඳතා ඇතිකර ගැනීමේදී විවිධ ආකාරයේ බාධක අත්විඳිමින් සිටින බව පැහැදිලි වේ. ඔවුන් දිගු අතරමැදි දාම මත විශ්වාසය තබා කටයුතු කරන ආකාරයෙන් ඒ බව විද්‍යමාන කෙරේ. මෙම තත්වයන් යුහුසුළුව වෙනස් කිරීම කෘෂි ක්ෂේත්‍රයේ පුනරුදයකට කාලෝචිත පියවරක් වනු ඇත.

    ඉදිරි දශකය තුල මෙරට ජනතාවට සංවර්ධනයේ සහ සමෘද්ධියේ ඉහළ ප්‍රතිලාභ අඛණ්ඩව අත්පත් කරගැනීමට හැකිවන්නේ මෙවැනි ක්‍රියාපිළිවෙත් ඔස්සේ පමණි. එවන් ගමනකදී අප රටට ලෝකයේ සෙසු රටවල්වලින් හුදෙකලා විය නොහැකි ය. එහෙයින් ඒ සමගම අනාගතය ගෝලීය අරමුණු කෙරෙහි සාධනීය දායකත්වයක් සැපයීමට කෘෂිකර්මාන්ත අංශයේ නිරතවූවන් පෙළඹවිය යුතු වේ. එහෙත් ලබා ඇති අත්දැකීම්වලින් පෙනී යන්නේ අභියෝග භාර ගැනීමට ඇති උනන්දුව හා ධෛර්යය ඔවුන් සතුවුවද කෘෂිකර්මාන්තය උදෙසාම කටයුතු කරන ආයතනවල දැක්ම, වගකීම පිළිබඳ හැඟීම කුමන ආකාරයකින් ඔවුන්වෙත ප්‍රවේශ කරනවාද යන්න පිළිබද ඇති ගැටළුවයි. මෙම කරුණු විශ්ලේෂණයේදී පෙනී යන්නේ කෘෂිකර්මාන්තය පදනම්කරගත් කාර්මීකරණය සමග ආනයන-අපනයන අන්තර් හුවමාරු වෙළඳපොළක් ලෙස රට සංවර්ධනය කිරීමට අප ක්‍රියා කළයුතු බවයි. ඒ උදෙසා ශක්තිමත් නිර්දේශ සහිත ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගැනීමට රාජ්‍ය  නායකත්වයේ සෘජු මැදිහත්වීමක අවශ්‍යතාව දැන් එළඹ ඇත.  පැලැස්තර ක්‍රියාමාර්ග වලින් බැහැරව ස්ථාවර ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීම සඳහා වැදගත්වන්නේ එවැනි ක්‍රමවේදයක් පමණි.

    එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments