Wednesday, July 30, 2025
More
    Homeසෞඛ්‍ය හා ජීවිතයපොදු පිහිනුම් තටාක කොතරම් සෞඛ්‍ය සම්පන්න ද?

    පොදු පිහිනුම් තටාක කොතරම් සෞඛ්‍ය සම්පන්න ද?

    පරපෝෂිතයන්ගේ සිට බැක්ටීරියා රෝග කාරක දක්වා, ජලයේ පිහිනමින් සිටිය හැකි දෑ බොහෝමයකි. පිහිනීම යනු, මිනිසුන්ගේ ඉපැරණි විනෝදාංශයක් විය හැක. පැරණිතම පිහිනුම් තටාකයේ ඉතිහාසය ක්‍රි.පූ. 3000 දක්වා දිව යන අතර එය වාර්තා වන්නේ ඉන්දු නිම්නයෙනි.

    එයින් බොහෝ කලකට පසුව, 19 වන සියවසේදී, බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ පිහිනුම් තටාක දක්නට ලැබිණි. නමුත් ඒවා සමග සනීපාරක්ෂාව පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන අභියෝගය ද ඔවුන්ට පැන නැගිණි. වර්තමානයේ වුව ද පොදුවේ සහ සහ පෞද්ගලිකව භාවිත කෙරෙන පිහිනුම් තටාක නිසිපරිදි නඩත්තු නොකළහොත් ඒවා ආසාදනවලට මර්මස්ථාන බවට පත්වීමේ හැකියාව පවතී.

    බොහෝ දෙනෙකුට පිහිනීම ඉතා ප්‍රයෝජනවත් දෙයක් ලෙස සලකනු ලබයි – එය සම්පූර්ණ ශරීරයට ව්‍යායාමයක් සහ හෘද වාහිනී උත්තේජනයක් ලබා දෙන ක්‍රියාවක් වන අතර ම අස්ථි සහ සන්ධිවලට ඉන් එල්ල වන්නේ අඩු බලපෑමකි. කෙසේ වෙතත්, කලාතුරකින් පිහිනුම් තටාක ආමාශය ආශ්‍රිත රෝග හා ශ්වසන රෝග පැතිරීම සමග ද සම්බන්ධ වී තිබිය හැක. ඉතා හොඳින් නඩත්තු කරන පිහිනුම් තටාකවල පවා අපව ආරක්ෂා කිරීමට ක්ලෝරීන් වඩා වැඩි යමක් සිදු කරයි.

    මේ, පිහිනුම් තටාකයේ ජලයෙන් ඔබගේ ශරීරයට ඇතුළු විය හැකි දේ ගැන කළ සොයා බැලීමකි.

    කුමන බැක්ටීරියාවක් අපට පසෙකින් පිහිනයි ද?

    පසුගිය වසර 25ක කාලය තුලදී එංගලන්තයේ සහ වේල්සයේ ජලයෙන් බෝ වන බඩවැල් ආශ්‍රිත රෝග පැතිරීම සඳහා සාමාන්‍ය පසුබිම බවට පත්ව ඇත්තේ පිහිනුම් තටාකයි. ඊට ලොකු ම වගකිවයුත්තා වන්නේ ක්‍රිප්ටෝස්පොරිඩියම් (cryptosporidium) වේ.

    මෙම පරපෝෂිතයාට උදරය ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇති කළ හැකි අතර එය සති දෙකක් දක්වා පැවතිය හැකියි. එම කාලය තුලදී පුද්ගලයින්ට පාචනය, වමනය සහ උදර වේදනාව වැනි රෝග තත්වයන් ඇති වේ. මූලික රෝගී තත්ත්වය පහව ගිය පසු 40%ක් පමණ රෝග ලක්ෂණ නැවත ඇති විය හැක.

    නමුත් බොහෝ අවස්ථාවලදී නිරෝගී පුද්ගලයින් තුළ මෙම බඩවැල් ආශ්‍රිත රෝග (පාචනය සහ වමනයට හේතුකාරක වන) සාමාන්‍ය තත්ත්වයන් යටතේ පහව යන බව ලන්ඩන් නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ පාරිසරික සෞඛ්‍ය කණ්ඩායමේ සහකාර මහාචාර්ය ජැකී නී පවසයි. කෙසේ වෙතත් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සඳහා ඔවුන් විශාල කනස්සල්ලක් විය හැකි බව ඇය පවසයි.

    නී පවසන්නේ ආසාදිත පුද්ගලයෙකුගෙන් අහඹු ලෙස පිහිනුම් තටාකයක මලපහ පිටවීමකදී හෝ ඔවුන්ගේ ශරීරයේ අවශේෂ වූ මලපහ කොටස් පෙවීමෙන් පිහිනීමේ යෙදෙන පුද්ගල‍යින්ට ක්‍රිප්ටෝස්පොරිඩියම් ශරීරගත විය හැකි බවයි.

    “ඔවුන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරෙන අවස්ථාවලදී වුව ද, ඔවුන්ට තවදුරටත් (පරපෝෂිතයා) මුදා හැරිය හැකියි,” කැනඩාවේ ටොරොන්ටෝ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ වෘත්තීය සහ මහජන සෞඛ්‍ය පිළිබඳ පාසලේ සහකාර මහාචාර්ය ඉයන් යං පවසයි.

    පිහිනුම් තටාකයේ ජලය පෙවීමෙන් වැළකී සිටීම ඔබට කළ හැකි නමුත් පවතින සාක්ෂිවලින් පෙනී යන්නේ, ඇතැම් ඒවා අවසානයේ අපගේ ශරීරය තුළට ඇතුළු වී ඇති බවයි.

    Early swimming pools were mostly kept clean by refreshing the water regularlyමුල් කාලීන පිහිනුම් තටාක බොහෝ දුරට පිරිසිදුව තබා ගනු ලැබුවේ නිතිපතා ජලය නැවුම් කිරීමෙනි
    මුල් කාලීන පිහිනුම් තටාක බොහෝ දුරට පිරිසිදුව තබා ගනු ලැබුවේ නිතිපතා ජලය නැවුම් කිරීමෙනි

    2017 වසරේදී ඔහායෝහි පොදු පිහිනුම් තටාකයක පැයක පමණ කාලයක් පිහිනීමේ නිරත වූ වැඩිහිටියන් සහ දරුවන් ඇතුළුව පුද්ගලයින් 549 දෙනෙකුගේ රුධිර පරීක්ෂාවට ලක් කර අධ්‍යයනයක් සිදු කර තිබේ. එහිදී ආසන්න වශයෙන් වැඩිහිටියෙකුට පැයකදී ජලය මිලිලීටර් 21ක් පමණ පෙවී තිබූ අතර දරුවෙකුට පැයකදී මිලිලීටර් 49ක් පමණ පෙවී තිබිණි.

    ජලය ගිලෙන විට එම ජලයෙන් ආසාදන අවදානමක් ඇති වීමේ සම්භාවිතාව පිහිනුම් තටාකය කෙතරම් කාර්ය බහුල ද යන කාරණය මත පදනම්ව වෙනස් වේ. එක් අධ්‍යයනයකින් සොයා ගෙන ඇත්තේ, තටාකයක කාර්ය බහුල අවස්ථාවේදී පිහිනන විට ක්‍රිප්ටෝස්පොරිඩියම් ආසාදනය වීමේ අවස්ථාව ඉහළ බවයි. මෙම ජල සාම්පලවලින් තුනෙන් දෙකක් ම තටාකයේ කාර්යබහුල ම කාලවලදී, එනම් පාසල් නිවාඩු කාලය තුළ ලබා ගන්නා ලදී.

    2017 වසරේ ගිම්හානයේදී පර්යේෂකයන් සති 10කදී සතියකට වරක් බැගින් පිහිනුම් තටාක හයකින් ජලය පරීක්‍ෂා කළ අතර, පිහිනුම් තටාක සාම්පලවලින් 20%ක සහ අවම වශයෙන් එක් එක් තටාකයේදී එක් වරක් බැගින් හෝ ක්‍රිප්ටෝස්පොරිඩියම් හඳුනා ගෙන තිබේ.

    නමුත් සැලකිලිමත් විය යුතු එක ම දෙය ක්‍රිප්ටෝස්පොරිඩියම් පමණක් නොවන බව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පාසලේ මහාචාර්ය සහ ප්‍රධානියා වන ස්ටුවර්ට් ඛාන් පවසයි.

    ස්ටැෆිලොකොකස් (staphylococcus) වැනි බැක්ටීරියාවලින් ඇතිවන ආසාදන, සමට ආසාදනය විය හැකි බව ඔහු පවසන අතර මෙම රෝග කාරක උණුසුම් සහ තෙත සහිත පරිසරවල වැඩි කාලයක් නොනැසී පවතින බැවින් පිහිනුම් තටාක ආශ්‍රිතව ඇති ඇඳුම් මාරු කරන කාමරවලදී දිලීර ආසාදන වැළඳීමේ හැකියාවක් ඇති බව ඔහු පවසයි.

    පිහිනුම් තටාකවලදී වැළඳිය හැකි තවත් සුලභ බැක්ටීරියා ආසාදනයක් වන්නේ ‘swimmer’s ear’ නමැති තත්ත්වය බව ඛාන් පවසයි, එය බොහෝ වේලාවක් කන තුළ ජලය රැඳී තිබීම නිසා ඇති වන තත්ත්වයකි. කෙසේ වෙතත්, එය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීමක් සිදු නොවේ.

    ඛාන් පවසන්නේ ඇකන්තමීබා (acanthamoeba) නමැති පරපෝෂිත ඇමීබා කාණ්ඩය ජලයේ ජීවත් වන අතර ඔවුන්ට අක්ෂි ආසාදන ඇති කිරීමේ හැකියාව පවතින බවයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය ඉතා බරපතළ වන අතර පුද්ගලයෙකු අන්ධභාවයට පත්වීමට පවා එය හේතු විය හැකියි.

    ආශ්වාස කිරීම හරහා ද ආසාදන ඇති වීමේ හැකියාව පවතී. උදාහරණයක් ලෙස දැක්වුවහොත් පිහිනුම් තටාකවල ලීජනෙල්ලා (legionella) නමැති බැක්ටීරියාව ක්‍රියාකාරීව සිටිය හැක. වාත බුබුළු මගින් ආශ්වාස කරන විට පෙනහළු ආසාදනයක් වන ලීජනේස් (Legionnaires) රෝගයට හේතුවිය හැකියි.

    කෙසේ වෙතත්, පිහිනුම් තටාක භාවිතයේදී ආසාදන ඇති වුව ද ඒවා රෝග ලෙස පැතිරීම ඉතා දුර්ලභ ය. “පොදු භාවිතයේ පවතින පිහිනුම් තටාකවල ඇති ජලයෙන් බෝ වන රෝග බොහොමයක් පැතිර යන බවක් අපට පෙනෙන්නට නැහැ, එයින් අදහස් කරන්නේ එය ක්ලෝරීන් විෂබීජ නාශක සමග බොහෝ වේලාවක් ක්‍රියා කර ඇති බව සහ ඇතැම් අවස්ථාවල පැතිර යාමක් සිදුවන බවයි,” යං පවසයි.

    පිහිනුම් තටාක තුළ බැක්ටීරියා වෙසෙන්නේ කොහොම ද?

    1900 දශකයට පෙර පිහිනුම් තටාකවලට යෙදීම සඳහා රසායනික විෂබීජ නාශකයක් නොතිබිණි. ඇතැම් තටාකවල ජලය නිතර පෙරීමට හෝ මාරු කිරීමට ලක් කෙරුණු අතර ඇතැම් තටාකවල ජලය අපවහනය සඳහා පිහිනුම් තටාක බෑවුමක ස්වරූපයෙන් සකස් කර තිබූ අතර ඇතැම් ඒවායෙහි පෙනෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කාණු සකස් කර තිබිණි.

    “සාම්ප්‍රදායිකව ගත් කළ, පොදුවේ භාවිත කරන නාන ස්ථාන තිබුණේ ජලය ස්වභාවිකව නැවුම්බවින් යුක්ත වූ මුහුද හෝ, නැතහොත් ගංගාවක් වැනි මිරිදිය ජලය මූලාශ්‍රයක් ආශ්‍රිතව,” ඛාන් පවසයි.

    While swimming pools have occasionally been associated with disease outbreaks, wild swimming also carries risksතටාකවල පිහිනීම සමහර විට රෝග පැතිරවිය හැකි නමුත්, ස්වාභාවික ජලයේ පිහිනීම ද අවදානම් ඇත.
    ඇතැම් අවස්ථාවලදී පිහිනුම් තටාක රෝග පැතිරීම සඳහා සම්බන්ධ අතර, විවෘත ස්වභාවික ජල මූලාශ්‍ර ආශ්‍රිතව පිහිනීම ද අවදානම් ඇති කරයි

    එක්සත් ජනපදය තුළ පිහිනුම් තටාකයක් සඳහා පළමු වරට ක්ලෝරීන් භාවිත කර ඇත්තේ, 1903 වසරේදී රෝඩ් අයිලන්ඩ්හි පිහිටි බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකයකටයි. ඒ, එම රසායනිකය පානීය ජලය සඳහා විෂබීජ නාශකයක් ලෙස භාවිත කළ හැකි පරිදි සකස් කිරීමෙන් අනතුරුව බව විශ්වාස කෙරේ.

    කලාතුරකින් වාර්තා වන සිදුවීම්වලදී, කැම්පිලෝබැක්ටර්, ෂිගෙල්ලා සහ සැල්මොනෙල්ලා (Campylobacter, Shigella සහ Salmonella) ඇතුළු රෝග කාරක බැක්ටීරියා වර්ග පිහිනුම් තටාකවලින් හමු වේ. බොහෝ අවස්ථාවලදී මෙම බැක්ටීරියා වර්ග පාචනය සහ උදරාබාධ මෙන් ම උණ සහ ආමාශය ආශ්‍රිත රෝගවලට හේතු වේ. ඔවුන් බරපතළ සංකූලතා සඳහා ද හේතු විය හැක. වාසනාවකට ඒවායෙන් ඇති විය හැකි අවදානම් බොහොමයක් ක්ලෝරීන් මගින් අවම කර ඇති බව ඛාන් පෙන්වා දෙයි.

    පාචනය, ඔක්කාරය, වමනය සහ උදරයේ වේදනාව සහ තවත් රෝග ලක්ෂණ කිහිපයකට හේතු විය හැකි නොරෝ වෛරසය වැනි වෛරස, බොහෝ බැක්ටීරියාවලට වඩා සැලකිය යුතු ලෙස දැඩි බලපෑමක් එල්ල කර‍යි. ඒවා පිහිනුම් තටාක තුළ පැතිරී යාමේ සිදුවීම් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් එවැනි තත්ත්වයන් උපකරණ භාවිතයේ අසාර්ථකත්වය හෝ ක්ලෝරීන් මට්ටම ඉතා අඩු වීම වැනි හේතු සමඟ සම්බන්ධ වී පවතී. සාමාන්‍යයෙන් වෛරස ක්ලෝරීන් යෙදීමේදී හොඳින් විනාශ වී යන බව ඛාන් පවසයි.

    වෛරස් හා බැක්ටීරියා වලට එරෙහිව මෙම මට්ටමේ ආරක්ෂාව පවත්වා ගැනීමට නම් පිහිනුම් තටාකයක් හොඳින් පවත්වා ගෙන යා යුතු බව ඛාන් පවසයි. ක්ලෝරීන් යෙදීම ඵලදායී වීම සඳහා ජලය නිවැරදි pH අගයෙන් යුතු බව සහ ක්ෂාරීය බව (අම්ල උදාසීන කිරීමට) සහතික කිරීම ඊට ඇතුළත් වේ.

    එමෙන් ම, අවශ්‍ය ක්ලෝරීන් ප්‍රමාණය රඳා පවතින්නේ දෙන ලද කිසියම් වේලාවක කොපමණ පිරිසක් පිහිනුම් තටාකයේ සිටිනවා ද යන කාරණය මතයි. “ක්ලෝරීන් ඉල්ලුම වැඩි වන විට ඔබ ඒවා දැමීමට අවශ්‍යයි. එහි විද්‍යාවක් තිබෙනවා,” ඛාන් පවසයි.

    පොදු පිහිනුම් තටාක නඩත්තුව සම්බන්ධයෙන් රටවල් අතර පවතින රෙගුලාසි එකිනෙකට වෙනස් වේ. එක්සත් රාජධානිය තුළ ඒ සඳහා නිශ්චිත සෞඛ්‍ය සහ ආරක්ෂණ නීති නොමැත, එහෙත් මෙහෙයවන්නන් ඒවා සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ පනතට අනුකූලව පවත්වා ගෙන යා යුතුය. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පිහිනුම් තටාක ෆෙඩරල් සහ ප්‍රාන්ත මට්ටමින් නියාමනය කිරීමේ හැකියාව පවතී. ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන සතුව පිහිනුම් තටාක සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂණ සංග්‍රහයක් පවතින අතර, එය ස්වේච්ඡාවෙන් මෙහෙයවනු ලබයි.

    නමුත් නියමිත පරිදි නඩත්තු කරනු ලැබූ පිහිනුම් තටාකවල පවා, ක්‍රිප්ටෝස්පොරිඩියම් සාමාන්‍ය ක්ලෝරීන් මට්ටම සඳහා ප්‍රතිරෝධී ලෙස ක්‍රියාකරයි.

    “ක්‍රිප්ටෝස්පොරිඩියම් කියන පරපෝෂිතයා ක්ලෝරීන්වලට අතිශයින් ඔරොත්තු දෙනවා,” නී පවසයි. “අනෙකුත් බොහෝ රෝග කාරක වර්ග මිනිත්තු කිහිපයකින් විනාශ වෙලා යනවා, නමුත් ක්‍රිප්ටෝස්පොරිඩියම් ක්ලෝරීන් සාන්ද්‍රණයක් තුළ සාමාන්‍ය මට්ටමින් සතියකට වඩා වැඩි කාලයක් ජීවයෙන් සහ සක්‍රීයව සිටිනවා.”

    මෙයට හේතුව වන්නේ පරපෝෂිතයා ව්‍යුවහාත්මකව සකස් වී ඇති ආකාරයයි. “එය බීජාණු සෑදීමට යොමු වන අතර එහිදී එය දැඩිව ආවරණය වී පවතිනවා සේ ම බාහිරව ස්පර්ශ වන ඕනෑ ම දෙයක් වළක්වනවා, ඒ වගේ ම බොහෝ දේ සඳහා ප්‍රතිරෝධීව ක්‍රියා කරනවා,” ඛාන් පවසයි.

    තටාකයේ ඇති විශාල හා වඩා පැහැදිලි අනතුරුදායක අවස්ථාවලින් ආසාදනවලට ලක්වීමේ අවදානම ඉහළ තත්ත්වයක පැවතිය හැකි නමුත් වහා ම ප්‍රතිචාර දක්වන්නේ නම් මෙම අවදානම අවම කර ගත හැකි බව නී පවසයි. පිහිනුම් තටාක පවත්වා ගෙන යන පුද්ගලයින්ට කැටි ගැසීමේ ද්‍රව්‍යයක් භාවිත කිරීමට සහ ඔවුන් සතුව ක්ෂණික පෙරීම් සිදු නොකරන සුදුසු පෙරීමේ සැකසුම් පවතින්නේ නම් ඒවා මගින් පිහිනුම් තටාකයේ ජලය පෙරීමට හැකියාව පවතී. එලෙස නොමැති නම් සාමාන්‍ය ප්‍රමාණයට වඩා සැලකිය යුතු ක්ලෝරීන් ප්‍රමාණයක් එකතු කිරීමේ ක්‍රියාවලිය ‘සුපිරි ක්ලෝරීනකරණය’ කළ හැකි යැයි නී පවසයි. අනතුරුව සිදු කළ හැක්කේ ජලයට ක්ලෝරීන් විශාල ප්‍රමාණයක් එකතු කිරීම සහ එය දිගු කාලයක් තැබීමයි.

    To minimise the risk of infection, it's important that pools are well-maintained.ආසාදන අවදානම අවම කිරීම සඳහා, තටාක හොඳින් නඩත්තු කිරීම වැදගත් වේ.
    ,ආසාදන අවදානම අවම කිරීම සඳහා, තටාක හොඳින් නඩත්තු කිරීම වැදගත් වේ

    නමුත් මෙම සිදුවීම් ඉතා පැහැදිලිව දකින්නට තිබුණත්, එය දැවැන්ත සිදුවීමක් බවට පත් නොකර මිනිසුන්ට මලපහ ද්‍රව්‍ය අක්‍රීයව බැහැර කළ හැකි බව නී පවසයි.

    පිහිනුම් තටාකය තුළ වෙනත් අවදානම් තිබේ ද?

    ඔබ ඇඳුම් මාරු කරන ස්ථානයෙන් සහ පිහිනුම් තටාකයට පැමිණෙන විට ඔබට අහම්බයකින් මෙන් දැනෙන ක්ලෝරීන් ගන්ධය සැබෑ වශයෙන් ක්ලෝරීන්වල ගන්ධය නොවන බව දැන ගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි.

    “මෙම ගන්ධය දැනෙන්නේ ක්ලෝරීන් ජලයේ ඇති අනෙකුත් ද්‍රව්‍යවලට, විශේෂයෙන් ඒවා මුත්‍රා සහ දහදිය වැනි ඇමෝනියා සාන්ද්‍රණවලට ප්‍රතික්‍රියා කරන විටයි,” ඛාන් පවසයි. මෙම ඇමෝනියා ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියා කර ක්ලෝරමයින් සෑදීම සිදු කරයි. එය ගන්ධයක් ඇති කරයි.

    අනෙකුත් පරිසර තත්ත්වයන්වල පිහිනීම

    අනවශ්‍ය ආගන්තුකයින් රැසක් පිහිනුම් තටාක ආශ්‍රිතව සිටීම නිසා පිහිනීම සඳහා ස්වභාවික ස්ථානයක් තෝරා ගැනීම සඳහා සලකා බැලීමට ඔබව පෙළඹවීමක් කළ හැකියි. ඇතැම් විට එය වැවක, ගඟක හෝ මුහුදේ ස්නානය කරන ස්ථානයක් විය හැකිය. එහෙත් එම ස්ථානවල ද අප හොඳින් දන්නා ආසාදන අවදානමක් ඇත.

    ඇතැම් ජල පෝෂක ස්ථානවල අපද්‍රව්‍ය අඩංගු විය හැකි සේ ම ඇතැම් ඒවා සතුන්ගේ මලපහ මගින් දූෂිත වී තිබිය හැකිය.

    “ඉතිං, ගන්ධයෙන් වැටහෙන්නේ පිහිනුම් තටාකය තුළ ක්ලෝරීන් සමගඟ ප්‍රතික්‍රියා කරන ශරීර තරලයන් පැවතිය හැකි බව,” යැයි ඛාන් පවසයි.

    මෙම ක්ලෝරමයින් ජල මතුපිටට ඉහළින් පවතින අතර ඒවා ආශ්වාස කිරීමෙන් අපගේ උගුර සහ ඇස් දැවිල්ල ඇති කළ හැකි බව යං පවසයි. “දැවිල්ල සහ තටාකයේ ඇති ක්ලෝරීන්වල ගුණාත්මකභාවය අඩුවීමට හේතු වන රසායනික ද්‍රව්‍ය සෑම පුද්ගලයෙකුගේ ම සෞඛ්‍යය තත්ත්වයට බලපෑම් කළ හැකියි,” ඔහු පවසයි. “කෙටි නිරාවරණ වීමක් පවා ඔබට බලපෑම් එල්ල විය හැකියි”

    කුඩා පර්යේෂණ කණ්ඩායමක් යෝජනා කර ඇත්තේ පිහිනීම උගන්වන ගුරුවරුන් සහ ජීවිතාරක්ෂකයින් වැනි එදිනෙදා ජීවිතයේදී ක්ලෝරමයින් සඳහා අඛණ්ඩව නිරාවරණය වන පුද්ගලයින් තුල ඇදුම වැනි රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානම ඉහළ බවයි.

    පිහිනීමේ නිරත වන අවස්ථාවකදී ඔබට පවතින අවදානම අවම කර ගැනීමට කළ යුත්තේ කුමක් ද?

    පිහිනුම් තටාකයට ඇතුළු වීමට පෙර සෑම කෙනෙකු ම ස්නානය කිරීමට වගබලා ගැනීමෙන් ජලය මතුපිටට ඉහළින් ක්ලෝරමයින් නිර්මාණය වීමේ අවදානම අඩු කළ හැකි බව යොන්ග් පවසයි, එය මලඅපද්‍රව්‍ය ගැටලු ඉවත් කිරීමට උපකාරී වෙයි. ස්නානය කිරීම රෝග පැතිරීම මෙන් ම ආසාදන අවදානම අවම කිරීම සඳහා ද උපකාරී විය හැකි බව නී පවසයි.

    පිහිනුම් තටාකයකය ආශ්‍රිතව හොඳ වාතාශ්‍රයක් පැවතීමේ වැදගත්කම ද යොන්ග් අවධාරණය කරයි.

    Busy pools must be monitored particularly carefully, to prevent the water becoming contaminatedජලය දූෂිත වීම වැළැක්වීම සඳහා කාර්යබහුල තටාක විශේෂයෙන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ යුතුය.
    ජලය දූෂණය වීම වැළැක්වීම සඳහා කාර්යබහුල තටාක විශේෂයෙන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ යුතු ය

    පිහිනුම් තටාක භාවිතයේදී ආසාදනවලට ලක්වීමෙන් වැළකී සිටීම සඳහා අනුගමනය කළ යුතු අනෙකුත් වැදගත් මාර්ග වන්නේ තටාකයේ පවතින ජලය ගිලීමෙන් වැළකී සිටීමයි, නී පවසයි. පාචනය ඇති කරන රෝග කාරක සම්ප්‍රේෂණය වන්නේ අසූචි මගින් දූෂිත වී ඇති ජලය ශරීරගත වීමෙනි

    පිහිනුම් තටාක දූෂිත විය හැකි සිදුවීමකදී ඒ පිළිබඳව කඩිනමින් ඒවා පවත්වා ගෙන යනු ලබන පුද්ගලයින් දැනුවත් කිරීම සහ වහා ම තටාකයෙන් පිටතට පැමිණීම වැදගත් බව නී පවසයි.

    නිතිපතා ජලය බැසයා ම සහ පිරිසිදු ජලය පිරවීම, ක්ලෝරීන් සහ pH අගය යම් යම් පරාසයන් තුළ පවත්වා ගැනීම මෙන් ම සෙවල ඉවත් කිරීම සඳහා පිහිනුම් තටාක මතුපිට පොළව හොඳින් ඇතිල්ලීම මගින් ආසාදන අවදානම අඩු කළ හැකි බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පිහිනුම් තටාක පවත්වා ගෙන යන පිරිස් වෙත යෝජනා කරයි.

    පිහිනීමේ නිරත වීම මගින් හිමිවන සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ ආසාදන ඇතිවීමේ අවදානමට වඩා වැඩි බවට නී සහ ඛාන් යන දෙදෙනා ම එකඟ වෙති.

    “නිසි පරිදි නඩත්තු කරන, නිසි ලෙස තත්ත්වය පවත්වා ගෙන යන පිහිනුම් තටාක සහ දූෂිත සිදුවීමක් ඇති විට ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් ක්‍රියාකරුවන් සිටින විට බෝ වන රෝග අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍යයට ඇත්තේ අවම අවදානමක්,” නී පවසයි.

    ඉතිං, මෙම ග්‍රීෂ්ම ඍතුවේදී පිහිනුම් තටාකයකට බැසීමට බොහෝ හේතු තිබිය හැකියි. නමුත් ඊට පෙර ස්නානය කිරීමට වග බලා ගන්න.

    source:bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments