Tuesday, July 1, 2025
More
    Homeකාලීන පුවත්පියුමි හංසමාලි: මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කිරීමට නියෝග

    පියුමි හංසමාලි: මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කිරීමට නියෝග

    පියුමි හංසමාලිගේ නීතිඥවරයා ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල අද (මාර්තු 21 වැනිදා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවනු ලැබිණි.

    එම මෝසම කැඳ වූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

    ‘ව්‍යාපාරයට අගතියක් වන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීම වළක්වන්න’

    එහිදී පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඒ යටතේ මේ වන විට ගනුදෙනුකරුවන් 34506 දෙනකුට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේපන අලෙවි කර තිබෙන බව සඳහන් කළේය.

    තම සේවා දායිකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන රුපියල් තිස් හතලිස් දාහක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවට ඊයේ දින සියලු මාධ්‍ය වලින් ප්‍රවෘත්ති පළකර තිබූ බව පෙන්වා දුන් එම නීතිඥවරයා එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ තුළින් සිය සේවා දායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවන බවත් සඳහන් කර සිටියේ ය.

    ඒ අනුව තම සේවා දායිකාවගෙන් ආලේපන මිලදී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවා දායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

    නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරික කාන්තාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා අම්බපාලි අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් සඳහන් කර සිටියේ ය.

    ඒ අනුව තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීමට වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.

    එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීති විරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා කියා සිටියේ පියුමි හංසමාලි නමැත්තිය තිස්දහසකට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා ඇතැයි සඳහන් කර ඇති බවය.

    ‘ජාවාරම්කරුවෙකු සමග සම්බන්ධයක්’

    2023 වසරේ නොවැම්බර් මස 22 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් අතර එම ජාවාරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ඔහු කියා සිටියේ ය.

    පියුමි හංසමාලි නමැත්තියට අයත් BMW මෝටර් රථය මේ වන විටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දුන්නේ ය.

    එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුනේ සත්‍ය වශයෙන්ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීති විරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සිදු වී ඇති බවත් කියා සිටියේ ය.

    ‘ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගන්න’

    මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පුද්ගලයින්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට බලය තිබෙන බව තමා පිළිගන්නා බවය.

    මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන කිරීමට වග බලා ගන්නැයි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කළේය.

    ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියම කරනු ලැබීය.

    සම්පූර්ණ උපුටා ගැනීම -bbc.com/sinhala

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments