අංකිතා යාදෙව්ට (සැබෑ නම නොවේ) ඇගේ සිරුරේ මෙතරම් මේදය එකතු වන්නේ ඇයි දැයි වටහා ගැනීමට නොහැකි විය. ආහාර පාලනය කිරීම සහ ව්‍යායාම සිදුකරද්දීත් ඇයගේ බර වැඩි වෙමින් තිබිණි.
වෛද්‍යවරුන් පවා පළමුව එය හැඳින්වූයේ ස්ථූලභාවය ලෙස වන නමුත් වසර කිහිපයකට පසු ඇය කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන ලිපඩීමා රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබිණි.
මෙය හුදෙක් අංකිතාගේ කතාව පමණක් ම නොවේ. ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිරිසක් මෙම රෝගයෙන් පීඩා විඳිමින් සිටිති. නමුත් තමන්ට සිදුවන්නේ කුමක්දැයි යන්න පවා ඔවුහු නොදනිති. ලිපඩීමා කාන්තාවන්ට මතු කරන්නේ ශාරීරික අභියෝගයක් පමණක් නොවේ. එය මානසික ආතතියට ද හේතු විය හැකි ය.
ඉන්දියාව තුළ ලිපඩීමා රෝගයෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාව පිළිබඳ සැබෑ දත්ත නොමැත. නමුත් ලොව පුරා සිටින කාන්තාවන්ගෙන් 11%ක් පමණ එම තත්ත්වයෙන් පීඩා විඳින බව ඇමෙරිකානු වෛද්‍ය මධ්‍යස්ථානයේ ක්ලීව්ලන්ඩ් සායනය පෙන්වා දෙයි.
ලිපඩීමා යනු කුමක් ද?
එය ක්‍රමයෙන් වර්ධනය වන රෝගයක් වන අතර ශරීරයේ පහළ කොටස්වල එනම් විශේෂයෙන් උකුල ප්‍රදේශය, කලවා සහ පාදවල අසාමාන්‍ය ලෙස මේදය එක් රැස්වීම සිදු වේ. ඇතැම් අවස්ථාවලදී දෑත්වල පවා මේදය තැන්පත් වේ. බොහෝවිට මිනිසුන් ලිපඩීමා තත්ත්වය ස්ථූලභාවය ලෙස සලකයි, නමුත් එය එසේ නොවේ.
“බොහෝ අවස්ථාවලදී ලිපඩීමා යනු ස්ථූලතාවය ලෙස වරදවා වටහාගෙන තිබෙනවා, නමුත් සාමාන්‍ය ශරීර ස්කන්ධ දර්ශකයක් (ශරීරයේ මේදය තක්සේරු කරන දර්ශකයක්) ඇති කාන්තාවන් වුණත් ලිපඩීමා තත්ත්වයෙන් පෙළෙන්න පුළුවන්,” දිල්ලියේ ගුරු ටෙග් බහදූර් රෝහලේ වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය වෛද්‍ය අල්පනා රයිසාදා බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.
විශේෂඥයන් පවසන්නේ, ලිපඩීමා බොහෝවිට ස්ථූලතාවය, ලිම්ෆඩීමා හෝ සෙලියුලයිටිස් ලෙස වරදවා වටහාගෙන ඇති බව ය. මේ තුනෙන් ම ශරීරයේ කොටස් මහත් වුව ද එයින් ඇති වන්නේ රෝග තුනකි. මෙම රෝග තුන හඳුනා ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර ව්‍යාකූලභාවයක් තිබේ. ලිපඩීමා තත්ත්වය කලින් හඳුනා ගැනීමට නොහැකි වන්නේ එබැවිනි.
1940 දශකයේ සිට වෛද්‍යවරුන් ලිපඩීමා පිළිබඳව දැන සිටියහ. නමුත් දශක ගණනාවක් පුරාවට ම ශරීරයේ මේදය විෂම ලෙස එකතු වීමේ මෙම රෝග ලක්ෂණය කෙරෙහි වෛද්‍ය ප්‍රජාව අවධානය යොමු කළේ සුළු වශයෙනි.

එය සෞඛ්‍ය විද්‍යාඥයින්ගේ අවධානයට ලක්ව ඇත්තේ පසුගිය වසර 15 තුළ පමණි. 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එය වෙන ම රෝගයක් ලෙස පිළිගෙන ඇත. වෛද්‍යවරුන් සහ සාමාන්‍ය ජනතාව අතර ඒ පිළිබඳ දැනුවත්භාවය අඩු වීමටත් මේ වන තෙක් එහි ඖෂධ සොයා ගැනීමට දරන උත්සාහය අඩු වීමටත් හේතුව මෙය යි.
රෝග ලක්ෂණ මොනවා ද?
දණහිස්, සන්ධි සහ පාදයේ පහළ කොටසේ පිටුපස ප්‍රදේශයේ නොනැවතී පවතින වේදනාව ලිපඩීමා රෝග ලක්ෂණ විය හැකි බව වෛද්‍යවරුන් පවසයි.
කලවා සහ උකුල්වල මේදය අසාමාන්‍ය ලෙස හා දැඩි ලෙස එකතු වීම, එම ස්ථාන ස්පර්ශ කරන විට දැනෙන වේදනාව හෝ දැවිල්ල ගතිය, අත් සහ පාද ඉක්මනින් තෙහෙට්ටුවට පත්වීම, සුළු තුවාල මත පවා කැළැල් ඇතිවීම යන සියල්ල මෙහි රෝග ලක්ෂණ විය හැකියි.
ශරීරයේ පහළ කොටස පහසුවෙන් ම සීරීමට ලක්වීමේ හෝ කුෂ්ට හට ගැනීම සඳහා පවතින නැඹුරුතාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය. දෑත්වල සහ ඒවායේ පිටුපස ප්‍රදේශයේ අධික ලෙස මේදය තැන්පත් වීම ද ලිපඩීමා සඳහා මුහුණපෑමේ අවදානමට හේතු විය හැකියි.

සමස්ත ශරීරයට සාපේක්ෂව ශරීරයේ ඇතැම් කොටස් අවශ්‍ය ප්‍රමාණයට වඩා තරබාරු වන්නේ ද? යන්න පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය. මීට අමතරව, මානසික තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම ද වැදගත් වේ. චිත්තවේගී ආතතිය සහ ඉක්මනින් ආත්ම විශ්වාසය අහිමිවීම ද මෙම තත්වයේ ලක්ෂණ විය හැකි ය.
මෙම රෝගී තත්ත්වය අතරතුර ශරීරයේ පහළ කොටසේ පිහිටි බාහු ප්‍රදේශ වේගයෙන් ඝණ වීම සහ විකෘති වීම සිදුවේ. මෙම තත්ත්වය දරුණු වූ විට රෝගීන්ට එහා මෙහා ගමන් කිරීමට පවා අපහසු වේ. මෙම කාලය තුළ වේදනාව හට ගැනීම සාමාන්‍ය තත්ත්වයකි.
ලිපඩීමා තත්ත්වය ඇති වීමට හේතු මොනවා ද?
ලිපඩීමා තත්ත්වයට බලපාන හේතු තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේ වෙතත්, වෛද්‍යවරුන් පවසන්නේ මෙය ශරීරය තුළ අන්තර් සම්බන්ධිත පටක සහ වසා පද්ධතිය යන දෙකට ම බලපෑම් එල්ල කරන තත්ත්වයක් බව ය.
වෛද්‍යවරුන්ට අනුව මෙය ජානමය රෝගයක් විය හැකි ය. එනම්, පවුලේ යම් අයෙකුට මෙම රෝගය පවතින්නේ නම්, ඊළඟ පරම්පරාව ද ඉන් පීඩා විඳීමේ හැකියාවක් පවතී. මේ හැරුණු කොට කාන්තාවන් නව යොවුන් වියට එළැඹෙන විට ඔවුන්ගේ ශරීරයේ හෝමෝන වෙනස්වීම් හෝ අසමතුලිතතාවන් ලිපඩීමා තත්ත්වයට ඇතිවීමට හේතු විය හැකි ය.
“හෝමෝන වෙනස්වීම් සිදුවන විට කාන්තාවන්ට මෙවැනි රෝග ඇතිවීමේ අවදානම වැඩියෙන් තිබෙනවා. නව යොවුන් වියට එළැඹෙන විට, ගර්භණී සමයේදී හෝ ආර්තවහරණයේදී කාන්තාවන්ගේ ශරීරය තුළ හෝමෝන වෙනස්කම් රැසක් සිදුවෙනවා. මෙම අවස්ථාවේදී, ලිපඩීමා තත්ත්වය ඇතිවීමේ අවදානම තිබෙන්නේ ඉහළ මට්ටමක යි,” දිල්ලියේ කිචිරිපූර්හි ලාල් බහදූර් ශාස්ත්‍රි රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී වෛද්‍ය යෝගේෂ් කුෂ්වාහා පවසයි.

එමෙන් ම, වෛද්‍ය රයිසාඩා පවසන්නේ මෙම රෝගයට ජානමය සහ හෝමෝන වෙනස්කම්වල බලපෑම් ද හේතු විය හැකි බව ය. නමුත් ශරීරයේ වසා පද්ධතියේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පවතින ගැටලු ද මෙම රෝගය හට ගැනීමට හේතු විය හැක.
කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යයට හානි
“සාමාන්‍යයෙන් අවුරුදු 35ත් 45-50ත් අතර වයස් සීමාවේ පසුවන කාන්තාවන්ට ලිපඩීමා තත්ත්වය බලපානවා. එම අවස්ථාවේදී ම ඔවුන්ගේ ශරීරයේ බොහෝ වෙනස්කම් සිදු වෙනවා. ඒ අතර ම, ජීවිතයේ මැදිවිය ද ආරම්භ වෙනවා. මෙම සියලු සිදුවීම් කාන්තාවන්ගේ දැඩි මානසික පීඩනයට හේතුව බවට පත්වෙනවා,” වෛද්‍ය අල්පනා රයිසාදා පවසයි.
“මම කණ්ණාඩියෙන් මං දිහා බලන එක නැවැත්තුවා. මගේ අවට සිටින පුද්ගලයින් මේ ගැන කතා කරනවා . ඒ නිසා මම දැන් නිවසින් පිටතට යන්නවත් උත්සහ කරන්නේ නැහැ,” රෝගයෙන් පෙළෙන අංකිතා යාදව් පවසයි.
වෛද්‍ය අල්පනා රයිසාදා පවසන පරිදි තමන් තරබාරු වන බවට කාන්තාවෝ තමන්ට ම දොස් පවරන්නට පටන් ගනිති. ඔවුන් ආහාර පාලනය, යෝගා අනුගමනය, ශරීර සුවතා මධ්‍යස්ථාන වෙත යාම වැනි සෑම දෙයක් ම උත්සහ කර තිබේ. නමුත් එයින් කිසිදු වෙනසක් සිදුවී නොමැත.
ඒ සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද?

වෛද්‍ය රයිසාඩා පවසන පරිදි මෙම රෝගයේ වඩාත් ම අවාසනාවන්ත තත්ත්වය වන්නේ එය තරබාරුකම හෝ ලිපිඩ වැඩි වීම හේතුවෙන් සිදු නොවීම ය.
එය එවැනි තත්ත්වයක් වූයේ නම්, කොලෙස්ටරෝල් පාලනය කරන ඖෂධ භාවිතය, ව්‍යායාම කිරීම හෝ ආහාර පාලනය මගින් එය සුව කළ හැකිව තිබිණි.
ඇය පවසන්නේ, එය මෙතෙක් හරිහැටි අවබෝධ කරගෙන නොමැති බැවින් ඒ සඳහා ඖෂධ ද නිසි ලෙස වැඩිදියුණු කර නොමැති බව ය.
වෛද්‍ය රයිසාඩා පවසන්නේ, “මේ සඳහා ඇති එක ම ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයක් සිදුකිරීම, නමුත් එය වුණත් ගොඩක් දුරට සාර්ථක වෙන්නේ නැහැ. බැරියැට්‍රික් සැත්කම කරන වෛද්‍යවරුන්, භෞත චිකිත්සක වෛද්‍යවරුන් සහ සනාල ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් මේ සඳහා සහය ලබා ගත හැකි යි. නමුත් මෙම ප්‍රතිකාර ඉතාමත් මිල අධික වනවා වගේ ම ඉන්දියාවේ ස්ථාන කිහිපයක පමණ යි තිබෙන්නේ,” වෛද්‍ය රයිසාදා පවසයි.
ඔහු පවසන පරිදි මෑත කාලීනව ලිපොසක්ෂන් ශල්‍යකර්මය මගින් මේ සඳහා ප්‍රතිකාර කිරීමට ගන්නා උත්සහයන් වැඩි වී තිබේ. මෙය ලිපඩීමා ඇති කරන මේදය විශේෂ ක්‍රමයක් මගින් ශරීරයෙන් ඉවත් කරන ශල්‍යකර්මයකි.
මෙම ක්‍රියාවලිය තුළින් ශරීරයේ බලපෑමට ලක්වූ කොටසෙහි කුඩා කැපීම් සිදු කරන අතර, එමගින් විශේෂ තරලයක් (infiltration solution) ශරීරය තුළට ඇතුළු කෙරේ.
මේද සෛල පහසුවෙන් ඉවත් කිරීමට ඉඩ සලසමින් මෙම තරලය මගින් පටක ලිහිල් කිරීම සිදු කෙරේ.
සාමාන්‍යයෙන් එවැනි ශල්‍යකර්මයක් සිදු කෙරෙන්නේ ලිපඩීමා තත්ත්වය බරපතළ අදියරකට පැමිණි අවස්ථාවකදී ය.
Manual lymph drainage චිකිත්සාවට ද එය පාලනය කිරීමට උපකාර කිරීමේ හැකියාව පවතී. මෙය මෘදු සම්බාහන ක්‍රමයක් වන අතර එය වසා තරලය ඉවත් කර ඉදිමීම අඩු කරයි.
සම්පීඩන පැළඳුම් භාවිතය ද මෙම රෝගය සඳහා ප්‍රයෝජනවත් වේ. මේවා විශේෂ ඇඳුම් වර්ගයක් වන අතර එමගින් ශරීරයට පීඩනය ලබා දෙමින් ඉදිමීම සහ වේදනාව අඩු කිරීමට උපකාර කරයි.
ලොව පුරා මෙම රෝගය පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ වැඩි වී තිබෙන අතර ඖෂධ වැඩිදියුණු කිරීමට ද උත්සහයන් පවතී. නමුත් මේ වන තුරු ඵලදායී ඖෂධයක් සොයාගෙන නොමැත.
source:https://www.bbc.com/sinhala/articles/cm2705n6e31o


