Wednesday, January 22, 2025
More
    Homeක්‍රීඩාචිලව් මේරියන්ස්ට ශූරතා දිනාගත හැකි කණ්ඩායමක් වීම ගැන සතුටුයි –  කවීෂා දිල්හාරි

    චිලව් මේරියන්ස්ට ශූරතා දිනාගත හැකි කණ්ඩායමක් වීම ගැන සතුටුයි –  කවීෂා දිල්හාරි

    චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ප්‍රධානම කාන්තා ක්‍රිකට් ශූරතාවක් දිනා ගැනීමට අවස්ථාව උදා වුයේ තරුණ ක්‍රීඩිකාවන් රැසක්ම දැක් වු විශේෂ කුසලතාවන් සහ චිලව් මේරියන්ස් සමාජයේ පරිපාලකයන්ගේ සහයෝගය මත යැයි කණ්ඩායමේ නායිකාව සහ අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණු කවීෂා දිල්හාරි ප්‍රකාශ කරයි.

     ක්‍රීඩිකාවනට පුහුණුව ලැබීමට සහ ක්‍රීඩා කිරීමට උසස්ම තත්ත්වයේ තණතිලි ඇතුළු අනෙකුත් සියලු පහසුකම් චිලව් මේරියන්ස් සභාපති ගොඩ්ෆ්‍රී දාබරේරා ඇතුළු නිලධාරී මණ්ඩලය නිරතුරුවම සපයන බව පවසන කණ්ඩායම් නායිකාව කවීෂා දිල්හාරි ක්‍රීඩිකාවනට රැකියා අවස්ථාවන් සැපයීමට ද පරිපාලකයන් මේ වන විට කටයුතු යොදා ගෙන යන බව ද ප්‍රකාශ කළාය.

     මේ තරගාවලියේ අවසාන තරගය ඇතුළු තරග රැසකින්ම පහසු ජයග්‍රහණ අත්කර ගැනීමට තම කණ්ඩායම සමත් වු බව කී චිලව් මේරියන්ස් නායිකාව තරගාවලියට ඉදිරිපත්ව සිටි අනෙක් ප්‍රබලම කණ්ඩායම් දෙක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව තම කණ්ඩායම විසින් අවසාන පූර්ව තරගයේ දී සහ අවසාන තරගයේ දී පරාජයට පත් කළේ පහසුම ආකාරයකින් බව ද පැවසුවාය.

     වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අංක හතර පිතිකාරිණිය ලෙස කටයුතු කරන 23 හැවිරිදි කවීෂා දිල්හාරි දකුණතින් පන්දුවට පහර දෙන දකුණතින් පිට දඟපන්දු යවන තුන් ඉරියව්වේම දක්ෂතා දක්වන ක්‍රීඩිකාවකි. රත්ගම දේව පතිරාජ විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඇය පාසල් වියෙහි දී පන්නිපිටිය ධර්මපාල විදුහල සමඟ 2018 වසරේ දී නොදැවී රැස් කළ ලකුණු 353 මෙරට බාලිකා පාසල් වාර්තාවකි.

     ශ්‍රී ලංකාවේ පැවැති පසුගිය ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ අවසාන තරගයේ දී ප්‍රබල ඉන්දියාව සමඟ තරගවදිද්දී ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ලකුණ අත්කර දුන්නේ දර්ශණීය වු හයේ පහරකිනි.

     දෙස් විදෙස් රටවල් රැසකදීම කවීෂා දිල්හාරි තරගාවලි සහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මාන රැසක්ම දිනා සිටී. 2023 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ සංචාරය එම වසරේම ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය අබුඩාබිහි පැවැති පසුගිය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ විස්සයි 20 තරගාවලිය ඇතුළු තරගාවලියන් රැසක දක්ෂම ක්‍රීඩිකාව වු කවීෂා දිල්හාරි 2023 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවැනි තරගයේ දක්ෂම ක්‍රීඩිකාව ද වුවාය.

     පාසල් වියෙහි දී වසර හතරක්ම ඩයලොග් සමාගම අනුග්‍රහය දැක් වු පාසල් ක්‍රිකට් සම්මාන උලෙළ කිහිපයේදීම දක්ෂතම පිතිකාරිණිය දක්ෂතම පන්දු යවන්නිය හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකා සම්මානය දිනා ඇති බව ද ඇය පවසයි.

     ආරාධිත කාන්තා ප්‍රධාන එක්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියන් වැනි තරගාවලි වාර්ෂිකව පැවැත්වීමෙන් දක්ෂතා ඇති යෞවන ක්‍රිකට් ක්‍රීඩිකාවනට තම දක්ෂතා දැක්වීමට අවස්ථාව උදා වන බව පවසන කවීෂා දිල්හාරි මේ තරගාවලිය සාර්ථකව පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වන බව ද පැවසුවාය.

    source; sri lanka cricket.lk

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments