ලිංගිකව එක්විමකට හෝ ලිංගික ක්‍රියාකාරකමකට හෝ අවශ්‍යතාවයක් නොමැති කිසියම් අවස්ථාවකදී එවැනි ක්‍රියාකාරකමක් සඳහා ඔබ යම්කිසි පීඩනයකට හෝ බලපෑමකට ලක්වී ඇත්නම් ඔබ ලිංගික බලකිරීමකට ලක්වී තිබිය හැකිය. මෙවැනි තත්වයන් ඇතිවන්නේ යම් කෙනෙකුගේ ඒත්තුගැන්වීමකට හෝ බලපෑමක් හේතුවෙන් ලිංගික ක්‍රියාකාරකමකට කැමැත්ත ලබා දීමෙනි. මෙම බලකිරීම යම් යම් උපක්‍රම මගින් චේතනාන්විතව හෝ නොදැනුවත්බව නිසා අනෙක් පුද්ගලයා විශ්වාසවන්ත නොවන නමුත් ඔහු පිළිබඳව විශ්වාසයෙන් වුව ද සිදුවිය හැකිය.
කෙසේ නමුත් අරමුණ වෙනස් වුවත් ලිංගික බලකිරීමකදී ඇතිවන බලපෑම් එක සමාන වේ. නමුත් මේ සඳහා කැමැත්ත ලබාගැනීම පහසු නොවේ.
ඔබව ආරක්ෂා කරගැනීම සඳහා ලිංගික බලකිරීම සම්බන්ධව පවතින සංඥා පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වේ. ඔබ සිටින්නේ කවුරුන් සමග වුවත් ඔබ පවත්වන ශාරීරික සමිපතාවයේ ප්‍රමාණය පිළිබඳව තීරණය කිරීමට ඔබට අයිතියක් ඇත. එම පුද්ගලයා ඔබගේ සහකරුවා, ඔබ ඉතා කැමැත්තෙන් සිටින පුද්ගලයෙකු, හිතවතෙකු හෝ ඒ අවස්ථාවේදී හමුවූ පුද්ගලයෙකු විය හැකිය.
නිතර ඇතිකරන පීඩනය
ඔබගේ පැහැදිලි ප්‍රතික්ෂේප කිරීම නොසලකා ලිංගික එක්වීමකට හෝ ලිංගික ක්‍රියාකාරකමකට හෝ යමෙකු නිරන්තරයෙන් බලකිරීම මෙයින් අදහස් කරයි. එවැනි බලකිරීම් ඔබ මෘදු හෝ දැඩි වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත්නම් ඔබගේ මතයට ගරු කරමින් ඔවුන් එම බලකිරීම් නැවැත්විය යුතුය. ඔබ “බැහැ” කියූ පසුවත් ඔහු දිගින් දිගටම බල කරනවා නම් එය සීමාව ඉක්මවිය හැකිය.
නිදසුන්:
- “අයියෝ.. එන්න.. එය විනෝදජනකයි.. එන්න එන්න..”
- ඔබ එම පුද්ගලයාගේ අත ඉවත්කිරීමෙන් පසුවත් ඔබව ඇල්ලීම සහ එම ක්‍රියාව නැවත නැවත කිරීම.
- කොන්ඩමයක් නොමැතිව ලිංගිකව එක්වීමට කැමතියිදැයි නැවත නැවත ඇසීම.
- ඔබ අවනත නොවන්නේ නම් සම්බන්ධතාවය අවසන් කරන බවට තර්ජනය කිරීම.
මෙවැනි අවස්ථාවලදී නිතර නිතර බලකිරීම මගින් එකඟ කරවාගැනීමට හැකියාව ඇති නමුත් මෙය නිදහසේ කැමැත්ත ලබා දීම හා සමාන නොවේ.
හදිසි වෙනස් කිරීම්
ඔබ යම් පුද්ගලයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වමින් සිටියත් හදිසි වෙනස් කිරීම් පිළිගත හැකි බව එයින් අදහස් නොවේ. ඔබගේ සහකරු ඔබගෙන් අවසරයකින් තොරව ඔබව ඇල්ලීමට, ස්පර්ශ කිරීමට හෝ ඇඳුම් ඉවත් කිරීමට උත්සහ කළහොත් එයද බලකිරීමේ තවත් එක් ආකාරයක් වශයෙන් සඳහන් කළ හැකිය. මෙවැනි ක්‍රියා මගින් යම් පුද්ගලයෙකු පිඩනයට ලක්විය හැකි අතර එක්වීමක් සඳහා ඔවුන් සුදානම් නොමැති අවස්ථාවකදී එය කිසිවිටකත් අනුමත කළ නොහැකිය.
නිදසුන්:
- අනපේක්ෂිත ලෙස ඔබට ලිංගික එක්වීම් හෝ ක්‍රියාකාරකම් අඩංගු දර්ශන පෙන්වීම.
- ඔවුන්ගේ ඇඳුම් ගලවා ඔබ එය අනුගමනය කළ යුතු බවට ඇඟවීම.
- “මම එන්න හදන්නේ.. අපි ඉක්මනින් එය කරමු” (ලිංගික එක්වීම හෝ ක්‍රියාකාරකම්) වැනි දේ පැවසීම.
- ඔබ ලිංගික එක්විමකට සුදානම්දැයි නොවිමසා කොන්ඩමයක් පැළඳීම සහ එවැනි ක්‍රියා හරහා එය සිදුවන බවට අපේක්ෂාවක් ඇති කිරීම.
පාලනය කිරීමට හෝ බලපෑම් කිරීමට ලක්කිරීම
ඔබව අපහසුතාවයට පත්වන පරිදි ලිංගික එක්විමකට හෝ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට තරම් ඔබව පීඩනයකට, රැවටීමකට ලක්වී තිබේද? එසේ නොමැති නම් යමෙකු අමනාප වීම වළක්වා ගැනීම සඳහා ලිංගික එක්විමකට එකඟවීම පහසු බව ඔබ සිතුවාද?
එසේ සිදුවී ඇත්නම් එය ඔබගේ වරදක් නොවන බව මතක තබා ගන්න. මෙවැනි බලපෑම්කාරී පුද්ගලයන් බොහෝ විට බල අසමතුලිතතාවයන් නිර්මාණය කරන අතර අන් අයව සතුටු කිරීමට හෝ ගැටුම් වළක්වා ගැනීමට මෙවැනි අවස්ථා භාවිතා කරයි.
වරදකාරී හැඟීම් ඔබව අවුල් සහගත කරවයි.
ඔබ ලිංගික වශයෙන් යම්කිසි සිමාවන් පනවා ගැනීමේදී ඒ පිළිබඳව ඔහු සෘණාත්මක ප්‍රතිචාරයක් දක්වයි නම් හෝ ඒ පිළිබඳව ඔබ තුළ වරදකාරී හැඟීමක් ඇති කිරීමට උත්සහ කරයි නම් එයද බලපෑම් කිරීමේ තවත් ආකාරයක් වේ.
නිදසුන්:
- “ඔයා මට ඇත්තටම ආදරය කළා නම් ඔයා ඒක කරයි.”
- “අනිත් හැමෝම ඒක කරනවා.”
- “ඒක පොඩි දෙයක් විතරයි ඇයි ඔයාට මේක මම වෙනුවෙන් කරන්න බැරි?”
මෙවැනි ප්‍රකාශයන් ඔබව හසුරුවා ගැනීමට සහ ඔබේ කැමැත්තට බලපෑම් කිරීමට භාවිතා කරන නමුත් ඔබගේ සීමාවන් පිළිබඳව ස්ථිරව සිටීම අතිශය වැදගත් වේ. එසේම, ඔබ මින් පෙර ගත් තීරණ හෝ සබඳතා පිළිබඳව නොසලකා “නැහැ” “එපා” යැයි පැවසීමට ඔබට අයිතියක් ඇත.
ඔබව ලැජ්ජාවට පත් කිරීම හෝ හිංසා කිරීම
ඔබගේ තේරීම් පාලනය කිරීම සඳහා මෙම පුද්ගලයින් ඔබව ලැජ්ජාවට පත් කරන හෝ හිංසා කිරීම වැනි උපක්‍රම භාවිතා කළ හැකිය.
- ඔබ සමග ලිංගික ක්‍රියාකාරකමක් නැවත නැවත කිරීමට හෝ වෙනත් ලිංගික ක්‍රියාවක් කිරීමට ඔබට බලපෑම් කිරීම සඳහා එක් ආකාරයක ඔබේ ලිංගික ක්‍රියාකාරිත්වයට අපහාස කිරීම.
- සීමාවන් බිඳ දැමීමට බල කිරීමක් වශයෙන් ඔබට දක්වන ආදරය සෙනෙහස නැවත්වීම.
- ඔබ ලිංගිකව එක්වීමට එකඟ නොවන්නේ නම් ලබාදුන් පොරොන්දු ඉටු නොකරන බව ප්‍රකාශ කිරීම.
මෙවැනි හැසිරීම් පිළිගත නොහැකි අතර සීමාවන් පනවා ගැනීමට ඔබට ඇති අයිතිය අඩපණ කරයි.
ඔබගේ වගකීම් හා බැඳීම් පිළිබඳව ඇති හැඟීම් හරහා පිඩාවට පත් කිරීම
මෙයින් අදහස් වන්නේ යම් පුද්ගලයෙක් සමග ලිංගිකව එක් නොවුවහොත් ඔබ ඔවුන්ට ණය බව ඒත්තු ගැන්වීම බලකිරීමක් බවයි. ඔබ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිය යුතු බව හෝ ඔබ ඔවුන්ට ණයගැතියි කියා යමෙකු ඔබව ලිංගික ක්‍රියාකාරකමකට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන විට එය බලහත්කාරයක් ලෙස සැලකේ. උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ,
- “ඔයා මගේ පෙම්වතිය, ඉතින් ඇයි අපිට ලිංගිකව එකතුවෙන්න බැරි.”
- “ඔයා මාව රවට්ටනවා. මට කිසිම නිදහසක් ලැබුනේ නැත්නම් මම හොඳටම කලකිරෙයි”
- “අපි ඒක කලින් කළා, ඉතින් මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ?”
- “මම ඔයාට ගොඩක් ආදරෙයි, ඇයි ඔයා මට මෙහෙම සලකන්නේ?”
මෙවැනි ප්‍රකාශයන් හරහා ඔබේ යුතුකම පිළිබඳ හැගීම් ඉස්මතු කරමින් කිසිවිටෙක පිළිගත නොහැකි එකඟතාවන්ට එළඹීමට ඔබට බලපෑම් කිරීමට අරමුණු කරයි.
ආදර පිපිරීම් (Love-Bombing)
මෙම ආකාරයේ ලිංගික බලකිරීම්වල අතිශය වර්ණනා කිරීම් ඇතුළත් වේ.
- “මට මීට කලින් කිසිම කෙනෙක් ගැන මේ වගේ හැඟීමක් තිබුනේ නෑ.. දැන් මට ඔබට ආදරය කරන්න ඕනේ.”
- “මම ඔයාට ගොඩක් ආදරෙයි, අපි ලිංගිකව එකතු වුනොත් අපේ බැඳීම තවත් ශක්තිමත් වෙයි.”
- “මට අවශ්‍ය එකම කෙනා ඔබයි, අපි අපේ සම්බන්ධය ඊළඟ මට්ටමට ගෙන යමු”
අවදානම් තත්වයන්ට තල්ලු කිරීම
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ඔබේ ආරක්ෂාව අඩු කළහැකි අතර පහත දක්වා ඇති දෙබස් ඔබට ඇසෙන්නේ නම් ආරක්ෂාකාරී වීම වැදගත් වේ.
“යන්න, තව වීදුරුවක් බොන්න.. ඒක හුගක් විනෝදජනකයි..”
“මම ඇත්තටම කැමතියි සාදවලදී මාත් එක්ක ඉන්න පුළුවන් කෙනෙකුට.”
මෙවැනි අදහස් මගින් ඔබට මත්ද්‍රවය හෝ වෙනත් ඒ හා සමාන යමක් පරිභෝජනය කිරීම හරහා බලපෑම් කිරීමේ උත්සාහයක් පෙන්නුම් කළ හැකි අතර ඒ හරහා ඔබේ සීමාවන් වඩාත් පහසුවෙන් නොසලකා හැරිය හැකි තත්ත්වයන් ඇති විය හැක.
පරිසරය වෙනස් කිරීම
මෙම බලකිරීමේ උපක්‍රමය හරහා ඔබ වඩාත් ආරක්ෂිත ස්ථානයක සිට එක්වරම හුදෙකලා ස්ථානයකට ගෙනයාම සිදුවේ.
නිදසුන් :
- අනෙක් පුද්ගලයා රිය පදවන අතර ඔබ මගී අසුනේ සිටින විටකදී “අපේ සැලසුම වෙනස් කළා.. අපි අවන්හලකට යන්නේ නෑ.. රෑ කෑමට මගේ ගෙදරට යනවා”
- ඔබ සාදයක සිටින අවස්ථාවකදී “මෙතන හරිම ඝෝෂාකාරී අපි නිශ්ශබ්ද තැනකට යමු” යැයි පවසා ඔබගේ අතින් ඇදගෙන කාරය වෙත යාම
- ඔබ විසිත්ත කාමරයේ සිටින අවස්ථාවකදී “මෙතන සුවපහසු නැහැ අපි ඇඳට ගිහින් මේ චිත්‍රපටය බලලා ඉවර කරමු”
මෙසේ ඔබව පුද්ගලික ස්ථානයකට ගෙනයන වරදකරුවන් ඔබව ලිංගික ක්‍රියාකාරකම්වලට යොමු කරවා ගැනීම සඳහා විවිධ බලකිරීමේ උපක්‍රම භාවිතා කළ හැක. මේ පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත්වන අතර ඕනෑම අවස්ථාවක “එපා” කීමට ඔබට අයිතියක් ඇති බව මතක තබා ගැනීම වැදගත් වේ.
අවිධිමත්ව සාකච්ඡා කර එකඟතාවන්ට එළඹීම – (අවසාන වශයෙන් තීරණය කර නැති නමුත් සාමාන්‍යයෙන් සාකච්ඡා කිරීම)
යම්කිසි ලිංගික ක්‍රියාවකට එකඟ වීම යනු එම නිශ්චිත ක්‍රියාවට පමණක් එකඟ වීමයි. කෙසේ වෙතත්, ලිංගික එක්විමකට හෝ ක්‍රියාකාරකමකට හෝ බලකිරීම බොහෝ විට එක් වරක් පමණක් නොවේ එය කාලයත් සමඟ වැඩිදියුණු විය හැකිය. මෙය “අවිධිමත්ව සාකච්ඡාකර එකඟතාවන්ට එළඹීම ” ලෙස හඳුන්වන අතර එහිදී යමෙකු ඔබට ලිංගික එක්විමකට හෝ ක්‍රියාකාරකමකට එකඟ වන ලෙස බලපෑම් කරයි. නිදසුන් වශයෙන්,
- කාමරයේ සිට ඇඳට යන ලෙස බලපෑම් කිරීම සහ ඉන්පසුව ඔබගේ ඇඳුම් ගැලවීම සඳහා ඒත්තු ගැන්වීමට උත්සහ කිරීම
- ඉක්මනින් ඔබගේ ඇඳුම් ඉවත්කර ඔබ ඇඳුම් ඉවත්කර ඇති නිසා ලිංගිකව එක්විය හැකි බවට යෝජනා කිරීම
තර්ජන
ඔබ “බැහැ” යැයි පැවසීමට බියවන්නේ නම් එහි සැඟවුණු අර්ථය වන්නේ ඔබට සෘජුවම තර්ජනයක් ඇති බවයි. එනම්, ඔබ විසින් එම පුද්ගලයා ප්‍රතික්ෂේප කළහොත් සිදු විය හැකි දෑ ගැන ඔබ කනස්සල්ලට පත්වනවා විය හැකිය. නැතහොත් ඔවුන් පහත සඳහන් පරිදි පැවසිය හැකිය.
- “ඔයා ඒක නොකලොත් මම වෙන කෙනෙක් හොයාගන්නම්.”
- “ඔයාට අවශ්‍ය නැතිනම් කමක් නෑ නමුත් මට මේ සම්බන්ධය නවත්තන්න වෙනවා”
- “ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් මම ඔයාගේ පුද්ගලික ඡායාරූප, තොරතුරු අනිත් අය සමග බෙදා ගන්නවා”
මෙවැනි ප්‍රකාශවලින් ඉස්මතු වන්නේ ඔවුන් ඔබව බියගන්වමින් ඔබගේ සීමාවන් පවත්වාගෙන යාමට අපහසු කරමින් එකඟතාවයන් ඇති කරගැනීමට උත්සහ දරන බවයි. ඔබ මෙවැනි බලකිරීම්වලට මුහුණ දී ඇත්නම් ඔබ ඔබට දොස් නොකියන්න
ශ්‍රීලංකා පවුල් සංවිධාන සංගමයේ අපි “උද්යෝගිමත් කැමැත්ත” (“enthusiastic yes”) ප්‍රවේශය වෙනුවෙන් පෙනී සිටිමු. මෙහිදී කැමැත්ත කැමැත්තෙන් ලබා දිය යුතු අතර ඕනෑම මොහොතක ඉල්ලා අස්කර ගත හැකිය. ලිංගික එක්වීමක් පිළිබඳව ඔබට උද්යෝගිමත් බවක් දැනෙයි නම් එය ඉතා අපුරුයි ඒ අත්දැකීම විඳගන්න!. සෑම විටම ඔබගේ බුද්ධියට සවන්දෙන්න. යමක් නිවැරදි නොවන බව ඔබට හැඟෙනවා නම් හඬ නැගීමට හෝ පියවරක් පසුපසට ගැනීමට පසුබට නොවන්න.
සැබවින්ම ඔබට අවශ්‍ය නොවන මොහොතක ඔබ “ඔව්” යැයි පවසා තිබේ නම් එය ඔබගේ වරදක් නොවන බව අවබෝධ කරගන්න. ඔබගේ හැඟීම් පිළිබඳව ඔබගේ විශ්වාසවන්ත මිතුරෙක් හෝ උපදේශකවරයෙක් සමග කතා කරන්න.
ඔබට 077 989 5252 අංකය හරහා අපගේ උපදේශකවරයා සමඟ ද කතා කළ හැකිය.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණයෙන්ම උපුටා ගත් ලිපියකි.