Tuesday, January 21, 2025
More
    Homeකාලීන පුවත්ලිංගික හිංසාවලට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින්ට සිදුවුයේ කුමක්ද?

    ලිංගික හිංසාවලට වරදකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින්ට සිදුවුයේ කුමක්ද?

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට ලිංගික හිංසාවලට වරදරකරුවන් වූ සේවකයින් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    අදියර කිහිපයක් යටතේ විමර්ශන කිරීමෙන් අනතුරුව ලිංගික හිංසා සිදු කිරීමට වරදකරුවන් වූ පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර ගෘහ පාලකවරයෙක් සහ ගෘහ පාලන සහයකවරුන් දෙදෙනෙක් මෙලෙස සේවයෙන් ඉවත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා බීබීසි සිංහල වෙත පැවසීය.

    ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට සිදුවූ හිංසා

    අදාළ පියවර ගෙන ඇත්තේ 2021 සහ 2022 කාල පරිච්ජේදයේ දී සිදු කළ බවට කරන ලද ලිංගික හිංසන සම්බන්ධයෙන් 2023 වසරේ ජුලි 30 සහ අගෝස්තු මස 02 වැනි දා පුවත්පතක වාර්තා කොට තිබුණු කරුණු අනුව ය.

    පාර්ලිමේන්තු කාන්තා සංසදය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීනී රෝහිණී කවිරත්න 2023 අගෝස්තු මාසයේ දී සඳහන් කර තිබුණේ එම හිංසනයන්ට ගොදුරු වී ඇත්තේ පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ කාන්තාවන් බව යි.

    විමර්ශනයට පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව

    ඒ අනුව පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසා කිරීම සම්බන්ධව විමර්ශනය කිරිම සඳහා එවකට සිටි කතානායකවරයාගේ උපදෙස් මත 2023 අගෝස්තු 04 වැනිදා එවකට පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ තිබිණි.

    එම කමිටුවේ විමර්ශන සිදුවන අතරවාරයේ දී පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනෙකු වැඩ තහනමට ලක් කොට ඇති අතර එම ත්‍රිපුද්ගල කමිටු වාර්තාව 2023 අගෝස්තු 23 වැනිදා පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලැබී ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය 2025 ජනවාරි 17 වැනිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    පොලිසියෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා

    ඒ සම්බන්ධව වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර නීතිපති දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත මීට අදාළ පරීක්ෂණය පොලිස්පති මඟින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත පැවරු බව ද එම නිවේදයේ සඳහන් ව තිබේ.

    අදාළ පොලිස් විමර්ශනයේ දී තවත් පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර 2024.01.30 වන දින එම සේවකයාගේද වැඩ තහනමට ලක් කර තිබේ.

    විධිමත් පරික්ෂණයකින් පසු සේවයෙන් පහ කරයි

    ඒ අනුව, මීට අදාළ චෝදනා ගොනු කිරිමෙන් අනතුරුව විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස චූදිත සේවකයින් කරන ලද ඉල්ලීම මත නෛතික විධි විධාන ප්‍රකාරව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම පිණිස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජණි වීරවර්ධන පත් කර ඇත.

    මෙම විනය පරික්ෂණයේ අවසන් වාර්තාව පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර වෙත භාර දී තිබේ.

    එය පදනම් කරගනිමින් අදාළ සේවකයන්ගේ වැඩ තහනමට ලක්වූ දින සිට සේවයෙන් පහ කිරිමට කතානායකවරයා වෙත කරන ලද නිර්දේශය අනුව මේ වන විට එම සේවකයන් තිදෙනා සේවයෙන් පහ කිරිමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

    පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීරගේ නිර්දේශ මත වරදකාර සේවකයන් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පසුගිය ජනවාරි 09 වැනිදා අනුමැතිය ලබා දී තිබේ.

    ලිංගික හිංසා ගැන තවත් පරික්ෂණයක්

    මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගිය ජනවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පාර්ලිමේන්තුවේ තොරතුරු හා පද්ධති කළමනාකරණ අංශයේ කාන්තාවන්ට ද එහි බලධාරීන් විසින් ලිංගික හිංසා සිදුකරන බව යි.

    ඒ පිළිබඳව බීබීසි සිංහල සේවය පාර්ලිමේන්තු පරිපාලන අංශ අධ්‍යක්ෂවරියගෙන් විමසීමක් කළ අතර එවැනි පැමිණිළි ලැබී නොමැති නමුදු ඒ පිළිබඳව පරික්ෂණයක් පැවැත්වූ බවත්, එහිදී එවැනි හිංසාවක් ගැන අනාවරණය නොවුණු බවත් සඳහන් කළාය.

    උපුටා ගැනීම – bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments