
ධනුක ලියනගමගේ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය
- දිට්වා සුළි කුණාටුවෙන් ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් කොපමණ සංඛ්‍යාවකට හානි වුණ බව නිල වශයෙන් වාර්තා වී තිබෙනවා ද ?, මෙහිදී ව්‍යවසාය ක්ෂේත්රයට සිදු වුණ බලපෑම සම්බන්ධයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ තක්සේරුව කුමක් ද ?
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් විපතට පත් වූ ව්‍යවසායකයින්ගේ තොරතුරු රැස් කිරීමට කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ඩිජිටල් වේදිකාවක් / Digital platform හදලා තමන්ට වුණ හානිය වාර්තා කරන්න අවස්ථාවක් ලබා දුන්නා. සිදු වුණ හානිය මේ ඩිජිටල් වේදිකාවට වාර්තා කිරීමට සියලු පහසුකම් අපි ලබා දුන්නා. මෙහි දී අපි අපේක්ෂා කළේ මූල්‍ය හානිය නො වෙයි, පොදුවේ සිදු වුණ හානිය ගැන ඡායාරූප ආදිය ද ඇතුළත්ව වාර්තා ලබා ගැනීමයි. ඒ අනුව අපට 30,000කට ආසන්න ඉල්ලීම් ප්‍රමාණයක් ලැබුණා. අපි පළමු වැනි අදියරේ දී අවධානය යොමු කළේ නිෂ්පාදන කර්මාන්තවලට / Manufacturing industries සහනයක් ලබා දෙන්න. සුළි කුණාටුවේ බලපෑමට ලක් වුණ නිෂ්පාදන කර්මාන්ත 10,000කට අධික ප්‍රමාණයකින් අපට ඉල්ලීම් ලැබී තිබුණා. ඊට පස්සේ අපේ අමාත්‍යාංශයට අනුයුක්ත සියලුම නිලධාරීන් හරහා මේවා භෞතිකව සත්‍යාපනය / Physically verified කළා.
මෙහිදී අපි විපතට පත් වුණ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසායකයින් හඳුනා ගත්තා. ඊට පසුව අපි ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න සහනාධාරයක් ලෙස රුපියල් ලක්ෂ දෙකක් ලබා දුන්නා. මෙහි දී අපි හානි තක්සේරුව ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඒ අනුව 6000කට අධික ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසායකයින් පිරිසකට රුපියල් ලක්ෂ දෙකක ආධාර ලබා දී තිබෙනවා. මම නැවත මතක් කරනවා, අපි මේ මුදල ලබා දුන්නේ කර්මාන්තශාලාව නැවත පිළිසකර කිරීම ආදිය කර ගෙන යළි ආරම්භ කිරීමට යි. මේ සඳහා අදාළ ගෙවීම් කටයුතු මේ වන විටත් විපතට පත් දිස්ත්‍රික්කවල අඛණ්ඩව සිදු වෙනවා.
මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායකයින්ට සහන යෝජනා ක්‍රම කිහිපයක් රජය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් සියලුම ව්‍යවසායකයින්ට අදාළ වන පරිදි බැංකු පද්ධතිය හරහා 3%ක වාර්ෂික පොළියකට වසර තුනක් දක්වා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මේ ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් රජය රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා. යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාවට හෝ අලුතින් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට මෙම ණය මුදල යොදා ගන්න පුළුවන්.
ඒ වගේම ගොඩනැගිලි වලට හානි වුණ සියලුම ව්‍යවසායකයින්ට (MSMEs) තමන්ට සිදු වුණ හානිය තක්සේරු කිරීමකින් තොරව අවශ්‍ය නම් ලක්ෂ පහක වන්දියක් ලබා ගැනීමට පුළුවන්. එසේ කිරීමට අකමැති නම් ඔවුන්ට රුපියල් මිලියන පහක් දක්වා වන්දියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මම මෙහිදී වැදගත් කරුණක් අවධාරණය කරන්න කැමැතියි, මේ වන්දි දෙකම ලබා ගන්න හැකියාවක් නැහැ, එක් වන්දියක් පමණයි ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ.
- දිට්වා සුළි කුණාටුවෙන් හානි සිදු වුණ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ යළි මිලදී ගැනීමේ දී හෝ ආනයනය කිරීමේ දී යළි බදු ගෙවීමට සිදුවීම ගැන පසුගිය දිනවල අවධානය යොමු වුණා. මේ සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ මොනවාද ?
මම දන්න තරමින් මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් තවම ගෙන නැහැ. හානි වුණ කර්මාන්ත ශාලාවට යන්ත්‍රෝපකරණ ආනයනය කරන විට හෝ දේශීයව මිලදී ගන්න විට වැට් බද්ද ඉවත් කරන්න කියලා ඉල්ලීම් තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තවම චක්‍ර ලේඛනයක් නිකුත් වෙලා නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු වෙනවා.
- මේ වන විට දිට්වා සුළි කුණාටුව සිදුවෙලා මාස දෙකකට අධික කාලයක් ගත වෙලා තිබෙනවා. විපතට පත් ව්‍යවසායන්ගෙන් කොපමණ ප්‍රමාණයක් මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා ද ?
රුපියල් ලක්ෂ දෙකක ආධාර ලබා ගත් ව්‍යවසායකයින් බොහෝ දුරට ඔවුන්ගේ කර්මාන්ත යළි ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ලක්ෂ දෙකක ගෙවීම් නො කළ ව්‍යවසායකයින් විශාල පිරිසකුත් මේ වන විට තමන්ගේ කර්මාන්ත ශාලා යළි ආරම්භ කරලා තිබෙනවා. හානියට කලින් තිබුණ තත්ත්වයෙන් නොවුණත් බොහෝ කර්මාන්ත මේ වන විට යළි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම විශාල පිරිසක් ණය යෝජනා ක්‍රමවලට ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම සමහර ගෙවීම් කටයුතු මේ වන විට සිදුවෙමින් තිබෙනවා. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ද ඇතුළත්ව අමාත්‍යාංශයේ සියලුම ආයතන මේ වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනවා.
- පරාටේ නීතිය සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දී සිටින විපතට පත් ව්‍යවසායකයින්ටත් මේ ණය යෝජනා ක්‍රමවලට ඉල්ලුම් කරන්න පුළුවන් ද ?
3%ක පොළියට ලබා දෙන ණය මුදල ලබා දීමේ ඇප ගැන බලන්නේ නැහැ. අවධානය යොමු කරන්නේ සුළි කුණාටුවෙන් හානියට පත් වුණා ද ? කියන කාරණය සම්බන්ධයෙන් පමණයි. පරාටේ නීතිය යටතේ යම් යම් ගැටලුවලට මුහුණ දී සිටිනවා ද යන කාරණය මෙහි දී අදාළ වෙන්නේ නැහැ. නමුත් බැංකු නැවත ගෙවීමේ හැකියාව ගැන සලකා බලන එකට අභියෝග කරන්න අපට හැකියාවක් නැහැ. නමුත් 3% ණය මුදල ලබා දීමේ දී ‘අමතර ඇපයක් ඉල්ලන්න එපා’ කියල රජයට බැංකුවලට උපදෙස් දීලා තිබෙනවා. යම්කිසි ව්‍යවසායකයෙකුට ලබා ගන්න ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව තිබෙන බවට අදාළ බැංකුව සෑහීමට පත්වෙනවා නම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.
- ඒ කියන්නේ පරාටේ නීතිය යටතේ ගැටලුවලට මුහුණ දී සිටින ව්‍යවසායකයින්ට 3% ණය ලබා ගැනීමේ දී ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා ඔබට සහතික වෙන්න පුළුවන් ද ?
ඔව්, ඒ ණය මුදලයි සුළි කුණාටුවෙන් විපතට පත් කර්මාන්තවලට 3%ක පොළියකට ලබා දෙන ණය මුදලයි කියන්නේ දෙකක්. මේ ණය ලබා දීම වෙනුවෙන් අමතර ඇපයක් ඉල්ලන්න බැහැ. අවසාන තීරණය තියෙන්නේ බැංකු අතේ. නමුත් මේ ණය මුදල වෙනුවෙන් අමතර ඇපයක් ඉල්ලන්න එපා කියලා ආණ්ඩුව බැංකුවලට උපදෙස් දීලා තිබෙනවා.
- 3%ක වාර්ෂික පොළියට ණය ලබා දෙන්න බැංකු කීයක් එකඟත්වය පළ කරලා තිබෙනවා ද ?
රාජ්‍ය බැංකු තුනක් සහ පෞද්ගලික බැංකු 13ක් මේ ණය මුදල ලබා දෙනවා. මේ ණය ලබා දීම කරන්නේ ‘ප්‍රති මූල්‍ය / Re Finance කියන කාණ්ඩය යටතේ. අදාළ බැංකුවලට මේ මුදල් ලබා දීම කරන්නේ මහා භාණ්ඩාගාරයයි. තමන්ගේ මුදල් ණයට නො දෙන නිසා මේ ණය ලබා දීමේ දී බැංකුවලට තිබෙන අවදානමත් සැලකිය යුතු ලෙස අඩු වෙනවා.
- මෙම ණය ලබා දීමේ දී ලිපි ලේඛන ආදි ගැටලු රැසකට ව්‍යවසායකයින්ට මුහුණ දීමට සිදුවිය හැකියි. විශේෂයෙන් පසුගිය ආපදාවෙන් ලිපි ලේඛන ඇතුළු වාර්තා හානියට පත් ව්‍යවසායකයින්ට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය හැකියි. මේ සම්බන්ධයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අවධානය යොමු කර තිබෙනවා ද ?
සුළි කුණාටුවෙන් ලිපි ලේඛන හානි වූ ව්‍යවසායකයින්ට අදාළ ලිපි ලේඛන යළි සකස් කර ගැනීමට අපි අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ වගේම මේ අවස්ථාවේ දි ව්‍යවසායකයින් වැදගත් කරුණක් තේරුම් ගෙන තිබෙනවා. ඒක තමයි තමන්ගේ ව්‍යාපාරයට අදාළ ලිපි ලේඛන නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම. ව්‍යාපාර ලියාපදිංචියක් පවා නැති ව්‍යවසායකයින් අපට මේ අවස්ථාවේ දී හමු වුණා. ව්‍යාපාරය ලියාපදිංචි කර නොමැති ව්‍යවසායකයින්ට ආධාර මුදල් ලබා ගැනීමට හැකියාවක් නැහැ. තමන්ට ව්‍යාපාරයක් තිබුණා කියලා තහවුරු කිරීමට ඔවුන්ට හැකියාවක් නැහැ. එවැනි ප්‍රශ්න නිසා ඇතමුන්ට රජයෙන් ලබා දෙන සහන නො ලැබී යන්න පුළුවන්. ඒ නිසා අපි ව්‍යවසායකයින්ට යළි සිහිපත් කරනවා, පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කර ගන්න කියලා. ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශයේ තිබෙනවා National Industry Database එක. එහිත් තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න කියලා මම ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
- විශේෂයෙන් ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසායකයින් තම ව්‍යාපාර ලියාපදිංචි කිරීමට වැඩි සැලකිල්ලක් නො දක්වන බවට පොදු චෝදනාවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට යම් වැඩපිළිවෙළක් තිබෙනවා ද ?
රුපියල් ලක්ෂ දෙකක සහනාධාරය ලබා දෙන සියලුම ව්‍යවසායකයින් National Industry Database හි ලියාපදිංචි කිරීමට අපි පියවර ගන්නවා. එසේම තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරවලට (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය කළ හැකි) ඒ ක්‍රියාවලියට සහාය දක්වන්න අපි කමිටුවක් පත්කර තිබෙනවා. ඒ කමිටුවේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වෙමින් තිබෙනවා. මේක කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කළාට පස්සේ තමන්ගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළ සහනයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරය ලියාපදිංචි කරවා ගැනීම පමණක් නො වෙයි National Industry Database එකෙත් ලියාපදිංචි වෙන්න කියලා අපි ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
- දිට්වා සුළි කුණාටුවේ දී අපි දැක්ක දෙයක් තමයි ලංකාවේ ව්‍යවසායකයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව දුර්වල බව. ඒ වගේම ඔවුන් ආයතන ගත වෙලා නැහැ, ලිපි ලේඛන තබා ගැනීම ප්‍රමාණවත් ලෙස සිදු කරන්නේ නැහැ. මෙවැනි අභියෝග ජය ගැනීමට ඔබේ ආයතනයට හෝ අමාත්‍යාංශයට යම්කිසි වැඩපිළිවෙළක් තිබෙනවා ද ?

ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කර වීම සම්බන්ධයෙන් වඩාත් වැඩි අවධානයක් යොමු කරන ලෙස අපි අපේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් නිලධාරීන්ව දැනුවත් කර තිබෙනවා. ආපදා අවස්ථා වල දී සහන ලබා දීමට පමණක් නො වෙයි මෙරට ව්‍යවසායකයින් සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේ දීත් ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි වී තිබීම අත්‍යවශ්‍යයි, ඒ වගේම නිවැරදි දත්ත අවශ්‍යයි. ඒ නිසා ව්‍යාපාරයක් ලියාපදිංචි කර තිබීම ඉතාම වැදගත්. ඒ වගේම ගිනුම් තබා ගැනීමේ / Bookkeeping වැදගත්කම සම්බන්ධයෙන් ද අපි ව්‍යවසායකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම මෙම කටයුතුවලට අවශ්‍ය සහයෝගය ලබා දීමට ද අපේ නිලධාරීන් සූදානමින් සිටිනවා.
- ඔරොත්තු දීමේ හැකියාව වගේම අපේ ව්‍යසායකයින් අවදානම් කළමනාකරණය ගැනත් උනන්දුවක් නො දක්වන බව පසුගිය ආපදා තත්ත්වයේ දී පැහැදිලි වුණා. මේ ගැන අවධානය යොමු වෙලා තිබෙනවා ද ?
ඔව්, අවදානම් කළමනාකරණය / Risk management ගැන බොහෝ ව්‍යවසායකයින් කිසිම සැලකිල්ලක් නො දක්වන ලද බව අපි දැක්කා. බොහෝ ව්‍යවසායකයින් තමන්ගේ ව්‍යාපාරයට අදාළ රක්ෂණයක් පවා ලබා ගෙන නැහැ. ඔවුන් හිතන්නේ ව්‍යාපාර රක්ෂණයක් කියන්නේ ‘අමතර වියදමක්’ කියලා. නමුත් අපි මේ වන විට ව්‍යාපාර රක්ෂණය ගැන ව්‍යවසායකයින් දැනුවත් කරනවා. ඒ වගේම ව්‍යාපාරයකට සිදු වන සම්පූර්ණ හානියේ වගකීම දරන්න රජයට බැහැ. ඒ නිසා ව්‍යවසායකයින් යම්කිසි ආකාරයකින් තමන්ගේ අවදානම කළමනාකරණයට අදාළ පියවර ගත යුතුයි. ඒකට ඇති මූලික විසඳුම තමයි රක්ෂණාවරණයක් ලබා ගැනීම. අපි මේ සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කර තිබෙනවා. යම් යම් සහන ලබා දෙන්න ඔවුන් සූදානම්. ඒ පසුබිම තුළ අපි ව්යවසාකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා අවදානම් කළමනාකරණය ගැන මීට වඩා අවධානය යොමු කරන්න කියලා.
- රට තුළ ‘ව්‍යවසාය උන්මාදයක්’ ඇති කිරීම සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් පසුගිය දිනවල තිබුණා. එහි වර්තමාන තත්ත්වය කොහොම ද ?
මේ වැඩසටහනේ සැලකිය යුතු ප්‍රගතියක් තිබෙනවා. ව්‍යවසායකත්වය කියන එක අද වන විට ගෙදර දොරේ කතා වෙන වචනයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම වෙනත් අමාත්‍යාංශ විසින් ද ක්‍රියාත්මක කරන සෑම වැඩසටහනක් තුළ ම ව්‍යවසායකත්වයට අදාළ කොටසක් තිබෙනවා. ඒ වගේම බැංකු ඇතුළු මූල්‍ය ක්ෂේත්රය මේ සම්බන්ධයෙන් ඉතාම උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම රටට ආධාර ලැබෙන වැඩසටහන් තුළත් ව්‍යවසායකත්ව සංවර්ධනය අනිවාර්ය අංගයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය සහ පාසල් අමතක කරන්න බැහැ. ඒවා තුළ මේ වන විට ව්‍යවසායකත්වය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
- ව්‍යවසායකත්ව උන්මාදය භූමිය මත පැළ වෙනවාද ?
ඔව්, ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පැහැදිලි වර්ධනයක් තිබෙනවා. කොටස් වෙළෙඳපොළ තුළත් විශාල වර්ධනයක් තිබෙනවා. ඒ අනුව අපි අපේක්ෂා කළ ගමන ආරම්භ වෙලා තිබෙන බව පේනවා.
- ව්‍යවසායකත්වය වෙත පැමිණෙන ලෙස ආණ්ඩුව ආරාධනා කළත් ව්‍යවසායක් ආරම්භ කිරීම ‘කියන තරම් පහසු නෑ’ කියලා තමයි ජනතාව කියන්නේ. ඔබ මේ චෝදනාව ගැන දක්වන අදහස කුමක් ද ?
ව්‍යවසායකයින් වෙනුවෙන්ම රජය ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. Re-energizing the MSME Plus කියලා. මේ ණය යෝජනා ක්‍රමය ආරම්භ කළේම ව්‍යවසායකයින් වෙනුවෙන්මයි. මේ ණය බැංකු හරහා ලබා දුන්නත් මේකත් ‘ප්‍රති මූල්‍ය / Re Finance ණය යෝජනා ක්‍රමයක්. මේ ණය යෝජනා ක්‍රමයට අදාළ මුදල් ලබා දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්. 5%ක වාර්ෂික පොළියකට වසර 10ක කාලයක් තුළ ගෙවා නිම කිරීමට රුපියල් මිලියන 25 දක්වා ණය ලබා ගැනීමේ හැකියාව Re-energizing the MSME Plus හරහා හිමි වෙනවා. මෙහි ඇති විශේෂත්වය තමයි වසරක ගෙවීමේ සහන කාලයකුත් හිමිවීම. ඒ වගේම ව්‍යවසාය ක්ෂේත්‍ර සියල්ලම මේ ණය යෝජනා ක්‍රමය හරහා ආවරණය වෙනවා. මේ ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් රජය රුපියල් බිලියව 25ක් වෙන් කරලා තිබෙනවා.


