Friday, August 29, 2025
More
    Homeසෞඛ්‍ය හා ජීවිතයමානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින බොහෝ තරුණයින් උපකාර ඉල්ලා නොසිටින්නේ ඇයි?

    මානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින බොහෝ තරුණයින් උපකාර ඉල්ලා නොසිටින්නේ ඇයි?

    මෑත වසරවලදී, ලොව පුරා සිටින ජනතාව, තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය ගැටලු වඩ වඩා ත් බරපතළ වෙමින් පවතින බව වටහා ගැනීමට පටන් ගෙන තිබේ. එක් කණ්ඩායමක්, එනම් පිරිමි ළමුන් සහ තරුණයින් ඔවුන් අතරින් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත.

    දශක ගණනාවක් පුරා සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ, පිරිමින් තම මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සඳහා සහය ලබා ගැනීමට කාන්තාවන්ට වඩා අඩු නැඹුරුවක් දක්වන බව වන අතර 2023 වසරේ සිදු කළ එක්සත් ජනපද අධ්‍යයනයකින් හෙළි වූයේ, එම ප්‍රමාණය 40%කින් අඩු බව ය.

    නමුත් නව යොවුන් වියේ පසුවන පිරිමි ළමුන් සහ තරුණයන් උදව් ඉල්ලන්නේ කෙසේ ද, හෝ කිනම් අවස්ථාවකදී ද යන්න පිළිබඳ අප තවමත් දන්නේ සුළු ප්‍රමාණයකි.

    “මේක කනස්සල්ලට කරුණක්,” යැයි යුරෝපීය ළමා හා යොවුන් මනෝචිකිත්සක ජර්නලයේ 2024 සමාලෝචනයක සඳහන් කර ඇත්තේ, “නව යොවුන් වියේ පිරිමි ළමුන් සහ තරුණ පිරිමින් සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින නමුත් සේවා ලබා ගැනීමට අඩු,” නිසා ය.

    මෙලෙස ඔවුන් මනෝචිකිත්සක සේවාවලින් දූරස්ථ වීමට හේතුව කුමක් ද, සහ පාසල්, දෙමාපියන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඔවුන්ට උපකාර කිරීමට පියවර ගත හැක්කේ කෙසේ ද?

    නිහඬව විඳවීම

    පසුගිය වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පර්යේෂණයකට අනුව, ගෝලීය වශයෙන් වයස අවුරුදු 10ත් 19ත් අතර නව යොවුන් වියේ පසුවන දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික ආබාධයකින් පෙළෙයි.

    Full length of depressed boy sitting with backpack in school corridor
    අවශ්‍යතාවක් තිබියදීත්, බොහෝ පිරිමි ළමයි සහ තරුණයෝ ඔවුන්ට ලබා ගත හැකි මානසික සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ නොවෙති

    විෂාදය, කාංසාව සහ හැසිරීම් ආබාධ වඩාත් සුලභ ආබාධ බව එමගින් සොයා ගෙන ඇති අතර, වයස අවුරුදු 15-29 අතර පසුවන පුද්ගලයින් අතර මරණයට තුන්වන ප්‍රධාන හේතුව සියදිවි නසා ගැනීම බව ද සොයාගෙන තිබේ.

    ලාන්සට් මනෝචිකිත්සක කොමිසමට අනුව, සියලු ම මානසික සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් 75%ක් දක්වා ප්‍රමාණයක් වයස අවුරුදු 25ට පෙර ආරම්භ වන අතර බොහෝ විට වයස අවුරුදු 15දී ඒවා ආරම්භ වීමට වැඩි ඉඩක් තිබේ. අද, වෙන කවරදාටත් වඩා තරුණයන් ශාරීරිකව සෞඛ්‍ය සම්පන්නව සිටින බව පෙනුනත් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් කල ඔවුහු අරගල කරමින් සිටිති. එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර එය මෙම කාලය තරුණ මානසික සෞඛ්‍යයේ “භයානක අවධියක්” බවට පත් කරයි.

    නමුත් අවශ්‍යතාවක් තිබියදීත්, බොහෝ පිරිමි ළමයි සහ තරුණයෝ ඔවුන්ට ලබා ගත හැකි මානසික සෞඛ්‍ය සේවා භාවිත නොකරති.

    “පසුගිය වසර 15-20 දක්වා කාලය තුළ, පිරිමි ළමයින් හා ගැහැනු ළමයින් යන දෙපාර්ශවයේ ම මානසික සෞඛ්‍ය ගැටලුවල භයානක වැඩිවීමක් අපි දැකලා තියෙනවා. නමුත් පිරිමි අය උදවු ඉල්ලනවා අඩුයි,” ඔස්ට්‍රේලියාවේ National Centre of Excellence for Youth Mental Health නමැති ආයතනයේ මනෝචිකිත්සක සහ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය පැට්‍රික් මැගෝරි පවසයි.

    ඒ මැළිකමින් බොහෝ විට අදහස් වන්නේ, තරුණ පිරිමින් සහය පතන්නේ එය උග්‍ර වූ විට පමණක් බව ය.

    මානසික වශයෙන් දැඩි විය යුතු බව සහ ආත්ම විශ්වාසය වටා ඇති සමාජ සම්මතයන් බොහෝ විට පිරිමි ළමුන් උපකාර පැතීමට අධෛර්යමත් කරන බව විශේෂඥයින් බීබීසී වෙත පැවසුවේ, අධ්‍යයනවලින් නිරන්තරයෙන් පෙනී යන්නේ, පිරිමි ළමයින් තම අනාරක්ෂිත බව ප්‍රකාශ කිරීම දුර්වලකමේ ලක්ෂණයක් බව විශ්වාස කරන බව ද සඳහන් කරමිනි.

    කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ පිරිමින් සඳහා වන මානසික සෞඛ්‍ය පහසුකමක් වන HeadsUpGuysහි අධ්‍යක්ෂ ආචාර්ය ජෝන් ඔග්‍රොඩ්නීචුක් පැහැදිලි කරන්නේ, උපකාර පැතීම අසාර්ථකත්වයක් ලෙස පිරිමි ළමයින් සලකන බව ය.

    “පුරුෂයෙක් විදිහට සමාජගත වීම ගැන අපි කතා කළොත්, පිරිමි කරන්න ඕනේ මොනවා ද නැත්තේ මොනවා ද කියලා ගොඩක් දේවල් නියම කරලා තියෙනවා: ධෛර්ය සම්පන්න වෙන්න, ශක්තිමත් වෙන්න, පාලනයෙන් යුක්ත වෙන්න, කිසි ම දුර්වලතාවක් හෝ තමන් අවදානමේ ඉන්න බවක් පෙන්නන්න එපා, ඔයා ම ඔයාගේ දේවල්වලට විසඳුම් හොයා ගන්න වගේ ඒවා,” ඔහු පැහැදිලි කරයි. “ඔයාගේ ම චිත්තවේගීය ජීවිතය සමග සම්බන්ධතාවක් ගොඩනගා ගන්න සහ ඔයාට එහෙම අවශ්‍ය නම් උපකාර ඉල්ලන්න මේ දේවල් ගොඩක් බාධක විදිහට ක්‍රියා කරන ආකාරය ඔයාට දකින්න පුළුවන්.”

    පිරිමින්ගේ ස්වරය, භාෂාව සහ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඔවුන්ට ප්‍රවේශයක් විශේෂයෙන් නිර්මාණය කර ඇති විට, ඔවුන් ඒවාට සම්බන්ධ වීමට වැඩි ඉඩක් ඇති බව ආචාර්ය ඔග්‍රොඩ්නීචුක් පෙන්වා දෙයි.

    අවිධිමත් ප්‍රවේශය

    මෑත කාලීන අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ, සමාජ සම්මතයන් සහ දුර්වලතාව පෙන්වීම වටා ඇති අපකීර්තියට අමතරව, පිරිමි ළමයින් මානසික සෞඛ්‍ය සහය ලබා ගන්නා ආකාරය කෙරෙහි බලපාන තවත් සාධක කිහිපයක් ඇති බව ය.

    බොහෝ පිරිමි ළමයින් තම රෝග ලක්ෂණ හඳුනා නොගන්නා අතර උපකාර පැතිය යුතු ආකාරය නොදනී. එමෙන් ම විධිමත් සායනික සැකසුමක් තුළ ඔවුන්ට බොහෝ විට පහසු බවක් නොදැනේ.

    පිරිමි ළමුයි සහ තරුණයෝ බොහෝ විට මිතුරන් සමග කතා කිරීම හෝ නිර්නාමිකව සහය පැතීම, මාර්ගගත ක්‍රම භාවිත කිරීම සහ පිරිමි-හිතකාමී පණිවිඩ හුවමාරු කර ගැනීම එනම් උපකාර පැතීම ශක්තිය, වගකීම සහ ක්‍රියාමාර්ග ගැනීමේ ලක්ෂණයක් බව හඟවන සහ වඩාත් සාර්ථක ක්‍රමවලට කැමැත්තක් දක්වති.

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමහර තරුණ පිරිස් වෙනුවෙන් ක්‍රියාත්මක වන සේවා සාම්ප්‍රදායික සායනික ආකෘතිවලින් බැහැර වී තිබේ. උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාවේ, තරුණ මානසික සෞඛ්‍ය සංවිධානයක් වන Orygen, තරුණයින් සමග එක්ව සංවාද ස්වභාවිකව සිදුවිය හැකි ලිහිල්, අවිධිමත් පරිසරයන් එනම්, “මෘදු ප්‍රවේශ” අවකාශයන් නිර්මාණය කළේ ය.

    “තරුණ පිරිමි තමන්ගේ පළවෙනි අවස්ථාවේදී ම උපදේශන කාමරයේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න කැමති නෑ. එයාලා වාඩි වෙලා කරන සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වෙන්න අකමැති වෙන්න පුළුවන්,” Orygenහි විධායක අධ්‍යක්ෂ පැට්‍රික් මැගෝරී පවසයි.

    “සමහරවිට එයාලා ඇවිදින ගමන් හෝ පූල් හෝ ටේබල් ටෙනිස් ක්‍රීඩා කරනවා වගේ වෙනත් දෙයක් කරන අතරතුර වඩාත් සැහැල්ලුවෙන් සංවාදයක යෙදෙන්න කැමති වෙන්න පුළුවන්.”

    සමාජ මාධ්‍ය: මිතුරෙක් ද? සතුරෙක් ද?

    සමාජ මාධ්‍ය, දෙපැත්ත කැපෙන කඩුවක් වැනි දෙයකි: එයට හුදෙකලා නවයොවුන් තරුණ පිරිස් සමග සම්බන්ධ වී වටිනා තොරතුරු සැපයිය හැකි අතර ම ඔවුන් හානිකර අන්තර්ගතයන් සහ පුරුෂභාවයේ විෂ සහිත පරමාදර්ශවලට නිරාවරණය කිරීම ද කළ හැකි ය.

    A pre-teen concentrates as he holds and plays a battery operated handheld games console.
    සමාජ මාධ්‍යවල ඇති සියලු ම අන්තර්ගතයන් ඍණාත්මක නොවන බවත්, ඔන්ලයින් අවකාශයේ ඇති ඇතැම් දේවල් මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ද ප්‍රයෝජනවත් විය හැකි බවත් මනෝචිකිත්සකයෝ අවධාරණය කරති

    “තරුණ පිරිමින්ගෙන් බහුතරයක් දැන් පිරිමින් සහ පිරිමිකමට බලපෑම් කරන කන්ටෙන්ට් බලනවා,” යැයි සායනික මනෝවිද්‍යාඥ සහ Movember පිරිමින් පිළිබඳ සෞඛ්‍ය ආයතනයේ ගෝලීය අධ්‍යක්ෂ වෛද්‍ය සයිමන් රයිස් පවසයි.

    “Manosphere” [ඔන්ලයින් අවකාශයේ ඇති පිරිමින් මුල් කර ගත් ලෝකයක්] අන්තර්ගතයන් සමග සම්බන්ධ වන තරුණ පිරිමින් බොහෝ විට තම සම වයසේ මිතුරන්ට සාපේක්ෂව දුර්වල මානසික සෞඛ්‍යයක් අත්විඳින බව Movemberහි පර්යේෂණයෙන් හෙළි විය.

    නමුත් සෑම අන්තර්ගතයක් ම ඍණාත්මක නොවන බවත්, මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සමාජ මාධ්‍ය ද ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි බවත් රයිස් අවධාරණය කරයි.

    “ප්‍රජාවන් එකට එකතු කරලා යහපත් සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය තොරතුරු සපයන අතරේ හානි ඇති වෙන්න ඇති හැකියාව අවම කරද්දී සමාජ මාධ්‍යවල තියෙන ධනාත්මක දේවල් උකහා ගන්න පුළුවන් වෙන තැනට අපි වැඩ කරන්න ඕනේ.”

    කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඇල්ගොරිතම ගොඩනගා ඇත්තේ වයිරල් වීමට ඉඩ ඇති අන්තර්ගතයන් පතුරුවා හැරීම සඳහා නිසා ධනාත්මක, සෞඛ්‍යය කේන්ද්‍ර කරගත් පණිවිඩවලට “ඇල්ගොරිතමය ජය ගැනීමට” අපහසු බවත්, එම නිසා ඒවා පුළුල් ලෙස දැකීමට හෝ බෙදා ගැනීමට අපහසු වීම එය බරපතළ අභියෝගයක් නිර්මාණය කරන බවත් ඔහු පවසයි.

    ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නව යොවුන් මනෝචිකිත්සාව විෂය ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කරන මහාචාර්ය මීනා ෆසෙල්, සමාජ මාධ්‍ය ඇල්ගොරිතම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නව යොවුන් වියේ පසුවන්නන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැදගත්කම අවධාරණය කරන්නේ, පසුගිය මාසය තුළ තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු සමාජ මාධ්‍යවල ස්වයං-හානිකර අන්තර්ගතයන් දැක ඇති බව හෙළි කරන ඉදිරියේ ප්‍රකාශයට පත්වීමට පර්යේෂණයක් ගැන ද සඳහන් කරමිනි.

    නමුත් සමාජ මාධ්‍යයට පමණක් දොස් පැවරිය යුතු නැති බව ද සමාජයේ සිදුවන පුළුල් වෙනස්කම් ද සැලකිල්ලට ගත යුතු බව ද මහාචාර්ය ෆසෙල් වැඩිදුරටත් පවසයි.

    “පවුල් සහ ප්‍රජා ව්‍යුහයන් වේගයෙන් වෙනස් වෙනකොට සමාජ මාධ්‍ය ගොඩක් තරුණ අයට වටිනා සහායක මූලාශ්‍රයක් විදිහට වැඩ කරන්න ඉඩක් තියෙනවා,” ඇය පවසයි.

    තනිකම නමැති සාධකය

    පිරිමි ළමුන් මුහුණ දෙන වඩා ත් පොදු සහ බොහෝ විට නොසලකා හරින අභියෝගයක් වන්නේ තනිකමයි.

    මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද Gallup සමීක්ෂණයකින් හෙළි වූයේ, එක්සත් ජනපදයේ වයස අවුරුදු 15ත් 34ත් අතර පිරිමින්ගෙන් 25%ක් පෙර දිනයේ තනිකමක් දැනෙන බව වාර්තා කළ බව ය. එය එම රටේ ජාතික සාමාන්‍යයට සහ තරුණ කාන්තාවන් සඳහා වන ප්‍රතිශතයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් වන අතර එය රටේ සමස්ත ජාතික සාමාන්‍යයට (18%) වඩා වැඩි විය. තරුණියන් විසින් වාර්තා කරන ලද අනුපාතය 18%ක් ලෙස සඳහන් විය.

    Silhouette of a teenager on the street against the sky between houses
    මෑත කාලීන දත්තවලින් පෙනී යන්නේ, තනිකම සහ අරමුණක් නොමැතිකම තරුණ පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන ආතති සාධක දෙක බව ය

    තනිකම සහ අරමුණක් නොමැතිකම තරුණ පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන ආතති සාධක දෙක යැයි HeadsUpGuysහි දත්ත පෙන්වා දෙන බව ආචාර්ය ඔග්‍රොඩ්නීචුක් පවසයි.

    නම් කරන ලද චිකිත්සක සැසිවලදී පමණක් නොව, එදිනෙදා සිදු කරන කාර්යයන්වලදී පිරිමි ළමුන්ට මිත්‍රත්වයන් ගොඩනග ගැනීමට සහ විවෘතව කතා කිරීමට හැකි ආරක්ෂිත අවකාශයන් ගොඩනැගීමේ අවශ්‍යතාව විශේෂඥයෝ අවධාරණය කරති.

    එයින් අදහස් කරන්නේ උපදේශන වැඩසටහන්, සම කාලීන මිතුරන්ගෙන් සැදුම්ලත් සහය කණ්ඩායම් හෝ පන්ති කාමර තුළ මානසික සෞඛ්‍යය ගැන අප කතා කරන ආකාරය නැවත සිතා බැලීම වේ.

    පාසල්වල කාර්යභාරය

    “තරුණ පිරිමි ළමයි උදව් ඉල්ලනකොට, ඒක ප්‍රයෝජනවත් බව ඔවුන්ට පෙනී යන බවට ධනාත්මක ප්‍රවණතාවක් තියෙනවා,” මහාචාර්ය මීනා ෆසෙල් පවසයි.

    “ඒ උදව් ලබා දෙන්නේ කොහෙන් ද කියන එක ඇත්තට ම වැදගත් වෙන්නේ නැහැ: ඒක පාසලේදී වෙන්න පුළුවන්, සමාජ සේවාවලදී වෙන්න පුළුවන්, ප්‍රජාව තුළින් වෙන්න පුළුවන්.”

    Female student consoling depressed teenage boy resting head on desk in classroom
    පිරිමි ළමයින්ගේ ඉගෙනීමට සහ සංවර්ධනයට වඩා හොඳින් සහය වීම සඳහා පාසල් ප්‍රතිව්‍යුහගත කළ හැකි බවට මහාචාර්ය ෆසෙල් යෝජනා කරයි

    පිරිමි ළමුන්ගේ යහපැවැත්ම සඳහා පාසල් සංස්කෘතිය භූමිකාවක් ඉටු කරන බවට සාක්ෂි ද වර්ධනය වෙමින් පවතියි. විශේෂයෙන් පිරිමි ළමයින් ගැහැනු ළමයින්ට වඩා අධ්‍යාපනය සම්බන්ධයෙන් පසුගාමී වන පරිසරයක අධ්‍යයන පීඩනය, කාංසාව, කලකිරීම ඇති වීම සහ අධ්‍යාපනය කෙරෙහි ඇති ඇල්ම නැතිවී යාමට හේතු විය හැකි ය.

    ළමයින්ගේ ඉගෙනීමට සහ සංවර්ධනයට වඩා හොඳින් සහය වීම සඳහා පාසල් ප්‍රතිව්‍යුහගත කළ හැකි බවට මහාචාර්ය ෆසෙල් යෝජනා කරයි.

    “ලෝකයේ බොහෝ දරුවන්ට පාසල්වලට ප්‍රවේශය තිබෙනවා,” යැයි පවසමින් ඇය පෙන්වා දෙන්නේ, “ඉතින් සමහර විට මෙතනදී තමයි අපි අධ්‍යාපනයේ අධ්‍යයන පැත්ත පමණක් නැතිව, නව යොවුන් වියේ සංවර්ධනය සඳහා වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක්, විශේෂයෙන් පිරිමි ළමයින් සඳහා, නැවත සලකා බැලිය යුත්තේ,” යනුවෙන් ද සඳහන් කරමිනි.

    Source: bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments