Sunday, March 8, 2026
More
    Homeකාලීන පුවත්ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරින නිකුත් කළ සුභපැතුම් පණිවුඩය

    ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරින නිකුත් කළ සුභපැතුම් පණිවුඩය

    සමස්ත ශ්‍රී ලාංකේය සහ ලෝකවාසී සහෝදරියන් සහ දැරියන් වෙත ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් පිරිනමමි.

    මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර කාන්තා දින ගෝලීය තේමාව ලෙස “Rights. Justice. Action. For ALL Women and Girls” (සියලු කාන්තාවන්ට සහ දැරියන්ට හිමි අයිතිවාසිකම් ලබාදීම, යුක්තිය ඉටු කිරීම හා ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම.) ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    ශ්‍රී ලාංකේය සමාජයේ සහ ආර්ථිකයේ සැබෑ ජීවය වන්නේ අපේ කාන්තාවයි. ඇය පවුල තුළ මෙන් ම සමාජය තුළ ඉටු කරන මෙහෙවර අද වන විට රටක අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය බවට පත්ව තිබේ. අපේ රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අප අපේක්ෂා කරන්නේ කාන්තාව හුදු ප්‍රතිලාභියෙකු ලෙස පමණක් නොව, රටේ සංවර්ධනයේ සක්‍රීය හවුල්කරුවෙකු ලෙස සලකා ඇයට හිමි ගෞරවය සහ අවස්ථා ලබා දීමටයි.

    අපගේ ප්‍රතිපත්ති මාලාව තුළ කාන්තාව වෙනුවෙන් මූලික අවධානයක් යොමු කර ඇති අතර එහි ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේ සිහිපත් කිරීමට කැමැත්තෙමි.

    ගෘහණියක් ලෙස ඇය සපයනු ලබන ආර්ථික දායකත්වය අගය කරමින්, කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම සහ ඇයට ස්වයං රැකියාවල නිරත වීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය පහසුකම් පුළුල් කිරීමත්, පොදු ප්‍රවාහනයේදී, සේවා ස්ථානයේදී සහ පවුල තුළ කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව ශක්තිමත් කිරීමත් අපේ ප්‍රධාන අරමුණු සේ සලකා කටයුතු කරන අතර ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා තීරණ ගන්නා ආයතන තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙන්ම කාන්තාවන්ගේ පෝෂණය, ප්‍රජනන සෞඛ්‍යය සහ මානසික සුවතාවය ඉහළ නැංවීම සඳහා වූ විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අපි අවධානය යොමු කරමින් සිටිමු.

    කාන්තාව යනු අනුකම්පාව බලාපොරොත්තු වන පිරිසක් නොව ඇය බුද්ධියෙන්, දරාගැනීමේ ශක්තියෙන් සහ නිර්මාණශීලිත්වයෙන් පිරිපුන් සමාජීය පාර්ශවකරුවන් වූ පිරිසකි. අපේ අරමුණ වන්නේ, කාන්තාවකට බියෙන් සැකෙන් තොරව මාවතක ගමන් කළ හැකි, ඇයගේ දක්ෂතාවට නිසි ඇගයීමක් ලැබෙන සහ ගෞරවනීය ජීවිතයක් ගත කළ හැකි “පොහොසත් රටක්” නිර්මාණය කිරීමයි.
    ජාත්‍යන්තර කාන්තා දිනය, මෙරට සියලු කාන්තාවන්ගේ යහපත් සිහින සැබෑ වන, ඔවුන්ගේ අභිමානය ලොවට විදහා දක්වන නව යුගයක ආරම්භය වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි!

    ආචාර්ය හරිනි අමරසූරිය
    අග්‍රාමාත්‍ය,
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය 

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments