වැසිකිලි යාමේ අවශ්‍යතාව තිබුණත් කිසිවක් පිට නොවන්නේ ද? මුත්‍රා කරන විට ඔබ දැවිල්ලක් වැනි සංවේදීතාවක් අත්විඳිනවා ද? මේ සියල්ල මුත්‍රා ආසාදනයක (UTI) පෙරනිමිත්තක් විය හැකි අතර ම එය අතිශය වේදනාකාරී විය හැකි ය.
ඇස්තමේන්තු කර ඇති පරිදි ගෝලීය වශයෙන් මිලියන 400ක පමණ පුද්ගලයින් පිරිසක් සෑම වසරක ම මුත්‍රා ආසාදනයක් සඳහා මුහුණ දෙති.
ආසාදනය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම සහ ළමුන්ට බලපෑම් එල්ල කළත් ඒවා කාන්තාවන් අතර වැඩි වශයෙන් දක්නට ලැබේ. ලොව පුරා සිටින කාන්තාවන්ගෙන් අඩක් පමණ ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවකදී මුත්‍රා ආසාදන අත් විඳිති.
ලොව බහුල ආසාදනයක් ලෙස, ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධක වර්ධනය වෙමින් පවතින ලෝකයක තුළ මුත්‍රා ආසාදන සඳහා ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීම අපට සහතික කළ හැක්කේ කෙසේ ද යන ගැටලුව පවතී.
අප දැනගත යුතු දේ සහ මෙම ආසාදන වළක්වා ගැනීම සඳහා අපට කළ හැකි දේ කුමක් ද යන්න සොයා බැලීම සඳහා අපි විශේෂඥයින් කිහිප දෙනෙකුට සමග කතා කළෙමු.
මුත්‍රා ආසාදන ඇතිවීමට හේතුව කුමක් ද?
මුත්‍රා ආසාදන (UTI) යනු, මුත්‍රා මාර්ගයේ (අපගේ ශරීරයෙන් මුත්‍රා පිටවන නළය), මුත්‍රාශයේ හෝ ඇතැම් බරපතළ අවස්ථාවලදී වකුගඩුවල ඇති වන ආසාදන තත්ත්වයකි.
සාමාන්‍යයෙන් ඒවාට හේතු වන්නේ බැක්ටීරියා මුත්‍රා මාර්ගය හරහා මෞත්‍ර ලිංගික පද්ධතියට ඇතුළු වීමයි. බොහෝ විට ඊ.කොලි වැනි මෙම බැක්ටීරියා ගුද මාර්ග තුළින් සහ ඒ අවට ප්‍රදේශයෙන් පැමිණෙයි.
කාන්තාවන් සහ ගැහැනු දරුවන් මුත්‍රා ආසාදන සඳහා වැඩි වශයෙන් ගොදුරු වන්නේ පිරිමින්ට සාපේක්ෂව ඔවුන්ගේ මුත්‍රා මාර්ගය කෙටි වීම නිසා එමගින් බැක්ටීරියා මුත්‍රා මාර්ගයට ඇතුළු වීමට පහසු වීමයි.
ඊස්ට්‍රජන් මට්ටම් පහත වැටීම හේතුවෙන් පශ්චාත් ආර්තවහරණය අවධියේ පසුවන කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇති වීමේ වැඩි අවදානමක් පවතී. සාමාන්‍යයෙන් මෙම හෝමෝනය යෝනි ප්‍රදේශය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට බැක්ටීරියා සමතුලිතව පවත්වා ගැනීමට සහය ලබාදෙන අතර එයින් පැවසෙන්නේ එය (හෝමෝනයේ) අඩුවීමෙන් යම් අයෙකුට ආසාදන ඇති වීමේ අවදානම වැඩි බවයි.
රෝග ලක්ෂණ මොනවා ද?
මුත්‍රා ආසාදනවල රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි නමුත් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට අනුව වඩාත් පොදු රෝග ලක්ෂණ කිහිපයක් පවතී:
- මුත්‍රා කරන විට වේදනාක් හෝ දැවිල්ලක් දැනීම
- එකවර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම හෝ සාමාන්‍ය ආකාරයට වඩා නිතර මුත්‍රා කිරීම
- මුත්රාවල අවපැහැය
- මුත්රාවල රුධිරය අන්තර්ගත වීම
- උදරයේ පහළ කොටසේ වේදනාව හෝ කොන්දේ වේදනාව, බොහෝ විට පර්ශුවලට පහළින්
- තද උණ, හෝ උණුසුම හෝ සීතල දැනීම සහ වෙව්ලීම
- තෙහෙට්ටුව හෝ දුර්වල බව
මුත්‍රා ආසාදනයක් සහිත වැඩිහිටි පුද්ගලයින්ගේ හැසිරීමේ කලබල බවක් හෝ ව්‍යාකූල බවක් නිරීක්ෂණය විය හැක. ළමුන් සම්බන්ධයෙන් ගත් කල නින්දේදී මුත්‍රා පහවීම සහ වමනය ද මුත්‍රා ආසාදනයක පෙර නිමිත්තක් විය හැකි ය.
මුත්‍රා ආසාදන නිරායාසයෙන් සුව වෙනවා ද?

“ඇතැම් කාන්තාවන්ට කිසිවක් සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් මුත්‍රා ආසාදනය සුව කරනවා. නමුත් සමහර කාන්තාවන්ට ප්‍රතිජීවක අවශ්‍ය වෙනවා,” ලන්ඩනයේ විටින්ටන් රෝහලේ මුත්‍රා රෝග පිළිබඳ වෛද්‍ය රාජ්වින්දර් කස්රියා පවසයි.
අප මෙම කාණ්ඩ දෙකෙන් එකකට අයත් විය හැක්කේ ඇයි ද යන්න අපට සම්පූර්ණයේ අවබෝධ කර ගත නොහැක්කේ ඇයි?
ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධය වර්ධනය වෙමින් පවතින ලෝකයක් තුළ එය පර්යේෂකයන් නගන වැදගත් ප්රශ්නයකි.
ක්ෂුද්‍ර ජීවී නාශක සඳහා ප්‍රතිරෝධය වර්ධනය වන ලෝකයක, එය පර්යේෂකයන් අතර වැදගත් ප්රශ්නයකි.
මුත්‍රා ආසාදන යනු වෛද්‍යවරුන්ට ප්‍රතිජීවක ඖෂධ නියම කිරීමට සිදුවන ප්‍රමුඛතම රෝගවලින් එකක් වන අතර ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන ප්‍රතිකාරයක් සොයා ගැනීම අරමුණයි.
ආචාර්ය කැතරින් කීනන් ටැන්සානියාව, කෙන්යාව සහ උගන්ඩාව ඇතුළු නැගෙනහිර අප්‍රිකානු රටවල්වල තුළ ඖෂධ සඳහා ප්‍රතිරෝධී මුත්‍රා ආසාදන පිළිබඳ පර්යේෂණ සිදු කර තිබේ.
සෞඛ්‍ය සායනයකට පැමිණි සහ පරීක්ෂාව සඳහා මුත්‍රා සාම්පල ලබා දුන් පුද්ගලයින් අතරින් ඔවුන් සමීක්ෂණය කළ පුද්ගලයින්ගෙන් අඩකට පමණ බහු-ඖෂධ ප්‍රතිරෝධී ආසාදන තිබිණි.
ලැජ්ජාව සහ සමාජය තුළ පවතින තහනම්කාරී හැඟීම කාන්තාවන් ඔවුන්ගේ රෝග ලක්ෂණ තම මිතුරන් සමග සාකච්ඡා කිරීමෙන් හෝ අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් වැළැක්විය හැකියි.
“එයාලා යම් ආකාරයකින් සැඟවිලා ඉන්න උත්සහ කරනවා අනෙක් අය එයාලගේ රෝග ලක්ෂණ ගැන දැන ගනීවි කියලා. මොකද ඒක එයාලට එයාලගේ සහකරුවාගෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වුණු ලෙඩක් කියලා අනිත් අය හිතාවි කියලා සහ එයාලගේ සහකරුවා එයාලට වංචා කරනවා කියලා හිතාවි කියලා,” ආචාර්ය කීනන් පවසයි.
“‘මගේ ඇඟේ තියෙනවා අවුල මොකක් ද කියලා මම දන්නේ නැහැ, මට අසනීප ගතියක් දැනෙනවා,’ කියලා කියන අය හිටියා. [ඔවුන්] ඇත්තට ම පෙන්නුම් කළේ ඒ වගේ අපකීර්තියක් සහ බලාපොරොත්තු සුන්වීමක් වගේ දෙයක්. Global Burden of Disease අධ්‍යයනයට අනුව UTI සහිත රෝගීන්ගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් කාංසාව සහ විෂාදය වැනි මානසික ගැටලුවලින් පීඩා විඳිති.
මුත්‍රා ආසාදන ස්පර්ශයෙන් බෝ වෙනවා ද?
මුත්‍රා ආසාදන, බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආසාදනය වන රෝග ලෙස වර්ග කර ඇති නමුත් ඒවා බෝ වන රෝග නොවන අතර ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.
කෙසේ වෙතත්, ඔබේ ගුද මාර්ගයේ සිට ඔබේ මුත්‍රා මාර්ගය දෙසට බැක්ටීරියා රැගෙන යාම හේතුවෙන් ලිංගික හැසිරීම මගින් මුත්‍රා ආසාදනවලට ගොදුරු වීමේ අවදානම ඉහළ නැංවිය හැකියි.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය නිර්දේශ කරන්නේ, මුත්‍රා මාර්ගයට ඇතුළු වී ඇති බැක්ටීරියා ඉවත් කිරීම සඳහා සංසර්ගයෙන් පසුව හැකි ඉක්මනින් මුත්‍රා කිරීම සිදු කරන ලෙසට ය.
මුත්‍රා ආසාදන නැවත නැවත ඇතිවන තත්ත්වයකදී ලිංගිකව එක් වූ වහා ම ඔබට ලබාගත හැකි ප්‍රතිජීවක ඖෂධයක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබිය හැක.
මුත්‍රා ආසාදන හඳුනා ගන්නේ කෙසේ ද?

මුත්‍රා ආසාදනයක් හඳුනා ගැනීමට ඇති “වඩා ත් සාර්ථක” ක්‍රමය වන්නේ ඔබ මුලින් පහ කරන මුත්‍රා නොව, මුල් කොටස පහ කර මැදින් ලබා ගන්නා මුත්‍රා කල්චර් පරීක්ෂණයකට (culture test) භාජනය කිරීම ය.
එහිදී රෝගියාගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂණය සඳහා රසායනාගාරයකට යොමු කරන අතර, එහිදී ඔවුහු මුත්‍රා තුළ වර්ධනය වන්නේ කුමන බැක්ටීරියාවක් ද යන්න නිරීක්ෂණය කරති.
මෙම ප්‍රතිඵලය මත පදනම්ව, රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු ම ප්‍රතිජීවක තිබේ නම් එය තෝරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව පවතී.
කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් අනතුරු අඟවමින් පවසන්නේ, මුත්‍රා අසාදන හඳුනා ගැනීමට සිදු කරන කල්චර් පරීක්ෂණ යල්පැන ඇති බවත් වෛද්‍යවරුන් රෝගියෙකුගේ රෝග ලක්ෂණ සහ රෝග ඉතිහාසය ද සලකා බැලිය යුතු බවත් ය.
වකුගඩු ආසාදනයක් වන පයිලෝනෙෆ්රයිටිස් (pyelonephritis) නමැති රෝගයෙන් පෙළුණු ගර්භණී කාන්තාවන්ගෙන් ලබාගත් දත්ත මත පදනම්ව
එඩ්වඩ් කාස් නමැති විද්‍යාඥයෙකු විසින් 1950 දශකයේදී මුත්‍රා කල්චර් පරීක්ෂණ ක්‍රමය සොයා ගත්තේ ය.
“අපි ඒ තත්ත්වය ම පදනම් කරගෙන ඒක ගැබ් ගෙන නොමැති කාන්තාවන්ට, සියලු ම වයස්වල පසුවන කාන්තාවන්ට, පිරිමි පුද්ගලයින්ට, දරුවන්ට, තරුණයින්ට, සෑම තරාතිරමක ම පුද්ගලයින්ට ගලපගෙන තිබෙනවා,” වෛද්‍ය කස්රියා පවසයි.
ඔබට මුත්‍රා ආසාදනයක් ඇති බවට ඔබ සැක කරන්නේ නම්, ඔබ ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු වේ.
මුත්‍රා ආසාදන නැවත නැවතත් ඇති වීම වළක්වා ගත හැක්කේ කෙසේ ද?

එක් මුත්‍රා ආසාදනයක් ඇති කාන්තාවන්ගෙන් 25%කට යළිත් මුත්‍රා ආසාදන ඇති විය හැකි බවට ඇස්තමේන්තුගත කර තිබේ. අවම වශයෙන් මාස හයකට දෙකක් හෝ වසරකට තුනක් වරක් ඔවුන්ට එම ආසාදන ඇති වේ. බොහෝ දෙනෙකුට ඊට වැඩියෙන් ඇති විය හැක.
ක්රැන්බෙරි යුෂ ගර්භණී නොවන නිරෝගී කාන්තාවන් තුළ මුත්‍රා ආසාදන නැවත නැවත ඇති වීම වැළැක්වීමට උපකාර විය හැකි බවට සාක්ෂි පැවතුණ ද, අනෙක් අධ්‍යයන මගින් කිසිදු ප්‍රතිඵලයක් පෙන්වා දී නොමැත.
මුත්‍රා ආසාදන වළක්වා ගැනීම සඳහා, ජාතික සෞඛ්‍ය සේවය උපදෙස් දෙන්නේ:
- ඔබ වැසිකිළියට යන විට ඉදිරිපස කොටස පිස දමා පසුව පසුපස කොටස පිස දමන්න
- ලිංගික ප්‍රදේශය පිරිසිදුව හා වියළිව තබා ගන්න
- ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කරන්න, විශේෂයෙන් ජලය, එමගින් දවස පුරා සාමාන්‍ය පරිදි මුත්‍රා පිට වීම සිදුවන අතර පිපාසය නොදැනෙයි.
- ලිංගිකව එක්වීමට පෙර සහ පසු යෝනි මාර්ගය අවට සම ජලය භාවිත කර සෝදන්න
- ලිංගිකව එක්වීමෙන් පසුව හැකි ඉක්මනින් මුත්‍රා කරන්න
- නැපි හෝ පෑඩ් අපිරිසිදු නම් වහා මාරු කරන්න
- කපු භාවිතයෙන් සැකසූ යට ඇඳුම් භාවිත කරන්න
එංගලන්තයේ සෞඛ්‍ය සහ සත්කාර විශිෂ්ටතා ජාතික ආයතනය කාන්තාවන් තුළ නිතර ඇති වන මුත්‍රා ආසාදන වැළැක්වීම සඳහා විකල්පයක් ලෙස දෛනිකව අඩු මාත්‍රාවකින් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම නිර්දේශ කරයි.
අනෙකුත් විකල්පවලට අයත් වන්නේ යෝනි මාර්ගය තුළට ඊස්ට්‍රජන් සහ මෙතෙනමින් හිපියුරේට් (එය ඔබේ මුත්රාවල සිටින විෂබීජ නසන ඖෂධයක් වන අතර ප්‍රතිජීවකයක් නොවේ) යෙදීම.
නිදන්ගත මුත්‍රා ආසාදනයක් යනු කුමක් ද?
නැවත ඇති විය හැකි මුත්‍රා ආසාදන මෙන් ,අ, නිදන්ගත මුත්‍රා ආසාදන පිළිබඳ පවතින දැනුවත්භාවය වැඩි වෙමින් ඇත. ඇතැම් විට ඒවා දීර්ඝ කාලයක් පවතින හෝ ශරිරයට කාවැදුණු මුත්‍රා ආසාදන ලෙස හැඳින්වේ. එවැනි තත්ත්වයක් ඇති පුද්ගලයෝ දෛනිකව මුත්‍රා ආසාදන රෝග ලක්ෂණවලින් පීඩා විඳිති.
පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ ඇතැම් රෝගීන් තුළ බැක්ටීරියාවලට මුත්‍රාශයේ ආරක්ෂිත ස්ථරය හරහා ගමන් කර සිරුරේ සෛල තුළ සැඟවී සිටිය හැකි බවයි.
එමෙන් ම මුත්‍රාශයේ බිත්තයට ඇලී, බයෝෆිල්ම් ලෙස හැඳින්වෙන ආරක්ෂිත ආවරණයකින් වසා ගෙන සැඟවී සිටීමේ හැකියාවක් බැක්ටීරියා සතු වන අතර එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සහ ප්‍රතිජීවක මග හැරීමට ඉඩ සලසයි.
වෛද්‍ය හස්රියා සහ අනෙකුත් පර්යේෂකයන් අනාවරණ කර ගැනීමට උනන්දුවෙන් පසුවන්නේ යම් පුද්ගලයෙකු තුළ නැවත නැවත හෝ නිදන්ගත මුත්‍රා ආසාදන වර්ධනය වන්නේ කෙසේ ද සහ ඇයි ද යන්න පිළිබඳව යමක් සොයා ගැනීමටයි.
“මුත්‍රා ආසාදන සම්බන්ධයෙන් ප්‍රමාණවත් පර්යේෂණ නොමැති නිසා තොරතුරුවල අඩුවක් තියෙනවා කියලා අපි හිතනවා. කාන්තා සෞඛ්‍යය පිළිබඳවත් ප්‍රමාණවත් තරම් පර්යේෂණ කරලා නැහැ,” ඇය පවසයි.
source:https://www.bbc.com/sinhala/articles/c4gj5q5vqglo