Thursday, April 17, 2025
More
    Homeරූපලාවන්‍යඔබේ මේකප් නිෂ්පාදනවල සැඟවී සිටිය හැකි බැක්ටීරියා මාරයා

    ඔබේ මේකප් නිෂ්පාදනවල සැඟවී සිටිය හැකි බැක්ටීරියා මාරයා

    ඔබේ මේකප් බ්‍රෂ් කොපමණ කාලයකට සැරයක් ඔබ සෝදනවා ද? ඔබේ යහළුවෙකුගේ මස්කාරා එකක් හෝ සාප්පුවකදී ලිප්ස්ටික් එකක් කවදා හෝ ටෙස්ට් කරලා තියෙනවා ද? ඔබේ මේකප් බෑගයේ ඇති මස්කාරා, අයිලයිනර්, ස්පොන්ජ් හෝ බ්‍රෂ්වලින් වැඩිපුර ම බැක්ටීරියා වාසය කරන්නෙ කුමන නිෂ්පාදනයේ ද?

    මගේ මේකප් ආලේපන උපකරණ පිරිසිදු කිරීම හෝ කල් ඉකුත් වීමේ දින පරීක්ෂා කිරීම ගැන මම එතරම් උනන්දු වී නැති බව මා පිළිගන්නා නිසා ම එක්සත් රාජධානියේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකුගේ අන්වීක්ෂයෙන් ඒවා පරික්ෂා කිරීමට මම තීරණය කළෙමි

    මානවීය විද්‍යා පාසලේ ජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මරියා පිලර් බොටී-සාලෝ විසින් අධ්‍යයනය සිදු කරන ලදී. ඇය කල් ඉකුත් වූ අයිලයිනර්, මස්කාරා, ලිප් ග්ලොස්, ලිප්ස්ටික් සහ ෆවුන්ඩේෂන් 70 කට අධික සංඛ්‍යාවක් (මගේ ඒවා ද ඇතුළු ව) මෙන් ම මේකප් බ්‍රෂ් සහ ස්පොන්ජ් වල රසායනාගාර විශ්ලේෂණයකට මූලිකත්වය ගත්තා ය.

    සාම්පල ඉවතට ගෙන ඒවා ඒගාර් තැටි මත තබන ලදී. ඉන්පසු ඒවා මත සැඟවී ඇති දේ හෙළි කර ගැනීම සඳහා ආරක්‍ෂිත ව තබන ලදී.

    Dr Botey-Salo in a blue overall and Nazanin Motamedi in a white lab coat, both wearing eye protection and blue gloves in a lab
    කල් ඉකුත් වූ සමහර රූපලාවන්‍ය ද්‍රව්‍යවල දක්නට ලැබෙන ස්ටැෆිලොකොකස් සමේ ආසාදන සහ ඇස්වල දැවිල්ල ඇති කළ හැකි බව වෛද්‍ය බොටි-සාලෝ (වමේ) පැහැදිලි කළා ය

    මගේ මේකප් බඩු කෙතරම් අපිරිසිදු වෙලා ද?

    ඒගාර් තැටි මත තැබූ මගේ සාම්පලවල තිබූ බැක්ටීරියා ජනපද පුදුම සහගත ලෙස විශාල විය.

    “වඩාත් අපිරිසිදු සාම්පල් එක ඔයාගේ අයි පෙන්සිල් එක, ඒකෙ ඔයාගේ අනෙක් මේකප් බඩුවලට ගොඩක් වැඩියෙන් බැක්ටීරියා තිබුණා,” ආචාර්ය බොටි-සාලෝ පැවසුවා ය. එසේ වන්නේ පැන්සල ඇසිපිය සමඟ ස්පර්ශ වීම නිසා ස්ටැෆිලොකොකස් ඇතුළු බැක්ටීරියා සමෙන් ලබා ගැනීම නිසා විය හැකි බවට ඇය පැහැදිලි කළා ය.

    මම සාමාන්‍යයෙන් මගේ මේකප් බෑගය නාන කාමරයේ තබා ගන්නා බවත්, අයිලයිනර් ආලේප කිරීමෙන් පසු බොහෝ විට මිනිත්තු කිහිපයක් එහි මූඩිය වසා නොතබන බවත් මම පිළිගත්තෙමි.

    “එහෙනම් ඔව්, ප්‍රශ්නය ඒක වෙන්න පුළුවන්,” ආචාර්ය බොටි-සාලෝ පැවසුවා ය. “පරිසරයෙන් ඒවා තෙතමනය ලබාගත්තොත් ක්ෂුද්‍ර ජීවින් වර්ධනය වැඩි වෙන්න පුළුවන්. බ්‍රෂ්, ස්පොන්ජ් සහ මස්කාරා ඇතුළු අධ්‍යනය කරපු අනෙකුත් සාම්පලවල ස්ටැෆිලොකොකස් තිබිලා අපට හමුවුණා.”

    මෘදු ආසාදනයක සිට, කොන්ජන්ටිවිටිස් [ඇසේ සුදු ඉංගිරියාවේ ඇතිවන ආසාදනයක්], එරිසිපෙලාස් [මුහුණේ හෝ පාදවල කැසීම් ඇති කරන ආසාදනයක්] සහ ඉම්පෙටිගෝ [සමේ පලු සහ බිබිලි ඇති කරන ආසාදනයක්] වැනි බරපතල ආසාදන ඇති කිරීමට ස්ටැෆිලොකොකස් බැක්ටීරියාවට හැකි ය.

    ස්ටැෆිලොකොකස් රෝග මාලාවකට වගකිව යුතුය – එහෙම නම් මම ඒ අයි ලයිනර් එක කිහිප වතාවක් භාවිත කර තිබුණත් මට මේ කිසිවක් සිදු නොවූයේ ඇයි?

    ආචාර්ය බොටි-සාලෝ එය පැහැදිලි කළා ය: “ඔයාගේ සම හොඳින් තියෙනවා නම් ඒක ශක්තිමත් බාධකයක් වන නිසා මොකුත් වෙන්නේ නෑ. කොහොම වුණත් ඔයාගේ කැපුමක් ඇත්නම්, තැළීමක් ඇත්නම් හෝ සමහරවිට ඔයාගේ සමේ තුවාලයක් ඇත්නම්, බැක්ටීරියා එයට ඇතුළු වී හානි කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙකුට තියෙන්නේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නම් ඒකත් බලපාන්න පුළුවන්.”

    A gloved hand holds an agar dish in a laboratory
    එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කල් ඉකුත් වූ මේකප් නිෂ්පාදන 70 කට අධික සංඛ්‍යාවකින් ලබාගත් සාම්පල රාසායනාගාර තුළ වර්ධනය කළහ.

    වැදගත්ම විසඳුම අත් සේදීම

    ඔබ මේකප් අලේප කිරීමට පෙර ඔබගේ දෑත් සෝදනවා ද? අත් හරහා විවිධ අපිරිසිදු දේවල් පැතිරීමට හැකි අතර, නිසි සනීපාරක්ෂාවකින් තොර වීමෙන් මෙම විෂබීජ රූපලාවන්‍ය නිෂ්පාදනවලට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතියි. අපි අපගේ අත්වලින් අලේප කරන අයි ෂැඩෝ, ලිප් බාම් සහ ෆවුන්ඩේෂන් අලේප කරන අවස්ථාවලදී විශේෂයෙන් ම සිදුවේ.

    ආචාර්ය බොටි-සාලෝ පුදුම සහගත සොයා ගැනීම් ගැන හෙළි කළා ය. “සමහර නිෂ්පාදනවල අපිට සාමාන්‍යයෙන් බඩවැල්වල හමුවෙන බැක්ටීරියාවක් වන ඊකොලයි [E. coli] හමු වුණා,” ඇය පැහැදිලි කළා ය.

    “මේක අත්වල සනීපාරක්ෂාව දුර්වලව පවත්වාගැනීම සහ වැසිකිළිය පිරිසිදු කිරීමේන් පවා වෙන්න පුළුවන්, මළපහ නිසා සිදුවන අපිරිසිදුවීමක ප්‍රතිඵයලක් ගැන සංඥාවක්.”

    පරීක්ෂණවලින් පෙනී යන්නේ වැසිකිළියකට වතුර ගැසීමෙන් පසුව තත්පර කිහිපයකින් මීටර් 2ක් දක්වා උසකට ළඟා වන වායු ජල බිඳිති මුදා හැරිය හැකි බව ය. මෙම ජල බිඳිති එන්ටරොබැක්ටර්වලින් අපිරිසිදු වී තිබීමට හැකි ය. එම නිසා ඔබේ මේකප් නිෂ්පාදන මෙම සිමාවේ තිබේ නම් ඒවා බොහෝවිට බැක්ටීරියාවලින් අපිරිසිදු වී තිබිය හැකි ය.

    A computer-generated image of the Candida fungus which has been found in cosmetic products
    රූපලාවන්‍ය නිෂ්පාදනවල දක්නට ලැබෙන කැන්ඩීඩා දිලීරයේ පරිගණකයෙන් නිර්මාණය කළ රූපයක්

    ඇතැම් එන්ටරොබැක්ටර් විශේෂයන් මුත්‍රා ආසාදන, ශ්වසන ආසාදන, ඔස්ටියෝමෙලයිටිස් [අස්ථිවල ඇතිවන ආසාදනයක්] සහ එන්ඩොකාර්ඩයිටිස් [බැක්ටීරියා රුධිරයට ඇතුළු වී හදවතට බලපෑම් කළ හැකි තත්ත්වයක්] ඇතුළු ආසාදන ඇති කළ හැකි බැවින් ඒවා ගැන සැලකිලිමත් විය යුතු ය.

    මළපහවලින් සිදුවන අපිරිසිදු භාවයන්ට සම්බන්ධ ඊ. කොලයි බැක්ටීරියාවට මේකප් නිෂ්පාදන තුළ රඳා පැවතිය හැකි බවට මිට පෙර සිදු කළ අධ්‍යයනයන්ගෙන් සොයාගෙන තිබේ. මෙම නිෂ්පාදන මුහුණේ සහ ඇස් අසල භාවිතා කරන බැවින් මෙය භයානක ය.

    මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් රූපලාවන්‍ය නිෂ්පාදනවල කැන්ඩීඩා නම් දිලීරයක් ද සොයා ගනු ලැබීය. දිලීර සම හරහා ඇතුළු වුවහොත්, එය යෝනිය ආශ්‍රිතව කැන්ඩිඩියාසිස් හෝ මුඛ කැන්ඩිඩියාසිස් (ත්‍රෂ්) ඇති කළ හැකි ය.

    එක්සත් රාජධානියේ බර්මින්හැම් හි ඇස්ටොන් විශ්ව විද්‍යාලයේ රූපලාවන්‍ය නිෂ්පාදන 500 කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කර තිබේ. මෙම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ මිනිසුන් භාවිතා කරන රූපලාවන්‍ය ද්‍රව්‍යවලින් 79-90% ක්ම යම් ආකාරයක පරපෝෂිතයන්, බැක්ටීරියා හෝ දිලීර අඩංගු බව ය. මේවා අඩු අවදානම් බැක්ටීරියා වල සිට මාරාන්තික විය හැකි ඊ. කොලයි දක්වා විහිදී යයි.

    අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂකයා වන ආචාර්ය අම්රීන් බාෂිර් මෙසේ පැවසුවේ ය: “භාවිතා කළ ආලේපන සහ උපකරණ මත ඇති බැක්ටීරියාවලින් අපිරිසිදු වී ඇති බවක් පෙන්නුම් කළත් ඒවා ඇත්තටම සැලකිය යුතු ආසාදන අවදානමක් ඇති කරන්නේ නෑ. ආසාදනයක් වෙන්න කැපුම්, ශ්ලේෂ්මල පටල හෝ ශරීරගත වීම වැනි සම්ප්‍රේෂණ මාර්ගයකුත් අවශ්‍ය වෙනවා. උපකරණ සේදීම සහ විෂබීජහරණය කිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ බැහැර කිරීම ඇතුළු හොඳ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීමෙන් ඉදිරියට ඕනෑම අවදානමක් ඇති වීමේ හැකියාව අඩු කරනවා.”

    කල් ඉකුත් වීමේ දිනවල වැදගත්කම

    කල් ඉකුත් වීමේ දිනයන් වැදගත් වන්නේ නිෂ්පාදනයේ ඇති කල් තබා ගන්නා ද්‍රව්‍ය මගින් ක්ෂුද්‍රජීවී වර්ධනය කොපමණ කාලයක් ඵලදායී ලෙස වළක්වා ගත හැකිද යන්න පෙන්නුම් කරන නිසාවෙන් ය.

    ජලය වැඩි වශයෙන් අන්තර්ගත නිෂ්පාදන විවෘත කිරීමෙන් පසු අපිරිසිදු වීමට වැඩි වශයෙන් ගොදුරු වන්නේ ඒවා බැක්ටීරියා සහ දිලීර වර්ධනය වීමට සුදුසු පරිසරයක් සපයන බැවින් ය.

    නිෂ්පාදනය විවෘත කළ පසු කල් ඉකුත් වීමේ දිනය මාස 3 සිට 12 දක්වා පරාසයක පවතියි.

    “රූපලාවන්‍ය නිෂ්පාදනයක කල් ඉකුත් වීමේ දිනයක් නැත්නම්, මාස තුනකට පස්සේ හෝ, උදාහරණයක් වශයෙන් බිමට වැටීමෙන් හෝ වෙනත් අය භාවිතා කිරීම වැනි දේ මගින් ඒක අපිරිසිදු වුණා කියලා දැනගත්ත වහාම ඒවා ඉවත දැමීමෙන් අපිරිසිදු වීමට ඇති අවදානම අඩු කරගන්න පුළුවන්,” ආචාර්ය බාෂීර් පැවසුවා ය.

    “පාරිභෝගිකයින්ට ඔවුන්ගේ රූපලාවන්‍ය බඩු කල් ඉකුත් වී ඇත්දැයි විශ්වාස නැත්නම්, එක එක විදිහට එක අපිරිසිදු වෙන්න තියෙන අවදානම ඇති කරගන්නවාට වඩා ආපහු අලුතෙන් ගන්න එක ආරක්ෂිතයි,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

    A woman in a white laboratory coat tests a number of cosmetic products
    ලන්ඩන් හි මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ පරික්ෂා කිරීම සඳහා තබා ඇති රූපලාවන්‍ය නිෂ්පාදන

    භයානක ම දේවල් සහ සහ ඒවා වළක්වා ගන්නා ආකාරය

    ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාල පර්යේෂණයන්ට අනුව, අපිරිසිදු හා විවිධ ක්ෂුද්‍ර ජීවීන් වැඩි ප්‍රමාණයක් ඇති දේවල් වන්නේ මස්කාරා සහ ලික්විඩ් ෆවුන්ඩේෂන් වන අතර, භයානක ම උපකරණ වන්නේ ලික්විඩ් ෆවුන්ඩේෂන් යෙදීමට භාවිතා කරන බ්‍රෂ් සහ ස්පොන්ජ් ය.

    “ස්පොන්ජ් සහ බ්‍රෂ් වැනි ජලය වැඩියෙන් තියෙන්න පුළුවන් දේවල්වල ක්ෂුද්‍ර ජීවීන් රැඳී සිටීමට වැඩි ඉඩක් තියෙනවා,” ආචාර්ය බොටි-සොලෝ පැවසුවා ය. අපේ පර්යේෂණය කල් ඉකුත් වූ මේකප් නිෂ්පාදන සහ ඒවා අලේප කරන උපකරණ මත තමයි පදනම් වුණේ.”

    අපිරිසිදු වීමට ඇති හැකියාව වළක්වා ගැනීමට ආචාර්ය බොටි-සාලෝ පහත දේවල් යෝජනා කරයි.

    – මේකප් අලේප කිරීමට පෙර ඔබේ දෑත් සෝදාගන්න.

    – සාප්පුවල ඇති මේකප් සාම්පල පරික්ෂා කිරීමෙන් වළකින්න. මේ නිෂ්පාදන ඔබට පෙර භාවිත කළ ය ඒවා භාවිත කිරීමට පෙර දෑත් සේදුවාදැයි ඔබ දන්නේ නොමැත.

    -ස්පොන්ජ් සහ බ්‍රෂ් වැනි දේවල් නිතර උණු වතුර සහ සබන් යොදා පිරිසිදු කර, හොඳින් වියළා ගැනීමට වග බලා ගන්න. මිල අධික විසඳුම් ගැනීමට අවශ්‍යතාවයක් නොමැත. බැක්ටීරියා සහ එයරොසෝල්වලට [වායු අංශු] නිරාවරණය වීම වැළැක්වීම සඳහා වෙනම කුඩා බෑගයක ගබඩා කිරීමට පෙර ඒවා සම්පූර්ණයෙන්ම වාතයේ වියළීමට ඉඩ දෙන්න.

    -තෙතමනය සහ අඳුර නිසා මේකප් තබන්න ඇති නරකම ස්ථානය නාන කාමරයයි.

    -ලික්විඩ් ෆවුන්ඩේෂන්, මස්කාරා සහ අයිලයිනර්වල පියන වසා තබා ගත යුතුයි. මෙසේ කිරීමට අවශ්‍ය වන්නේ වාතයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ඒවාට ඇතුළුවීම වැළැක්වීම සහ දූවිලි අංශු මේ දේවල් මත තැන්පත් වීම වැළැක්වීම සඳහායි.

    -කල් ඉකුත් වීමේ දිනය ගැන අවධානා යොමු කරන්න. සෑම මේකප් නිෂ්පාදනයක් ම ඉවත දැමීමට අවශ්‍ය වූ විට ඔබට මතක් වීමට ස්ටිකරයක් අලවා තබා ගන්න.

    – ඔබේ මේකප් අනෙක් ය සමග හුවමාරු කරගැනීමෙන් වළකින්න.

    උදාහරණයක් ලෙස ප්‍රතිශක්තිකරණය අඩු වීම වැනි විශේෂ අවදානමකට ඔබ ලක් ව සිටිනවා නම් වැඩියෙන් ප්‍රවේශම් වීම වටින්නේ යැයි ආචාර්ය බොටි-සාලෝ පැවසිය.

    source; bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments