Monday, October 13, 2025
More
    Homeකාලීන පුවත්දුම්රියේ 'පිරිමින්ට පමණයි' රැකියාවලට එරෙහිව 'කතුන් දෙදෙනෙකුගෙන්' මූලික අයිතිවාසිකම් පෙත්සම්

    දුම්රියේ ‘පිරිමින්ට පමණයි’ රැකියාවලට එරෙහිව ‘කතුන් දෙදෙනෙකුගෙන්’ මූලික අයිතිවාසිකම් පෙත්සම්

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 11) අවසර ලබා දුන්නේ ය.

    මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ ය.

    මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා ය.

    කරුණු දැක්වීම්

    පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ජූනි මස 13 වන දා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබූ බව සඳහන් කළේ ය.

    එම ගැසට් නිවේදනයේ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වෙනත් සුදුසුකම් යටතේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයැදුම් කළ හැකි බවට දක්වා තිබූ බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

    එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දුන් නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12 (1) සහ 12 (2) ව්‍යවස්ථා යටතේ පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතිය උල්ලංඝණය වන බව අවධාරණය කළේ ය.

    එමෙන් ම, තමන් කැමති රැකියාවක් කිරීමට තිබෙන මූලික අයිතිය ද මෙම ගැසට් නිවේදනය තුළින් උල්ලංඝණය වන බව නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    ‘මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වනවා’

    මේ තුළින් සිය සේවාදායකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ ගැසට් නිවේදනයේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයැදුම් කළ හැකි බවට සඳහන් කොටස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ ගැසට් නිවේදනය තුළින් පෙත්සම්කාරියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ දැයි සොයා බැලීම සඳහා විභාගයක් පැවැත්වීමට තීරණය කළේ ය.

    ඒ අනුව මෙම පෙත්සම අගෝස්තු මස 27 වන දා විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළේ ය.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් රැකියා පිරිමින්ට පමණක් විවෘතව පැවතීම සම්බන්ධයෙන් 2025 ජූලි 01 වන දා බීබීසී සිංහල සේවය ලිපියක් පළ කළේ ය.

    source: bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments