Tuesday, July 1, 2025
More
    Homeඅධ්‍යාපන හා වෘත්තීය5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම: ශ්‍රේෂ්ඨාධිකරණය දුන් විශේෂ නියෝගය

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම: ශ්‍රේෂ්ඨාධිකරණය දුන් විශේෂ නියෝගය

    පසුගිය දා අවසන් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැම්බර් 18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

    ඒ, එම විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

    ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    ඊට අමතරව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවන ලෙස දන්වා තවත් අතුරු තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළේ ය.

    මෙවර විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රශ්න තුන සඳහා එම විභාගයට සහභාගී වූ සියලු ම සිසු සිසුවියන්ට සම්පූර්ණ ලකුණු ලබා දීමට ගෙන තිබෙන තීරණය ද ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල මෙම විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලමින් ද තවත් අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

    කෙසේ වෙතත්, මතුවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන කලින් පිටවූ බවට චෝදනා එල්ල වී 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව වග උත්තරකරුවන්ගෙන් විමසා මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගෙන ලෙසත් මෙහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න දැනුම් දුන්නේ ය.

    ඉන් අනතුරුව අදාළ පෙත්සම් දෙසැම්බර් මස 2 වන දා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේ ය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් සැප්තැම්බර් මස 15 වන දා අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධිය හේතුවෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව ය.

    ඊට පිළියමක් ලෙස කලින් පිට වූ බව කියන ප්‍රශ්න 3 සඳහා අදාළ විභාගයට පෙනී සිටි සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්පූර්ණ ලකුණු ලබා දීමට බලධාරීන් තීරණයක් ගෙන තිබෙන බව ත් ඒ තුළින් විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට අගතියක් සිදුවිය හැකි බව ත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

    ඒ අනුව, මෙම ක්‍රියාව තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

    ඊට අමතරව කලින් පිට වූ බව කියන ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබා දීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් 5 වසර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

    වීඩියෝ පටය – ඩේලි මිරර් ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments