බොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය මුම්බායි නගරයේදී පුද්ගලයෙකු පොලිස්භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.
බ්‍රහස්පතින්දා උදෑසන නාඳුනන පුද්ගලයෙකු සමඟ සිය නිවසේ ඇති වූ ගැටුමකදී ඛාන්ට පිහියෙන් ඇන තිබිණි. ශල්‍යකර්මයෙන් පසු බොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන් සුවය ලබමින් සිටියි.
බන්ද්‍රා හි ප්‍රභූ පිරිස් වාසය කරන පෙදෙසක පිහිටි ඔහුගේ නිවසේ තිබූ සීසීටීවී දර්ශන පොලිසිය භාරයට ගෙන ඇති අතර මූලික වාර්තාවලින් පෙනී යන්නේ මෙම ප්‍රහාරය සොරකමක් ලෙස විය හැකි බව ය. අත්අඩංගුවට ගත් පුද්ගලයා අනවසරයෙන් නිවසට ඇතුළු වූ පුද්ගලයාද යන්න පැහැදිලි නැත.
ඛාන්ගේ නිවසේ සේවය කරන හෙදියක් පොලිසියට ලබා දුන් ප්‍රකාශයක් බීබීසීය අනාවරණය කර ගෙන ඇති අතර, එය සිද්ධිය වූ දින රාත්‍රියේ දිග හැරුණු සිදුවීම් පිළිබඳ විස්තර කිහිපයක් සපයයි. ඛාන්ගේ පුතාව බලා ගන්නා එලියාමා පිලිප් පැවසුවේ ඇය නැනී සමඟ දරුවාගේ කාමරයේ සිටියදී රාත්‍රියේ නාන කාමරයේ දොර අසල මිනිසෙකුගේ සෙවනැල්ලක් තමා මුලින්ම දුටු බවයි.
ෆිලිප් පැවසුවේ එක් අතකින් දැවමය ආයුධයක් සහ තවත් අතකින් දිගු තියුණු ආයුධයක් අල්ලාගෙන සිටි පුද්ගලයෙකු පෙනී සිටි බවත්, කිසිම ශබ්දයක් නොකරන ලෙසට ඔවුන් දෙදෙනාට අනතුරු ඇඟවීමක් කළ බවත්ය. ඔහු ඉන්දීය රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා තිබේ. සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි ලීලාවතී රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව ඔහු ශල්‍යකර්මයකට භාජනය කෙරුණි.
එම රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නීරජ් උත්තමානි බීබීසී මරාති සේවයට පැවසුවේ, සෙයිෆ් අලි ඛාන්ට පිහි පහර 6ක් එල්ල වී ඇති අතර, ඉන් දෙකක් ගැඹුරු තුවාල සහිත ඒවා බව ය.
“එක පිහි පහරක් කොඳු ඇට පෙළට ළඟින් ම එල්ල වෙලා. ඔහුට විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යකර්මයක් කළා,” ඔහු පැවසීය.
පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සෙයිෆ් අලි ඛාන් නියෝජනය කරමින් බ්‍රහස්පතින්දා පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ඔහුගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස රසිකයින්ගෙන් ඉල්ලා සිටින බව ය.
“මාධ්‍යවලින් සහ රසිකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා, ඉවසීමෙන් කටයුතු කරන ලෙස. ඒක දැන් තිබෙන්නේ, පොලිසිය භාරයේ. අපට ලැබෙන තොරතුරු අපි ඉදිරිපත් කරනවා,” එහි සඳහන් විය.
සෙයිෆ් අලි ඛාන්ට සිදුකළ ශල්‍යකර්මය සාර්ථක බව ඔහුගේ පවුලේ සාමාජිකයින් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ. ඔවුන් පවසා ඇත්තේ, ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ ජීවිත අවදානම පහව ගොස් ඇති බව ය.ඔහු සුවය ලබමින් සිටින බවත්, වෛද්‍යවරුන් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් ඔවුහු පවසති.
source:bbc.com