නිරෝගීව සිටීමට අප සියලු දෙනා කැමතිය. එහෙත් අද වන විට පවතින තරගකාරී සමාජයත් සමග අපට එදිනෙදා හමුවන බොහෝ දෙනෙකු පිඩාවට පත්ව සිටින රෝගයක් වන්නේ හිසරදරයයි.
‘හිසරදය’ සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැකි රෝගයක් වුවත්, ඇතැම් පුද්ගලයින්ට සෑදෙන මිග්‍රේන් නොහොත් ‘ඉරුවාරදය’ නමැති රෝගී තත්ත්වයෙන් ඔවුන් දැඩි ලෙස පීඩාවකට පත්වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස්. ගුණරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ලෝකයේ බිලියනයකට අධික ජනතාවකට බලපාන රෝගී තත්ත්වයක් ලෙස ‘මිග්‍රේන්’ නොහොත් ‘ඉරුවාරදය’ හඳුනා ගෙන ඇති බව ය.
මොකක්ද මේ මිග්‍රේන් (ඉරුවාරදය) කියන්නේ?
මිග්‍රේන් (ඉරුවාරදය), බොහෝවිට ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම වැනි රෝග ලක්ෂණ සමග හටගන්නා තද හිසරදයක් ලෙස හැඳින්විය හැකි බව ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස්. ගුණරත්න පවසයි.
මෙම රෝගී තත්ත්වය ස්නායු රෝගයක් ලෙස සලකන අතර ඇතැම් හිසරදයෙන් පෙලෙන රෝගීන්ට වෙනත් රෝගයක පෙර නිමිත්තක් ලෙස ද මෙම හිසරදය ඇතිවනවාදැයි සොයා බැලීම වෛද්‍යවරුන් විසින් සිදුකරන බව ඇය පැහැදිලි කළාය.
“සාමාන්‍යයෙන් හිසරදයෙන් පෙළෙනවා කියලා රෝගියෙක් කිව්වම වෛද්‍යවරයෙක් සලකා බලන කරුණු කිහිපයක් තියෙනවා. එකක් මේ තත්ත්වය සාමාන්‍යය හේතු නිසා ඇතිවුණ එකක් ද, එහෙමත් නැත්නම් මොළයේ සැරව ගෙඩියක් එහෙමත් නැත්නම් වෙනත් රෝගී තත්ත්වයක් නිසා ඇතිවුණ එකක් ද කියලා.”
”නමුත් රෝගියාගේ රෝග ලක්ෂණ එක්ක වෛද්‍යවරුන්ට නිගමනය කරන්න පුළුවන් මේක සාමාන්‍ය හිසරදයක් ද නැත්නම් වෙනත් බාහිර රෝගී තත්ත්වයක ලක්ෂණයක් ද කියලා.”
”අද වෙද්දී අපිට වාර්තා වෙන ගොඩක් රෝගීන්ට තියෙන්නේ ‘ටෙන්ෂන් හෙඩේක්’ එහෙමත් නැත්නම් ආතතිය එක්ක ඇතිවෙන හිසරදය වගේ ම මිග්‍රේන් තත්ත්වය. මිග්‍රේන් තත්ත්වයට මුහුණ දෙන බහුතරයක් දෙනා කාන්තාවන්.”
”ඉරුවාරද තත්ත්වය සාමාන්‍යයෙන් පැය 4 සිට පැය 72ක් දක්වා පවතින්න පුළුවන්. ඇතැම් අවස්ථා වල දී එයට වඩා වැඩි කාලයක් පවතින අවස්ථා ද තියෙනවා. ඕනෑම වයසක පසුවන්නෙකුට ඉරුවාරදය වැළඳීම සුලබ වුව ද මැදිවයසේ කාන්තාවන් අතර ඉරුවාරදය බහුලව දකින්න පුළුවන්.” විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
මිග්‍රේන් තත්ත්වය ඇතිවීමට හේතු මොනවා ද?
ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස්. ගුණරත්න සඳහන් කරන පරිදි මිග්‍රේන් (ඉරුවාරදය) තත්ත්වය ඇතිවීමට හේතු කිහිපයක් තිබේ. බොහෝ අවස්ථාවලදී අපගේ එදිනෙදා චර්යාවන්, ආහාර රටාවන් ද මීට හේතුවක් වන බව ඇය පවසයි.
“විශේෂයෙන් මානසික ආතතිය තියෙන කෙනෙක් මිග්‍රේන් තත්ත්වයට මුහුණ දෙනවා. ඒ පුද්ගලයාගේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක මේක ලේසියෙන් ඇතිවෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්.”
”ඒ වගේම එක දිගට හොඳ නින්දක් නොලබන අයට, අධික තෙහෙට්ටුව, ජලය පානය නොකරන විට, කෝපි, චොකලට්, චීස් වර්ග වගේ සමහර ආහාර භාවිත කරන කොට මිග්‍රේන් තත්ත්වය ඇතිවෙනවා.”
”ඒ වගේම කාන්තාවන්ට තමන්ගේ මාසික ඔසප්වීමත් එක්ක මේ මිග්‍රේන් තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. දේශගුණික තත්ත්වය බලපාන අවස්ථාවන් එහෙමත් සමහර අවස්ථාවලදී අපි නිරීක්ෂණය කරලා තියෙනවා රෝගීන් එක්ක කතා කරන කොට.” ඇය කියා සිටියාය.
එමෙන්ම විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ මිග්‍රේන් තත්ත්වය ඇතිවීමට පෙර ඇතැම් රෝගීන්ට ඒ පිළිබඳව සංඥා කරන රෝග ලක්ෂණ ද දක්නට ලැබෙන බවයි.
“අපි මේකට කියන්නේ ‘Migraine with Aura’ කියලා. ඒ කියන්නේ මිග්ග්‍රේන් තත්ත්වය ඇතිවෙන්න කලින් ඒ රෝගියාට යම් සංඥාවක් ලැබෙනවා. සමහර වෙලාවට ඇස් දෙකට නිකම් නිවී නිවී යන ආලෝක ධාරාවන් වගේ පේන්න පුළුවන්, සමහර රෝගීන්ට පෙනීම දුර්වල වෙනවා තාවකාලිකව. මේ වගේ තත්ත්වය සාමාන්‍යයෙන් මිනිත්තු 15 ඉඳලා පැයක් වගේ කාලයක් තියෙන්න පුළුවන්.” ඇය පවසයි.
මිග්ග්‍රේන් වළක්වා ගැනීමට දෛනිකව අනුගමනය කළ හැකි පුරුදු
මිග්‍රේන් තත්ත්වයට මුහුණ දෙන පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සමග සිය දෛනික චර්යාවන්වල සිදුකරන වෙනස්කම් එම තත්ත්වයෙන් මිදීමට උපකාරී වන බව ද ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස්. ගුණරත්න පැහැදිලි කළාය.
ඇය පැවසුවේ මිග්‍රේන් රෝගී තත්ත්වයට මුහුණ දෙන සෑම රෝගියෙකුම හිසරදය පැමිණෙන විට එය දිනපොතක ලකුණු කිරීම ඉතා වැදගත් බව ය. එවිට එම තත්වය ඇතිවන වාර ගණන ලකුණු කරන විට ක්‍රමයෙන් වෛද්‍ය ප්‍රතිකාර සමග හිසරදය ඇතිවුණු වාර ගාන අඩුවීමත් සමග එහි බරපතළකම අඩුවීම නිරීක්ෂණය කළ හැකි බව ද ඇය පැවසුවාය.
01. දෛනිකව හොඳ නින්දක් ලබා ගැනීම
ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස්. ගුණරත්න සඳහන් කළේ අද සමාජයේ බොහෝ දෙනා ප්‍රමාණවත් ආකාරයෙන් නින්දක් නොලැබීම මිග්‍රේන් රෝගී තත්ත්වයට හේතුවක් වන බැවින් පුද්ගලයෙකු අවම වශයෙන් පැය 08ක නින්දක් ලබා ගත යුතු බව යි.
“ගොඩක් අය රෑ 1-2 වෙනකම් ඇහැරගෙන ඉන්නවා. මේක සෞඛ්‍යට හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා දිනපතා පැය 08ක් වගේ නින්දක් ලබන එක හොඳයි. විශේෂයෙන් මිග්‍රේන් රෝගී තත්ත්වය තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම පැය 08ක කාලයක් නිදා ගැනීම ඉතා ම වැදගත්.” ඇය කියා සිටියාය.

02. හොඳින් ජලය පානය කරන්න
ශරීරය විජලන තත්ත්වයට පත්වීම තුළින් ද මිග්‍රේන් තත්ත්වය ඇතිවන බැවින් හැකි තරම් ජලය පානය කිරීම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු හොඳ සෞඛ්‍ය පුරුද්දක් බව විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
03. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්
උදෑසන ආහාර වේල මග හැරීම මිග්‍රේන් රෝගයෙන් පීඩා විදින පුද්ගලයෙකු සිදුනොකළ යුතු දෙයක් බව ද ස්නායු විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න සඳහන් කළාය.
“මිග්‍රේන් තියෙන අය නොකළ යුතු ම දෙයක් තමයි උදේ ආහාර වේල නොගෙන ඉන්න එක. මොකද උදේ ආහාරය අර ගත්තේ නැති වුනා ම මිග්‍රේන් රෝගී තත්ත්වය ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න පුරුදු වෙන එක ඉතා ම වැදගත්.” ඇය පැවසුවාය.
04. ආතතියට පත්වෙන එක අඩු කරන්න
කාර්යබහුල වටපිටාව සමග බොහෝ දෙනෙකු ආතතියට පත්වන බව ත්, මිග්‍රේන් රෝගී තත්ත්වයෙන් පෙලෙන පුද්ගලයින් සිය මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ත් විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
“ඔෆිස් එකේ වැඩ නිසා වෙන්න පුළුවන්, ගෙදර වැඩ නිසා වෙන්න පුළුවන්. අද ගොඩක් දෙනා කාර්යබහුලයි. මේ නිසා හෙට දවස ගැන කලින් ඉඳලම සැලසුම් කරලා තියෙන එක වැදගත්. මොකද ගොඩක් දෙනෙක් හිතේ එක එක දේවල් ගැන ප්ලෑන් කරනවා, හැබැයි ඒක කරන්න වෙලාවක් හොයා ගන්න බැහැ ඒ දවසට තියෙන වැඩ එක්ක. එතකොට ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් වුනා ම මිග්ග්‍රේන් තත්ත්වයට එනවා. මේ නිසයි වෛද්‍යවරුන් කියන්නේ දවසේ වැඩ ගැන කල් තියලා සැලසුම් කළා ම ඔය තත්ත්වය නැහැ. ඊට අමතරව ස්ට්‍රෙස් ලෙවල් එක මේන්ටේන් කරන්න පුළුවන් දේවල් වලට යොමු වෙන්න. ව්‍යායාම් කරන එකත් හොද දෙයක්.” ඇය පැහැදිළි කළාය.
05. කැෆේන් අඩංගු පාන බොන්න එපා. චීස්, චොක්ලට් කන්න එපා.
මිග්‍රේන් රෝගයට මුහුණ දෙන පුද්ගලයින්ගේ රෝගී තත්ත්වයට හේතුවන ආහාර පාන වර්ග වලින් වැළකී සිටීමට පුරුදු විය යුතු බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
“උදාහරණයක් විදිහට කැෆේන් අඩංගු පාන වර්ග, චීස්, චොක්ලට්, පිටි සහ තෙල් අධික ආහාර වලින් සම්පුර්ණයෙන්ම ඈත් වෙන එක හොදයි” වෛද්‍යවරිය පැවසුවාය.
එමෙන්ම ඇය පෙන්වා දුන්නේ මිග්‍රේන් තත්ත්වයට මුහුණ දෙන රෝගීන් තමන්ට දෛනිකව එම තත්ත්වයෙන් වැළකී සිටීමට යැයි පවසා වෛද්‍යවරුන් නිර්දේශ කරන වේදනා නාශක ඖෂධ භාවිතා කිරීමට පෙළඹීම සිදුනොකළ යුතු දෙයක් බව යි.
දිගින් දිගට ම එම ඖෂධ භාවිත කිරීම නිසා පසු කලක එම ඖෂධ රෝගියාට ප්‍රතිචාර නොදැක්වීමට ඇති ඉඩකඩ වැඩි බව විශේෂඥ ස්නායු වෛද්‍ය පද්මා එස්. ගුණරත්න පවසයි.
source;https://www.bbc.com/sinhala/articles/c237xmen7yno


