Friday, January 2, 2026
More
    Homeකාලීන පුවත්විදුලි ගාස්තු ඉහළ දැමීමේ ලංවිම යෝජනා මහජන උපයෝගීතා කොමිෂමට -සම්පූර්ණ කතාව මෙන්න

    විදුලි ගාස්තු ඉහළ දැමීමේ ලංවිම යෝජනා මහජන උපයෝගීතා කොමිෂමට -සම්පූර්ණ කතාව මෙන්න

    2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇති අතර එහිදී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ.

    මේ අතර විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය අධ්‍යයනය කොට ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂම අද (02) සඳහන්  කළේය.ඒ අනුව ජනවාරි දෙවන වන සතිය වන විට මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන අතර සති 6ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය ලංවිමට දැනුම් දෙන බව මහජන උපයෝගීතා කොමිෂම පැවසුවේ.

    2026 ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන කාලය සඳහා පවතින ගාස්තු යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති ආදායම සහ අපේක්ෂිත පිරිවැය අතර රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂමට යෝජනා කර ඇත.

    ලංවිම සිය යෝජනාවලියේ සඳහන් කර ඇති ආකාරයට අදාළ කාලය තුළ පවතින ගාස්තු යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති ආදායම රුපියල් මිලියන 113,161ක් වන අතර පේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016කි. ඒ අනුව අදාළ කාලය තුළ රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟය පියවා ගැනීම සඳහා සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බව විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

    යෝජිත සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩයේ පළමු විදුලි ඒකක 60 දක්වා අදියර දෙකක් යටතේ ගාස්තු සංශෝධනය වන අතර මුල් ඒකක 30ට අදාළව එක් විදුලි ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29ක් දක්වා වැඩිවීමට යෝජිතය. එම කාණ්ඩයේ මාසික ගාස්තුවද රුපියල් 80 සිට රුපියල් 94.11 දක්වා රුපියල් 14.11කින් ඉහළ යනු ඇත.

    ඒකක 31 සිට 60 දක්වා, එක් ඒකකයකට අයකෙරෙන රුපියල් 8ක ගාස්තුව රුපියල් 9.41 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර එහි මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 37.03 කින් ඉහළ යන අතර එහි යෝජිත  ගාස්තුව රුපියල් 247.03කි.

    ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ඒකකයකට දැනට අයකරන රුපියල් 18.50ක ගාස්තුව රුපියල් 21.76 දක්වා වැඩි කිරීමට යෝජිත අතර ඒකක 91 සිට 120 දක්වා ඒකකයකට අය කරන රුපියල් 24ක ගාස්තුව ද රුපියල් 28.23 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

    ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක් සඳහා අය කරන රුපියල් 41ක ගාස්තුවද රුපියල් 48.23ක් දක්වා ඉහළ දැමීමටත් ඒකක 181 හෝ ඊට වැඩි ඒකකයක් සඳහා පැවති රුපියල් 61ක ගාස්තුව රුපියල් 71.76 දක්වා ඉහළ දැමීමටත් ලංවිම යෝජනා කර ඇති අතර මෙම කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තු ද මීට සමගාමීව ඉහළ නැංවීමට මෙම යෝජනා අතර තිබේ.

    ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා විදුලි ගාස්තු ද ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇති අතර එහි පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29 දක්වා ඉහළ දැමීමට යෝජිත අතර, රුපියල් 75 ක්ව පැවති මාසික ගාස්තුව ද , රුපියල් 88.23 දක්වා ඉහළ නැංවීමට යෝජිතය.

    ඒකක 31 සිට 90 දක්වා ඒකකයක මිල ද ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එම කාණ්ඩයේ මාසික ගාස්තුව ද රුපියල් 35.27කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

    ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 22.35 දක්වාත් ඉහළ නැංවීමට ලංවිම අවසර ඉල්ලා ඇති අතර  ඒකක 181 හෝ ඊට වැඩි නම් රුපියල් 26 සිට 30.59 දක්වා මිල ඉහළ දැමීමට ලංවිම අවසර ඉල්ලා ඇත.

    මීට සමගාමීව කර්මාන්ත සහ හෝටල් සඳහා විදුලි ගාස්තුද ඉහළ දැමීමට ද යෝජනා කර ඇති අතර ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 300ට වැඩි ඒකකයක මිල රුපියල් 17 සිට රුපියල් 20 දක්වාත් ඉහළ නැංවීමට ලංවිම මහජන උපයෝගීතා කොමිෂමේ අනුමැතිය ඉල්ලා ඇත.

    මේ ආකාරයෙන් ගෘහස්ත, ආගමික ඇතුළු පාරිභෝගික කණ්ඩ කිහිපයක විදුලි බිල ඉහළ නැංවීමට ලංවිම මහජන උපයෝගීතා කොමිෂමේ අනුමැතිය ඉල්ලා තිබුණ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවේ.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments