Sunday, September 14, 2025
More
    Homeකාන්තා ලෝකයඔබේ ඔසප් චක්‍රය නිරීක්ෂණය කරන 'Period tracker app' එක තුළ ඔබේ අතිශය...

    ඔබේ ඔසප් චක්‍රය නිරීක්ෂණය කරන ‘Period tracker app’ එක තුළ ඔබේ අතිශය පෞද්ගලික දත්ත ආරක්‍ෂිත ද?

    විශේෂඥයන්ට අනුව මෙම තොරතුරු පරිශීලකයන් බලාපොරොත්තු වන ආකාරයට පෞද්ගලික තත්ත්වයෙන් පවතින්නේ නැත.

    ඔසප් චක්‍ර නිරීක්ෂණය කිරීමේ ජංගම දුරකතන ඇප් අතරික් ප්‍රමුඛතම එකක් වන Flo Health, පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත බෙදා ගැනීමෙන් සහ විකිණීමෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ අතර, එම නඩුව සමථයකට පත් කිරීමට මෑතකදී එකඟ විය.

    Flo Health ප්‍රකාශ කළේ, යෝජනාව ගැන “සතුටට පත්” වන බවත්, නිරාකරණය කර ගැනීමට තරම් වරදක් කළ බවට වන කිසිවක් එහි ඇතුළත් නොවන බවත් ය.

    එක්සත් රාජධානියේ ලාභ නොලබන සංවිධානයක් වන Privacy International, 2021 දී සොයා ගත්තේ ඔවුන් පරීක්ෂා කළ ඔසප් චක්‍ර නිරීක්ෂණ ඇප් 36න් 61%ක් ස්වයංක්‍රීයව පරිශීලක දත්ත තුන්වන පාර්ශව වෙත යවන බව ය. සමහර ඇප් වැඩිදියුණු වී ඇතත්, පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු තවමත් පවතී.

    2024 සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, මෙම ඇප් රටවල් 112කට වැඩි ගණනක භාවිත වන බව ය. Centre for Reproductive Rights සංවිධානය පවසන්නේ, 40%ක් ජනතාව දැඩි ගබ්සා නීති යටතේ ජීවත් වන අතර, මෙම දත්ත නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒවා භාවිත කරන්නේ කෙසේ ද? සහ ඒවාට ප්‍රවේශ වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව විශේෂඥයෝ සැලකිලිමත් වෙති.

    “ඔසප් දත්ත ආයුධයක් විදිහට භාවිත කරන්න පුළුවන්,” මොසිල්ලා පදනමේ පර්යේෂක ලෝරින් හෙන්ඩ්‍රි පාර්සන් පවසයි. “ස්වයං රැකවරණය සඳහා තියෙන දෙයක් වගේ පේන මෙවලමක් ඇත්ත වශයෙන් ම ඔත්තු බලන්න, ලැජ්ජාවට පත් කරන්න එහෙම නැත්නම් හිංසා කරන්න භාවිත කරන්න පුළුවන්.”

    2019 දී, ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය අතරතුර, එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ, අසාර්ථක ගබ්සාවන් විමර්ශනය කිරීමේ උත්සහයක් ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රෝගීන්ගේ ඔසප් චක්‍ර නිරීක්ෂණය කළේ ය.

    ඇප් ස්ටෝර්හි සෞඛ්‍යය නමැති අංශයේ, ඉන්දියාව, කෙන්යාව සහ බ්‍රසීලය ඇතුළු බොහෝ රටවල ජනප්‍රිය ම ඇප් පහ අතරට Flo Health ශ්‍රේණිගත ව තිබේ.

    පිරිමින් දෙදෙනෙකු විසින් ආරම්භ කරන ලද Flo පවසන්නේ එය, ‘ලොව පුරා සිටින කාන්තාවන්ට ඔවුන්ගේ ශරීර සංඥා තේරුම් ගැනීමට උපකාර වන බව,” ය.

    2019 සිට එය පරිශීලකයන්ගේ දත්ත බෙදා ගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.

    ජූලි 31 වන දින, Flo විසින් එක්සත් ජනපද කාන්තාවන් මිලියන ගණනක පෞද්ගලික දත්ත මෙටා සහ අනෙකුත් බාහිර සමාගම්වලට ලබා දුන් බවට චෝදනා එල්ල කළ පිරිසක් විසින් ගොනු කරනු ලැබූ නඩුවක් සමථයකට පත් කර ගන්නා ලදී.

    “මෙම චෝදනාවලට සාක්ෂි නොමැතිකම අධිකරණයේදී වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතින” බව Flo Health නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    “අප සෑමවිට ම තරයේ කියා සිටියේ චෝදනා දුර්වල බව යි,”සමාගම වැඩිදුරටත් පැවසීය.

    මෙම මස මුලදී, මෙටා සමාගම කැලිෆෝනියාවේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ නීති උල්ලංඝනය කර ඇති බවට ජූරි සභාවක් තීන්දු කළේ ය.

    මේ අතර, කැනඩාවේ Flo Health සමාගමට එරෙහිව වින්දිතයින් කණ්ඩායමක් විසින් පවරන ලද නඩුවක් ද, පෘතුගාලයේ පාරිභෝගික අයිතිවාසිකම් නඩුවක් ද ක්‍රියාත්මක වෙමින් පවතියි.

    ඔසප් චක්‍ර නිරීක්ෂණය කිරීමේ ඇප් දැන් ඔසප් වන පුද්ගලයින් විසින් ඔවුන්ගේ ඔසප් වීම නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට බහුලව භාවිත කරනු ලබයි. පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (PCOS) වැනි අක්‍රමවත් චක්‍ර හා සම්බන්ධ රෝග වැනි ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවබෝධයක් එයට ලබා දිය හැකි ය.

    Woman holding her stomach
    ඔසප් චක්‍ර අධීක්ෂණය කිරීමේ ඇප්, අක්‍රමවත්ව ඔසප් වීමේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට උපකාරී වේ

    2024 අධ්‍යයනයකින් හෙළි වූයේ, අඩු ආදායම්ලාභී, පවුල් සැලසුම් නොමැති සහ ඉහළ උපත් අනුපාත ඇති පුද්ගලයින් වැඩි දෙනෙකු සිටින රටවල්වල, ඔසප් චක්‍ර නිරීක්ෂණය කිරීමේ ඇප් බොහෝ විට ඩවුන්ලෝඩ් කරන බව ය.

    දේශීයව ද ජංගම දුරකතන ඇප් තිබුණ ද, බොහෝ රටවල්වල එක ම ආකාරයේ ඇප් කිහිපයක් භාවිත කරන බව අධ්‍යයනයෙන් හෙළි විය.

    “සමහර රටවල මේ තොරතුරු ‘පොදු සනීපාරක්ෂාව’ විදිහට වර්ගීකරණය කරලා තියෙන්නේ, සෞඛ්‍ය දත්ත විදිහට නෙවෙයි,” කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාක්ෂණ හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මින්ඩරූ මධ්‍යස්ථානයේ පෞද්ගලිකත්වය පිළිබඳ පර්යේෂක ආචාර්ය ස්ටෙෆනි ෆෙල්ස්බර්ගර් බීබීසීයට පැවසුවා ය.

    මෙයින් අදහස් කරන්නේ පරිශීලක දත්ත සඳහා විශේෂ ආරක්ෂණ හෝ රෙගුලාසි තිබිය නොහැකි බව ය.

    Phone screen with period tracking calendar
    ඔසප් චක්‍ර නිරීක්ෂණ ඇප් සෞඛ්‍ය දත්ත ලෙස වර්ගීකරණය කර නොමැති නම්, එම දත්ත ආරක්ෂා කරන ආකාරය පිළිබඳ ඇත්තේ අඩු රෙගුලාසි ප්‍රමාණයකි.

    Privacy International UK සහ ලතින් ඇමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් වන Chupadados විසින් කරන ලද විමර්ශනවලින් හෙළි වූයේ සමහර ඔසප් චක්‍ර නිරීක්ෂණය කිරීමේ ඇප් තවමත් පරිශීලකයන්ගේ දත්ත බෙදා ගන්නා බවත් දත්ත කාන්දු වීමට හේතු විය හැකි ආකාරයේ දුර්වල ආරක්ෂාවක් ඇති බවත් ය.

    ආචාර්ය ෆෙල්ස්බර්ගර් බීබීසී වෙත පැවසුවේ, ඔසප් චක්‍ර අධීක්ෂණ ඇප්වල සාමාන්‍යයෙන් පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්ති ඇති බවත්, ඒවා පරිශීලකයින්ට තේරුම් ගැනීමට අපහසු වන අතර ඒවායේ දත්ත හසුරුවන ආකාරය පැහැදිලිව පෙන්වා නොදෙන බවත් ය.

    “ඔවුන් ගොඩක් වෙලාවට ‘සියල්ල හෝ කිසිවක් නෑ’ කියන ඔප්ෂන් එක තමයි කැමැත්ත ගන්න පරිශීලකයන්ට දෙන්නේ,” ඇය පවසයි.

    කෙසේ හෝ ඇප් භාවිතා කිරීමට අවශ්‍ය නම්, පරිශීලකයින් දත්ත රැස් කිරීමේ සියලු ම නියමයන්ට එකඟ වීමට සිදු වේ.

    ප්‍රජනන සෞඛ්‍ය දත්ත සංවේදී දත්තව වනවා පමණක් නොව, ඒවාට ඉහළ වටිනාකමක් ද තිබේ.

    “ඉතා ම වැදගත් වෙන්නේ, මේ ඇප් ප්‍රචාරකයන්ට සැහෙන්න අවශ්‍ය දත්තයක් වෙන ගර්භණීභාවය සම්බන්ධ දත්ත රඳවා ගන්නවා,” ආචාර්ය ෆෙල්ස්බර්ගර් පවසයි.

    2013 Financial Times ගවේෂණයකින් හෙළි වූයේ යම් කෙනෙකු ගැබ්ගැනීමේ පළමු මාස තුන තුළ සිටියදී තිබෙන ඔවුන්ගේ දත්තවල වටිනාකම, 220 ගුණයකින් වැඩි කරන බව ය.

    “මේ ඇප්වල සමහර අයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ගැන දත්තත් තියෙනවා,” ආචාර්ය ෆෙල්ස්බර්ගර් පවසයි.

    ආචාර්ය ෆෙල්ස්බර්ගර් මෙය “ඔසප් චක්‍ර පදනම් කරගත් වෙළෙඳ දැන්වීම්” ලෙස හැඳින්වූ අතර, එමගින් සමාගම්වලට පාරිභෝගිකයන්ගේ ඔසප් චක්‍ර මත පදනම්ව ඔවුන්ව ඉලක්ක කර ගැනීම සඳහා තොරතුරු භාවිත කිරීමට ඉඩ සලසයි.

    මෙය ප්‍රචාරකයන්ගෙන් ඔබ්බට යන්නක් බව ලෝරින් හෙන්ඩ්‍රි පාර්සන්ස් බීබීසීයට පැවසුවා ය.

    “රක්ෂණකරුවන්ට, රජයන්ට හෝ සේවා යෝජකයින්ට මෙම දත්ත භාවිත කර රැකියා, සෞඛ්‍ය සේවා හෝ පොදු සේවාවන් සඳහා ජනතාවගේ ප්‍රවේශයට බලපෑමක් කළ හැකියි,” ඇය පවසයි.

    ඔසප් වීම නිරීක්ෂණය කිරීමෙන් රැකියා හෝ සෞඛ්‍ය තත්ත්වය මත වෙනස්කොට සැලකීම් පිළිබඳ කිසිදු සිද්ධියක් තවමත් දක්නට නොලැබුණ ද, අනාගතයේදී එය සිදුවිය හැකි බවට විශේෂඥයෝ කනස්සල්ලට පත්ව සිටිති.

    ගෝලීය වශයෙන් ගබ්සා නීති ලිහිල් කිරීමේ ප්‍රවණතාවක් පවතින මුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක් ගබ්සා කිරීමේ අයිතිවාසිකම් ආපසු හරවා ඇත. ලොව පුරා බොහෝ දෙනෙක් සීමිත ගබ්සා නීති යටතේ ජීවත් වෙති.

    ඔසප් චක්‍ර නිරීක්ෂණය කිරීමේ ඇප් මගින් දත්ත රැස් කිරීම අවදානමක් විය හැකි තැන මෙය බව හෙන්ඩ්‍රි පාර්සන්ස් පවසයි.

    “ගබ්සා කිරීමේ අයිතිවාසිකම් තර්ජනයට ලක්ව ඇති තැන්වල, ගැබ්ගැනීම්, ගබ්සා වීම හෝ ගබ්සා කිරීම් අනුමාන කරන්න ඔසප් දත්ත භාවිත කරන්න පුළුවන් වගේ ම, පසුව නීතිය ක්‍රියාත්මක කරන අයට ඒවා දෙන්නත් පුළුවන්,” ඇය පවසයි.

    “එම දත්ත සඳහා ශක්තිමත් ආරක්ෂණ ක්‍රමවේදයක් නැති වුණා ම, සමාගම් ගොඩක් වෙලාවට ඒවා බෙදා ගන්නවා.”

    මේ වසරේ ජූනි මාසයේ සිට, එක්සත් රාජධානියේ පොලිස් මාර්ගෝපදේශය අනුව නිලධාරීන් අනපේක්ෂිත ගබ්සා වීමක් සිදු වූ පසු කාන්තාවන්ගේ දුරකතනවල ඇප් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු නමුත් එය සිදු කිරීමට පවසා ඇත්තේ නිසි නීතිමය ක්‍රියා පටිපාටි හරහා පමණි.

    ගබ්සා කිරීම් යැයි සැක කෙරෙන සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනත් ආකාරයේ දත්ත භාවිත කළ අවස්ථා තිබේ. 2022 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ගබ්සාවක් සිදු කිරීමට අපේක්ෂා කළ කාන්තාවකට චෝදනා එල්ල කිරීම සඳහා ෆේස්බුක් චැට් භාවිත කරන ලදී. 2020 දී එක්සත් රාජධානියේදී, පොලිසිය කාන්තාවකගේ ගූගල් සෙවුම් ඉතිහාසය පරීක්ෂා කළේ නීතිමය සීමාව ඉක්මවා ගබ්සා පෙති භාවිත කිරීම පිළිබඳව විමර්ශනයක් අතරතුර ය.

    දත්ත කාන්දුවක් සිදුවන විට දත්ත කේත ගත (encrypted) කර නොමැති නම්, පරිශීලකයින්ගේ ඉතා සංවේදී තොරතුරු නිරාවරණය විය හැකි බවට ආචාර්ය ෆෙල්ස්බර්ගර් සහ හෙන්ඩ්‍රි පාර්සන්ස් අනතුරු ඇඟවූහ.

    Yellow lock
    පෞද්ගලිකත්වය ආරක්ෂා කළ හැකි ක්‍රම තිබේ

    පුද්ගලයන්ගේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ දත්ත නිරීක්ෂණය කිරීම සඳහා ඔසප් ඇප් ප්‍රයෝජනවත් විය හැකි බව විශේෂඥයෝ පිළිගනිති. පරිශීලකයින්ට ඔවුන්ගේ දත්ත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම්, ඔසප් චක්‍ර නිරීක්ෂණය කිරීමේ ඇප්වල පෞද්ගලික දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් ඔවුන්ට ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් තිබේ.

    පෞද්ගලිකත්වය පිළිබඳ කොන්දේසි පැහැදිලි සහ තේරුම්ගත හැකි ද?

    යම් ඇප් එකකට පෞද්ගලිකත්වය සම්බන්ධ පැහැදිලි කොන්දේසි ඇති විට සහ ඒවා පරිශීලකයින්ට හොඳින් පැහැදිලි කරන්නේ නම් එය පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට වැදගත්කමක් ලබා දෙන බව පෙන්නුම් කරන බව ආචාර්ය ෆෙල්ඩ්බර්ගර් බීබීසී වෙත පැවසුවාය.

    ඇප් එක ඔබේ දත්ත කේත ගත (encrypt) කරනවා ද?

    ඇප් එක පරිශීලකයන්ගේ තොරතුරු කේත ගත (encrypt) කරන්නේ නම්, ඒවා නව රහස් කේතයක් බවට පරිවර්තනය වනු ඇත. එය අනවසර පාර්ශවයන්ට දත්ත විකේතනය (decode) කිරීම වඩාත් අපහසු කරයි.

    එය ඔබේ ලිපිනය වැනි ඔසප් නිරීක්ෂණයට අදාළ නොවන ප්‍රශ්න අසනවා ද?

    ඇතැම් ඇප් ඔසප් නිරීක්ෂණයට අදාළ නොවන ප්‍රශ්න අසන බවත්, ඒවා භාවිත කරන විට ඒ බව පරිශීලකයින් මතක තබා ගත යුතු බවත් ආචාර්ය ෆෙල්ස්බර්ගර් සහ පාර්සන්ස් සඳහන් කළහ. ඔසප් චක්‍රය තේරුම් ගැනීමට පරිශීලකයෙකුගේ ලිපිනය වැනි හඳුනාගත හැකි විස්තර අවශ්‍ය නොවේ.

    එය මුදල් උපයන්නේ ඔබේ දත්ත ප්‍රචාරකයන්ට විකිණීමෙන් ද?

    මෙම ඇප් බොහොමයක ව්‍යාපාරික ආකෘතිය රඳා පවතින්නේ පරිශීලක දත්ත සහ ඔවුන් සිතන ආකාරය තෙවන පාර්ශවයන්ට විකිණීම හෝ බෙදා ගැනීම මත බව ආචාර්ය ෆෙල්ස්බර්ගර් බීබීසී වෙත පැවසුවා ය.

    “මේ සඳහා කරන්න ඕනේ දේ ඔයා ට්‍රැකර් එකක් භාවිත කිරීම නවත්වන එක නෙවෙයි,” ආචාර්ය ෆෙල්ස්බර්ගර් බීබීසී වෙත පැවසීය.

    “මේ සඳහා කරන්න ඕනේ දේ වෙන්නේ ඔයාගේ ට්‍රැකර් එකෙන් වැඩි විස්තර අහන එක සහ ඔයා පෞද්ගලිකව බෙදා ගැනීමට සතුටු වන දේවල් ගැන ප්‍රශ්න අහන එක.”

    source: https://www.bbc.com/sinhala/articles/cvg49dg7pw1o

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments