Tuesday, July 1, 2025
More
    Homeසෞඛ්‍ය හා ජීවිතයහෘදයාබාධ සහ ආඝාතයෙන් මිදීමට "ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවුරුදු 25 වන විට පරීක්ෂා...

    හෘදයාබාධ සහ ආඝාතයෙන් මිදීමට “ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවුරුදු 25 වන විට පරීක්ෂා කර ගන්න”

    සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහා වයස අවුරුදු 25 වන විට කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කළ යුතු බව පර්යේෂකයින් කණ්ඩායමක් පෙන්වා දී තිබේ.

    පර්යේෂකයින් පවසන්නේ, හෘද රෝග හා ආඝාතයට ගොදුරු වීමෙන් ඇති වන ජීවිත අවදානම ගණනය කිරීම සඳහා එලෙස කොලෙස්ටරෝල් පරීක්ෂා කිරීම වැදගත් වන බවය.

    The Lancet සගරාවේ පළ කර ඇති මෙම පර්යේෂණය, දශක ගණනාවක් තිස්සේ “නරක” කොලෙස්ටරෝල් උවමනාවට වඩා ශරීරගතව තිබීම නිසා ඇති වන දිගු කාලීන සෞඛ්‍ය අවදානම් පිළිබඳව සොයා බැලීමට සිදු කළ වඩාත් ම පුළුල් පරීක්ෂණය ලෙස සැලකේ.

    පර්යේෂකයින් පවසන්නේ, ආහාර ගැනීම වෙනස් කිරීම හා ඖෂධ භාවිතයෙන් කොලෙස්ටරෝල් අවම කිරීමට පියවර ගැනීම ඉක්මන් වන තරමට ප්‍රතිඵල වඩා යහපත් වන බවය.

    කොලෙස්ටරෝල් යනු මොනවා ද?

    "ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවුරුදු 25 වන විට පරීක්ෂා කර ගන්න"

    කොලෙස්ටරෝල් යනු මේදමය ද්‍රව්‍යයක් වන අතර එය ලිපිඩයකි. ඒවා ඇතැම් ආහාරවල ඇතුළත් වන අතර අක්මාව තුළ ද නිපදවෙයි.

    ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන මෙන් ම විටමින් ඩී සහ වෙනත් සංයෝග සෑදීම සඳහා ඒවා ශරීරයට අවශ්‍ය වේ.

    කොලෙස්ටරෝල් වර්ග දෙකක් පවතී:

    • අධි – ඝනත්ව ලයිපොප්‍රෝටීන් හෙවත් HDL (High-density lipoprotein) නමැති “හිතකර” කොලෙස්ටරෝල් වර්ගය ශරීරය නිරෝගීව තබා ගැනීමට උපකාර වේ.
    • අඩු – ඝනත්ව ලයිපොප්‍රෝටීන් හෙවත් LDL (Low-density lipoprotein) නමැති “අහිතකර” කොලෙස්ටරෝල් වර්ගය මගින් ධමනි අවහිර වේ.

    පර්යේෂකයින් සොයා ගත්තේ කුමක් ද?

    පර්යේෂණ කණ්ඩායම රටවල් 19 ක පුද්ගලයන් 400,000 කට ආසන්න සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කළ අතර “නරක – කොලෙස්ටරෝල්” මට්ටම සහ වැඩිහිටි වියේ මුල් කාලයේ සිට ඉදිරි අවුරුදු 40 හෝ ඊට වැඩි කාලය තුළ හෘද රෝග ඇති වීමේ අවදානම අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ඇතැයි සොයා ගත්හ.

    "ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවුරුදු 25 වන විට පරීක්ෂා කර ගන්න"

    වයස අවුරුදු 35 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, නරක – කොලෙස්ටරෝල් මට්ටම, වයස සහ අවදානම් සාධක වන දුම්පානය, දියවැඩියාව, උස – බර සහ රුධිර පීඩනය ආදිය පරීක්ෂා කිරීමෙන් ඔවුන්ට හෘදයාබාධ හෝ ආඝාතය ඇති වීමේ සම්භාවිතාව තක්සේරු කිරීමට ද පර්යේෂකයින්ට හැකි විය.

    මෙම පර්යේෂණ කෘතියේ සම කර්තෘ හැම්බර්ග් විශ්වවිද්‍යාල හෘද මධ්‍යස්ථානයේ මහාචාර්ය ස්ටෙෆාන් බ්ලැන්කන්බර්ග් පැවසුවේ, “පුද්ගලයෙකුට ලිපිඩ අඩු කිරීමේ ප්‍රතිකාරයක් තිබිය යුතු ද යන්න තීරණය කිරීමට සායනයේ දැනට භාවිත කෙරෙන අවදානම් ලකුණු මට්ටම මගින් අවදානම තක්සේරු කරන්නේ, වසර 10 කට විතරයි. ඒකෙන් ජීවිත කාලය තුළ ඇති අවදානම අවතක්සේරු වෙන්න පුළුවන්. විශේෂයෙන් ම යෞවනයන් සම්බන්ධයෙන්.”

    ක්‍රියාකාරී ජීවන රටාවක් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර මගින් ද කොලෙස්ටරෝල් අඩු කර ගත හැකිය.

    කොලෙස්ටරෝල් පාලනය කරන ඖෂධ වයස අවුරුදු 30දී ගත යුතු ද?

    අනිවාර්ය නොවේ. ඉහළ කොලෙස්ටරෝල් මට්ටමක් ඇති ඕනෑ ම වැඩිහිටියෙකු ඖෂධ ලබා ගත යුතු යැයි මෙම පර්යේෂකයෝ නිර්දේශ නොකරති.

    මහාචාර්ය බ්ලැකන්බර්ග් බීබීසී පුවත් සේවයට පැවසුවේ, “යෞවනයන් ඔවුන්ගේ කොලෙස්ටරෝල් මට්ටම දැනගෙන එහි ප්‍රතිඵලය පිළිබඳව දැනුවත් තීරණයක් ගත යුතු යැයි මම නිර්දේශ කරනවා. එහිදී ඖෂධ භාවිත කිරීම ගැනත් ඔවුන්ට තීරණයක් ගත හැකියි.”

    කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු නොවී මිනිසුන් ඖෂධ මත යැපෙන අන්තරායක් පවතින බවත්, එම ඖෂධවලින් සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵල ලැබුණ ද, දශක ගණනාවක් තිස්සේ ඒවා ගැනීමෙන් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳව මෙතෙක් අධ්‍යයනයක් සිදු කර නොමැති බවත් ඔහු පැවසීය.

    "ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවුරුදු 25 වන විට පරීක්ෂා කර ගන්න"

    බ්‍රිතාන්‍යයේ British Heart Foundation ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය ශ්‍රීමත් නිලේෂ් සමානි පැවසුවේ, “හෘදයාබාධ සහ ආඝාතය සදහා බලපාන ප්‍රධානතම සාධකය කොලෙස්ටරෝල් බව මෙම පර්යේෂණය මගින් යළිත් තහවුරු වූ,” බවය.

    “සමහර පුද්ගලයින්ට, කොලෙස්ටරෝල් අඩු කිරීමට මුල් අවධියේදී පියවර ගැනීමෙන්, මෙම රෝගවලින් ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම ඇති අවදානම අවම කර ගැනීම සඳහා සැලකිය යුතු මග පෙන්වීමක් මෙම පර්යේෂණය තුළින් ලැබෙනවා.”

    source:bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments