වඩා ත් හොඳ උදෑසන ආහාර වේලක් ලබා ගැනීම තුළින් දවස හොඳින් ගත කිරීමට හැකි බවට වන උපදෙස අප සැවොම අසා තිබේ. නමුත් එයින් අදහස් කරන්නේ මෙම ආහාර වේල අපව සෞඛ්‍ය සම්පන්නව තබන බව සහ ශරීරය සිහින්ව තබා ගැනීමට උපකාරී වන බව ද? නැතහොත් එයින් අදහස් වන්නේ වෙනත් දෙයක් ද?
“කැරට් කෑවොත් රෑට හොඳට ඇස් පේනවා,” සහ “නත්තල් සීයා නරක ළමයින්ට සෙල්ලම් බඩු අරන් එන්නේ නැහැ,” වැනි සාම්ප්‍රදායික පැරණි කියමන් අතර වෙහෙසට පත් දෙමාපියන්ගේ වාග් අවි ගබඩාවේ වඩාත් වැඩියෙන් ඇසෙන කියමන වන්නේ උදෑසන ආහාරය දවසේ වැදගත් ම ආහාරය බව ය. අපගෙන් බොහෝ දෙනෙක් උදෑසන ආහාරය මග හැරීම සෞඛ්‍යයට අහිතකර බව විශ්වාස කිරීමට පුරුදු වී සිටිය ද, සත්‍ය වශයෙන් ම උදෑසන ආහාරයට වේලාව වෙන් කර ගන්නා පුද්ගලයින්ගේ ස්වභාවය විවිධ විය හැකිය.
සාමාන්‍යයෙන් ඇමෙරිකානු ජනයාගෙන් හතරෙන් තුනක් පමණ උදෑසන ආහාරය ලබා ගන්නා අතර එක්සත් රාජධානියේ වෙසෙන වැඩිහිටියන්ගෙන් 94%ක් පමණ සහ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් 77%ක් දිනපතා උදෑසන ආහාරය භුක්ති විඳිති. ස්විට්සර්ලන්තයේදී සිදු කළ අධ්‍යයනයකින් හෙළිදරව් වී ඇත්තේ වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකක් පමණක් දිනපතා සිය ආහාරවේල භුක්ති විඳින බවයි.
කාලය සඳහා පවතින තරගයේදී බොහෝ විට අපෙන් මග හැරෙන පළමු දේ වන්නේ උදෑසන ආහාරයයි. අප අතර සිටින බොහෝ දෙනෙකු උදෑසන දිව යමින් යමක් ආහාරයක් ලබා ගන්නට පෙළඹෙන අතර, එසේ නොමැති නම් තම සුවපහසු ඇඳ අමතර විනාඩි කිහිපයක් ගත කිරීම වෙනුවෙන් උදෑසන ආහාරය සඳහා ධාන්‍ය බඳුනක්, ටෝස්ට් කළ පාන් පෙති දෙකක් හෝ පේස්ට්‍රියක් ලබා ගැනීමට පෙළඹෙති.
උදෑසන ආහාරයේ [Breakfast] වැදගත්කම එහි නමින් ම කියවෙන අතර, එය රාත්‍රියක් මුළුල්ලේ පවතින උපවාසය බිඳ දැමීමට [Break the Fast] උපකාරී වේ.
“රාත්‍රිය පුරා ම, ශරීරය වර්ධනය හා අලුත්වැඩියාව වැනි වැදගත් ක්‍රියාවලීන්ට සහය වීම සඳහා එහි ගබඩා කර ඇති ශක්තිය පාවිච්චි කරනවා,” ආහාරවේදියෙකු වන සාරා එල්ඩර් පැහැදිලි කරයි. “සමබල උදෑසන ආහාර වේලක් භුක්ති විඳීම මගින් රාත්‍රියේදී ශක්තිය මෙන් ම ප්‍රෝටීන් සහ කැල්සියම් භාවිත කිරීමට ශරීරයට උපකාරී වෙනවා.”

නමුත් උදෑසන ආහාරය පවසන තරම් වැදගත් ලෙස සැලකිය යුතු ද යන්න පිළිබඳව පුළුල් පරස්පරතා පවතියි. උදෑසන ආහාර වේල මග හැරීමේ වර්ධනය වන ප්‍රවණතාවන්ට සමගාමීව ධ්‍යානමය ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය ගැන ද කනසල්ලක් පවතයි. එමෙන් ම සෞඛ්‍යයට හිතකර උදෑසන ආහාර වේලක් ලබා දීම සඳහා ආහාර කර්මාන්තය තුළ පර්යේෂණ සිදුවන පසුබිමක ඒ පිළිබඳව අධ්‍යයනය කරන එක් විශේෂඥයෙකු උදෑසන ආහාරය “භයානක” බවට ද පවසා තිබේ.
එසේ නම් යථාර්ථය කුමක් ද? උදෑසන ආහාරය යනු, දවසට අත්‍යවශ්‍ය ආරම්භයක් ද… එසේ නොමැතිනම් එය ධාන්‍ය සමාගම් විසින් භාවිත කරනු ලබන අලෙවි උපක්‍රමයක් ද?
උදෑසන ආහාරය මග හැරීම බර වැඩි වීමට හේතු විය හැකි ද?
උදෑසන ආහාරය පිළිබඳ වඩාත් ම පර්යේෂණයට ලක්වූ කොටස (සහ උදෑසන ආහාරය මග හැරීම) වන්නේ එය සහ තරබාරුකම අතර ඇති සම්බන්ධතාව වේ. මේවා අතර සම්බන්ධයක් පවතින්නේ ඇයි ද යන්න පිළිබඳව විද්‍යාඥයන් සතුව විවිධ මත පවතී.
වසර හතක් තුළ පුද්ගලයන් 50,000කගේ සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කරමින් සිදු කළ අධ්‍යයනයකදී එක්සත් ජනපද පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ගනු ලැබ ඇත්තේ උදෑසන ආහාරය සඳහා බර ආහාර වේලක් ලබා ගත් පිරිසගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI), බර දිවා ආහාර වේලක් හෝ රාත්‍රී ආහාර වේලක් ලබා ගන්නා පුද්ගලයින්ට සාපේක්ෂව අඩු බව ය. උදෑසන ලබා ගන්නා ආහාර වේල තුළ බොහෝ විට තන්තු සහ පෝෂ්‍ය පදාර්ථ වැඩි වශයෙන් පවතින බැවින් එය තෘප්තිය වැඩි කිරීමට, දෛනිකව අප ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමට සහ අපගේ ආහාර වේලෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කරන කිරීමට මෙන් ම ඉන් පසු ගන්නා ආහාර වේල්වලදී දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරමින් ඉන්සියුලින්වලට වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීමට එය උපකාරී වන බවට පර්යේෂකයෝ තර්ක කරති.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පර්යේෂකයෝ සති 12ක් ක්‍රියාත්මක වූ බර අඩු කිරීමේ වැඩසටහනකට තරබාරු කාන්තාවන් 52 දෙනෙකු සහභාගී කර ගන්නා අධ්‍යයනයක් සැලසුම් කළහ. දවස පුරා සියල්ලන්ට ම එක හා සමාන කැලරි ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව දුන් අතර, ඉන් 6 දෙනෙකුට උදෑසන ආහාරය සැපයූ අතර අනෙක් 6 දෙනාට උදෑසන ආහාරය නොලැබිණි.
අධ්‍යයනයේදී ඔවුන් සොයා ගත්තේ, ඊට සහභාගී වූවන්ගේ බර අඩු වීමට හේතු වූයේ උදේ ආහාරය නොවන බව ය: එය ඔවුන්ගේ සාමාන්‍ය චර්යාව වෙනස් කර තිබිණි. සාමාන්‍යයෙන් උදේ ආහාරය ගන්නා බව අධ්‍යයනයට පෙර පැවසූ කාන්තාවන්ගේ කණ්ඩායමේ බර එය ලබා ගැනීම නැවැත්වූ විට කිලෝග්‍රෑම් 8.9 ක් අඩු වී තිබිණි. එය එම කණ්ඩායම සමග සංසන්දනය කරන විට, ආහාර ලබා ගත් කාන්තාවන්ගේ බර අඩු වීම කිලෝග්‍රෑම් 6.2කි. මේ අතර සාමාන්‍යයෙන් උදෑසන ආහාරය මග හැරිය අය එය නැවත ගැනීමට පටන් ගත් විට කිලෝග්‍රෑම් 7.7කින් බර අඩු කර ගත් අතර, එය මග හැරීම දිගට ම කර ගෙන ගිය විට බර අඩු වී තිබුණේ කිලෝග්‍රෑම් 6කිනි.
උදෑසන ආහාරය පමණක් බර අඩු කර ගැනීම සහතික නොකරන්නේ නම්, තරබාරුකම සහ උදෑසන ආහාරය මග හැරීම අතර සම්බන්ධයක් ඇත්තේ ඇයි?
උදෑසන ආහාරය ශරීරයේ බරට බලපාන බවට පවතින තර්කයට පක්ෂව හෝ විරුද්ධව එක් සමාලෝචනයකින් “සීමිත සාක්ෂි” ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
උදෑසන ආහාර වේල මග හරින්නන්ට පෝෂණය සහ සෞඛ්‍යය පිළිබඳ පවතින දැනුම අඩු බව නිසා [ඒ බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ] එය සරලව සිදුවිය හැකි දෙයක් බව ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ ආහාර රුචිය පිළිබඳ පර්යේෂණ පිළිබඳ මහාචාර්ය ඇලෙක්සැන්ඩ්‍රා ජොන්ස්ටන් තර්ක කරයි.
“උදෑසන ආහාරය ලබා ගැනීම සහ ඒ ඔස්සේ අත්විය හැකි සෞඛ්‍ය ප්‍රතිඵල අතර සම්බන්ධය පිළිබඳ අධ්‍යයනයන් රාශියක් මේ වන විට සිදු කරලා තිබෙනවා. නමුත් මෙයට හේතුව උදේ ආහාරය ගන්නා අය සෞඛ්‍ය හිතකාමී හැසිරීම්, ඒ කියන්නේ දුම්පානය නොකිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීම වැනි දේවල් ඔවුන් සාමාන්‍ය පුරුදු ලෙස තෝරා ගෙන තිබීම නිසා වෙන්න පුළුවන්,” ඇය පවසයි.
උදෑසන ආහාරය සහ තරබාරුකම අතර පවතින සම්බන්ධය සොයා බැලීමට 2020 වසරේ සිදු කරන ලද අධ්‍යයන 45ක සමාලෝචනයකින් තහවුරු වී තිබුණේ උදෑසන ආහාරය මග හැරීම තරබාරු වීමේ අවදානම වැඩි කරන බව ය. එම බලපෑම ළමුන් තුළ ද පවතින බව සොයා ගැණිනි.
අප උදෑසන ආහාරය ලබා ගන්නා වේලාව වැදගත් ද?
බර අඩු කර ගැනීමට හෝ තම සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන අය අතර, රාත්‍රියේ සිට පසු දා දක්වා ආහාර ගැනීමෙන් වැළකී සිටින, කඩින් කඩ නිරාහාරව සිටීම ජනප්‍රිය වෙමින් පවතියි.

උදාහරණයක් ලෙස ගත කල, 2018 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එක් නියමු අධ්‍යයනයකින් අනාවරණ වූයේ, කඩින් කඩ නිරාහාරව සිටීම රුධිරයේ අඩංගු සීනි පාලනය සහ ඉන්සියුලින් සංවේදීතාව ඉහළ නංවන අතර අතර රුධිර පීඩනය අඩු කරන බව ය. අධ්‍යයනයේදී පූර්ව දියවැඩියා අවධියේ සිටින පිරිමින් අට දෙනෙකුට ආහාර කාලසටහන් දෙකකින් එකක් ලබා දුනි: එනම් උදැසන 9 සිට සවස 3 දක්වා සමස්ත කැලරි ප්‍රමාණය ගැනීම හෝ පැය 12 ක් පුරා එම කැලරි ප්‍රමාණය ම ගැනීම සඳහන් කාල සටහන් ඔවුන්ට තෝරා ගැනීමට සිදු විය. මෙම අධ්‍යයනය සිදු කළ බර්මින්හැම්හි ඇලබාමා විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය කෝට්නො පීටර්සන් පවසන ආකාරයට, උදෑසන 9 සිට සවස 3 දක්වා සිය ආහාර ගත් කණ්ඩායමේ ප්‍රතිඵල රුධිර පීඩනය අඩු කරන ඖෂධය ලබා ගන්නා අයට සමාන බව සොයා ගත්තේ ය.
තවමත්, මෙය මහා පරිමාන අධ්‍යනයක් නොවන නවින් එහි දිගුකාලීන ප්‍රතිලාභ පිළිබඳ සොයා බැලීමට වැඩිදුර පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය වේ.
උදෑසන ආහාරයෙන් වැළකී, සීමිත කාලයක් තුළ පමණක් ආහාර ගැනීමෙන් සෞඛ්‍යමය වාසි තිබේ නම්, එයින් අදහස් කරන්නේ උදෑසන ආහාරය ගැනීම ඇත්තෙන් ම හානිකර විය හැකි බව ද? එක් විශේෂඥයෙකු පෙන්වා දෙන්නේ, පාන්දරින් ම ආහාර ගැනීම හානිකර විය හැකි බව යි. මන්ද එය පසුව ආහාර ගැනීමට වඩා කෝටිසෝල් මට්ටම්වල ඉහළ වැඩිවීමක් ඇති කළ හැකි නිසා ය. මෙම කෝටිසෝල් වැඩිවීම කාලයත් සමග ඉන්සියුලින් ප්‍රතිරෝධයට හේතු විය හැකි අතර, දෙවන වර්ගයේ දියවැඩියාව වර්ධනය වීමේ අවදානම වැඩි කරයි.
නමුත් දියවැඩියාව, අන්තරාසර්ගවේදය සහ පරිවෘත්තීය පිළිබඳ ඔක්ස්ෆර්ඩ් මධ්‍යස්ථානයේ පරිවෘත්තීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ෆෙඩ්රික් කර්පේ තර්ක කරන්නේ, එය එලෙස සිදු නොවන බව ය. ඒ වෙනුවට ඔහු පෙන්වා දෙන්නේ, උදෑසන පවතින ඉහළ කෝටිසෝල් මට්ටම අපගේ ශරීරයේ ස්වභාවික රිද්මයේ කොටසක් පමණක් බව ය.
එපමණක් නොව අපගේ පරිවෘත්තීය ක්‍රියාවලිය ආරම්භ කිරීමට උදෑසන ආහාරය අත්‍යවශ්‍ය බව ඔහු පවසයි. “අනෙකුත් පටක ආහාරවලට හොඳින් ප්‍රතිචාර දැක්වීමට නම්, ඉන්සියුලින්වලට ප්‍රතිචාර දක්වන කාබෝහයිඩ්‍රේට් ඇතුළත් මූලික ප්‍රේරකයක් ඔබට අවශ්‍යයි. එම ක්‍රියාවලිය සිදු වෙන්න නම් උදෑසන ආහාරය ඉතා වැදගත්,” කර්පේ පවසයි.

පාලිත තත්ත්ව යටතේ සිදු කළ අහඹු අත්හදා බැලීමකින් හෙළි වූයේ, උදෑසන ආහාරය මග හැරීමෙන් සර්කැඩියානු රිද්මයට බාධා ඇති වන අතර ආහාර ගැනීමෙන් පසු රුධිර ග්ලූකෝස් මට්ටම් විශාල ලෙස ඉහළ යන බව ය. අපගේ ශරීරයේ ඇති ජීව විද්‍යාත්මක ඔරලෝසුව නියමිත පරිදි ක්‍රියාත්මක වීම සඳහා උදෑසන ආහාරය ගැනීම අත්‍යවශ්‍ය බවට එහි පර්යේෂකයන් නිගමනය කර ඇත.
ජපානයේ යෞවන අවධියේ පසුවන්නන් පිළිබඳ 2023දී සිදුකළ සමාලෝචනයකින් අනාවරණ වී ඇත්තේ, විශේෂයෙන් අධික බරින් යුතු පුද්ගලයින් අතර උදෑසන ආහාරය මග හැරීම පූර්ව දියවැඩියා රෝගයට සම්බන්ධ වී පවතින බව ය.
උදෑසන ආහාරය මග හරින පිරිස කණ්ඩායම් දෙකකට බෙදිය හැකි බව පීටර්සන් පැහැදිලි පවසයි: එනම් උදෑසන ආහාරය මග හැර සාමාන්‍ය වේලාවට රාත්‍රී ආහාරය ගෙන කඩින් කඩ නිරාහාරව සිටීමෙන් ප්‍රයෝජන ගන්නා පිරිස සහ උදෑසන ආහාරය මග හැර රාත්‍රී ආහාරය ද බොහෝ ප්‍රමාද වී ගණන පිරිස එම කණ්ඩායම් දෙක වේ.
“ප්‍රමාද වී රාත්‍රී ආහාරය ලබා ගන්නා පුද්ගලයින්ට තරබාරුකම, දියවැඩියාව සහ හෘදවාහිනී රෝග ඇති වීමේ අවදානම ඉතා ඉහළයි. උදෑසන ආහාරය දවසේ වැදගත් ම ආහාරය බව පෙනෙන්නට තිබුණත්, ඇත්ත වශයෙන් ම එය රාත්‍රී ආහාරය වෙන්නත් පුළුවන්,” පීටර්සන් පවසයි. “අපගේ රුධිරයේ සීනි පාලනය දවස ආරම්භයේදී හොඳ මට්ටමක පවතිනවා. අපි රාත්‍රී ආහාරය ප්‍රමාද වී භුක්ති විඳිනකොට අපේ රුධිරයේ සීනි මට්ටම නරක ම මට්ටමක පවතින නිසා අපි වඩාත් අවදානමට ලක් වෙනේ ඒ අවස්ථාවේදී යි. ඒ සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කරන්න තියෙනවා. නමුත් ඔයා උදෑසන ආහාරය මගහැර රාත්‍රී ආහාරය ප්‍රමාද නොකළ යුතු බවට මම විශ්වාස කරනවා.”
ඇය පවසන්නේ අපි අපේ සර්කැඩියානු රිද්මය ගැන වාද්‍ය වෘන්දයක් ලෙස සිතිය යුතු බව ය.
“අපෙ සර්කැඩියානු ඔරලෝසුවේ කොටස් දෙකක් තියෙනවා. මොළයේ ප්‍රධාන ඔරලෝසුවක් තියෙනවා. හරියට වාද්‍ය වෘන්දයක හසුරුවන කෙනා වගේ. අනෙක් කොටස අපේ හැම ඉන්ද්‍රියක ම තියෙනවා. ඒක ඇවිල්ලා වෙන ම ඔරලෝසුවක්,” ඇය පවසයි.”
එම “වාද්‍ය වෘන්දයට” බාහිර සාධක දෙකක් බලපායි: ඒ, දීප්තිමත් ආලෝකයට නිරාවරණය වීම සහ අපගේ ආහාර ගැනීමේ කාල සටහනයි.
“දීප්තිමත් ආලෝකයට නිරාවරණය නොවී ආහාර ගැනීමෙන් ඔබේ ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසු වැරදි විදිහට හැදෙන්න පුළුවන්, එමගින් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කළ යුතුද නැතහොත් මන්දගාමී කළ යුතුද යන්න ගැන මිශ්‍ර සංඥා ඇති කරනවා.”

එය වාද්‍ය වෘන්දයක කොටස් දෙකක් විවිධ ගීත වාදනය කරන ආකාරයකට සමාන ය, පීටර්සන් පැහැදිලි කරයි. ප්‍රමාද වී ආහාර ගැනීමෙන් රුධිරයේ සීනි සහ රුධිර පීඩන මට්ටම් දුර්වල වන්නේ එබැවිනි.
සරේ විශ්වවිද්‍යාලයේ සහ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අප ආහාර ගන්නා කාලය ශරීරයේ බරට බලපාන ආකාරය පිටුපස ඇති යාන්ත්‍රණයන් පිළිබඳව සොයා බැලීමක් සිදු කර තිබේ. 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එම සොයාගැනීම්වලින් යෝජනා කර ඇත්තේ, විශාල ප්‍රමාණයේ උදෑසන ආහාරයක් සහ කුඩා ප්‍රමාණයේ රාත්‍රී ආහාරයක් බර පාලනයට ප්‍රයෝජනවත් වන බව ය. විශාල ප්‍රමාණයකින් ලබා ගන්නා උදෑසන ආහාරය දවසේ ඉතිරි කාලයේදී ආහාර රුචිය අඩු මට්ටමකින් පවත්වා ගෙන යාමට උදව් වීම ඊට හේතුව වේ.
උදෑසන ආහාර වේල ලබා ගැනීමෙන් හිමි වන සෞඛ්‍ය ප්‍රතිලාභ
උදෑසන ආහාරය හුදෙක් බලපෑම් එල්ල කරන්නේ ශරීර බරට පමණක් නොවන බව සොයාගෙන තිබේ. උදෑසන ආහාරය මග හැරීම හෘද රෝග ඇති වීමේ අවදානම 27%කින්, පිරිමි පාර්ශවය තුළ දෙවන අදියරේ දියවැඩියාව ඇතිවී මේ අවදානම 21%කින් ඉහළ යාම සහ කාන්තාවන් තුළ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම 20%කින් වැඩිවීම යන ඒවා සමග සම්බන්ධ වී තිබේ.
2023දී සිදු කළ නිරාහාරව සිටීම සහ දියවැඩියාව පිළිබඳ අධ්‍යයනයක පර්යේෂකයින් යෝජනා කරන්නේ, මෙය උදෑසන ආහාරය මග හැරීම ග්ලූකෝස් සහ ලිපිඩ පාලනයට මෙන් ම ඉන්සියුලින් මට්ටමට බලපාන නිසා සිදු විය හැකි බව ය. ඔවුන් වසර හතක කාලයක් තුළ පුද්ගලයන් 100,000කට වැඩි පිරිසකගේ ආහාර වේල් නිරීක්ෂණය කළ අතර එහිදී සොයා ගනු ලැබුවේ, අධ්‍යයනය සඳහා සහභාගී වූ පිරිසෙන් උදෑසන 8ට පෙර උදෑසන ආහාර වේල අනුභව කළ පිරිසට සාපේක්ෂව උදෑසන 9න් පසු සිය උදෑසන ආහාරය ලබා ගත් පිරිස අතර රෝගය වර්ධනය වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව ය.

බටහිර ලෝකයේ රටවල උදෑසන ආහාරය ගැනීම හා සම්බන්ධ ඇතැම් සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා එක් හේතුවක් වන්නේ, ඇතැම් ධාන්‍ය වර්ග විටමින්වලින් අනූණ බැවින් එහි පවතින පෝෂණීය වටිනාකම විය හැකි ය. එක්සත් රාජධානියේ පුද්ගලයින් 8,000කට වැඩි පිරිසකගේ උදෑසන ආහාර පුරුදු පිළිබඳ සිදු කළ අධ්‍යයනයකදී පර්යේෂකයන් අනාවරණ කළේ, පුරුද්දක් ලෙස උදෑසන ආහාරය ලබා ගන්නා පුද්ගලයින්ගේ සමස්ත ක්ෂුද්‍ර පෝෂක ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බව ය. පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි බ්‍රිතාන්‍යයේ වර්තමාන උදෑසන ආහාර වේල ඇතැම්විට විටමින්වලින් පරිපූර්ණ ධාන්‍ය වර්ග, පාන් සහ තැවරුම් වැනි දෙයකි. ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, ඉන්දුනීසියාව සහ එක්සත් ජනපදය යන රටවල ද එවැනි ම සොයාගැනීම් පවතියි.
උදෑසන ආහාරය ලබා ගැනීම මානසික ඒකාග්‍රතාව සහ භාෂාව ඇතුළුව මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීම සමග ද සම්බන්ධ වී පවතියි. ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයන 54ක සමාලෝචන මගින් හෙළිදරව් වූයේ මොළයේ ක්‍රියාකාරිත්වයට ඇති අනෙකුත් බලපෑම් අවිනිශ්චිත වුව ද උදෑසන ආහාරය ගැනීමෙන් මතකය වැඩි දියුණු කළ හැකි බව ය. කෙසේ වෙතත්, සමාලෝචනයේ පර්යේෂකයෙකු වන ඔහායෝහි කෙන්ට් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සායනික මනෝවිද්‍යාඥ මේරි බෙත් ස්පිට්ස්නගල් පවසන්නේ උදෑසන ආහාරය නිසි පරිදි ලබා ගැනීම මානසික ඒකාග්‍රතාව වැඩි දියුණු කරන බවට “සාධාරණ” සාක්ෂි පවතින බව නමුත් තවත් පර්යේෂණ සිදු කිරීමේ අවශ්‍යතාව පවතින බව ය.

“මානසික ඒකාග්‍රතාව පරීක්ෂා කරන ලද අධ්‍යයන පිළිබඳ අවධානය යොමු කරන කොට එහි ප්‍රතිඵලයක් සොයා ගැනුණු අධ්‍යයන සංඛ්‍යාව කිසිදු ප්‍රතිඵලයක් සොයා ගැනීමට නොහැකිවූ අධ්‍යයන සංඛ්‍යාවට හරියට ම සමානයි,” ස්පිට්ස්නගල් පවසයි. “උදෑසන ආහාරය ලබා ගැනීම ඒකාග්‍රතාවට අහිතකර බව කිසිදු අධ්‍යයනයකින් සොයාගෙන නැහැ.”
වැදගත් ම දෙය වන්නේ ඇතැමුන් තර්ක කරන්නේ, උදේ ආහාරය ගන්නවා ද යන්නට වඩා ආහාරයට ගන්නේ මොනවා ද යන්න සම්බන්ධව ය.

ඔස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය විසින් සිදු කරන ලද පර්යේෂණයට අනුව සොයා ගෙන ඇත්තේ ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත උදෑසන ආහාරයක් ලබා ගැනීම දවසේ ඉතිරි කාලය තුළ ආහාර රුචිය අඩු කිරීමට සහ දිවා කාලයේ ආහාර පරිභෝජනය අඩු කිරීමට බලපාන බව ය.
එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ උදෑසන ආහාරය භුක්ති විඳීමට පුරුදු වී සිටින පිරිස් ධාන්‍ය වර්ග සඳහා දැඩි ප්‍රියතාවක් දැක්වුව ද 2020 Action සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ උදෑසන ආහාරය ලෙස පරිභෝජනය කරන ධාන්‍ය වර්ග 120කින් තුනෙන් එකක සීනි මට්ටම අධික බව ය. ධාන්‍ය වර්ග තුනක පමණක් සීනි මට්ටම පහළ අගයක තිබිණි.
නමුත් ඇතැම් පර්යේෂණ මගින් යෝජනා කෙරෙන්නේ අප සීනි සහිත ආහාර පරිභෝජනය කරන්නේ නම් එය උදෑසන ගැනීම වඩා සුදුසු බව ය. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ, දවස පුරා ශරීරයේ ලෙප්ටින් නමැති ආහාර රුචිය ඇති කරන හෝමෝනයේ ක්‍රියාකාරී මට්ටම වෙනස් වීම අප උදෑසන ලබා ගන්නා පැණිරස සමග සමපාත වන බව ය. කුසගින්න පාලනය කිරීම වඩාත් සුදුසු වන්නේ උදෑසන කාලය බව ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් සොයාගෙන ඇත. සති 16ක් පුරා ක්‍රියාත්මක කෙරුණු අධ්‍යනයක් සඳහා ඔවුන් තරබාරු වැඩිහිටියන් 200 දෙනෙකු සම්බන්ධ කර ගත් අතර ඔවුන්ගෙන් හරි අඩක් සිය උදෑසන ආහාරය සඳහා අතුරුපස එක් කර ගත් අතර අනෙක් පිරිස එලෙස සිදු නොකළහා. එලෙස ආහාර වේල සඳහා අතුරුපස එකතු කර ගත් පිරිසට සාමාන්‍යයෙන් රාත්තල් 40ක් (කිලෝග්‍රෑම් 18ක්) වැඩි බර ප්‍රමාණයක් අහිමි වී ඇති නමුත්, අධ්‍යයනය මගින් දිගුකාලීන බලපෑම් පෙන්වීමට අපොහොසත් වී තිබේ.

අධ්‍යයන 54ක සමාලෝචනයකින් අනාවරණ වූයේ කුමන ආකාරයේ උදෑසන ආහාරය සෞඛ්‍ය සම්පන්න ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු සම්මුතියක් නොමැති බව ය. එමගින් ගම්‍ය වන්නේ සරලව යමක් ආහාරයට ගැනීම මිස හුදෙක් උදෑසන ආහාරයේ වර්ගය වැදගත් නොවන බව ය.
සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ ඔබ උදේ ආහාරය ලබා ගන්නේ කොතැනක ද යන්නයි. 2022 වසරේදී සිදු කළ අධ්‍යනයකදී තරුණයින් 4,000කට ආසන්න පිරිසකගේ උදෑසන ආහාර පුරුදු පිළිබඳව සොයා බැලූ අතර එහිදී අනාවරණ වූයේ නිවසින් පිටත උදෑසන ආහාරය ගන්නා පිරිසට, නිවසේදී උදෑසන ආහාරය ලබා ගන්නා පිරිසට සාපේක්ෂව මනෝසමාජීය චර්යාත්මක ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතින බව ය. ඊට එක් හේතුවක් ලෙස පර්යේෂකයින් පවසන්නේ, පවුලක් ලෙස උදෑසන ආහාරය ගැනීමේ සමාජ පරිසරය වඩාත් පෝෂ්‍යදායී උදෑසන ආහාරයක් භුක්තිවිඳීම සමග සම්බන්ධ විය හැකි බව ය.
සාරාංශය
අප ආහාරයට ගත යුත්තේ කුමක් ද සහ කිනම් වේලාවකදී ද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂි නොමැති වුව ද, පොදු මතය වන්නේ අප අපගේ ම ශරීරයට සවන් දිය යුතු බව සහ කුසගින්නක් දැනුණු විට ආහාර ගත යුතු බව ය.
නිදසුනක් වශයෙන්, පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ පූර්ව දියවැඩියාව සහ දියවැඩියාව ඇති පුද්ගලයින්ට කැඳ වැනි අඩු ග්ලයිසමික් දර්ශකයක් (GI) සහිත උදෑසන ආහාරයක් මගින් පසුව වඩා හොඳ ප්‍රතිඵල හිමිවන බව ය. මෙම උදෑසන ආහාරය වඩාත් සෙමින් බිඳ වැටෙන අතර රුධිරයේ සීනි මට්ටම ක්‍රමානුකූලව ඉහළ යාමට හේතු වේ.
සෑම කෙනෙකු ම දවස වෙනස් අයුරින් ආරම්භ කරන අතර සහ එම පුද්ගල වෙනස්කම්, විශේෂයෙන් ග්ලූකෝස් ක්‍රියාකාරිත්වය, වඩාත් සමීපව පර්යේෂණ කළ යුතු බව ස්පිට්ස්නගල් පවසයි.
අවසානයේදී, ප්‍රමුඛ විය හැක්කේ කිසිදු ආහාර වේලක් සඳහා පමණට වඩා වැදගත්කමක් හෝ අවධානයක් ලබා දීම නොව, දවස පුරා අප ආහාර ගන්නේ කෙසේ ද යන්න දෙස බැලීම ය.

“සමබල උදෑසන ආහාරයක් ඇත්තෙන් ම හරි ම ප්‍රයෝජවත්. නමුත් දවස පුරා දිනකට කිහිප වතාවක් ආහාර ලබා ගැනීම දවස පුරා රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගැනීම සඳහා වඩාත් වැදගත් වන අතර එය බර සහ කුසගිනි මට්ටම පාලනය කිරීමට උපකාරී වෙනවා,” එල්ඩර් පවසයි.
“උදෑසන ආහාරය කියන්නේ අපි නිවැරදිව ලබා ගත යුතු එක ම ආහාර වේල නොවෙයි.”
source:bbc.com/sinhala