Monday, October 13, 2025
More
    Homeළමා ලෝකයඅවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ

    අවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ

    එංගලන්තයේ වෙසෙන අවුරුදු 16ට අඩු දරුවන්ට රෙඩ් බුල්, මොන්ස්ටර් සහ ප්‍රයිම් වැනි ශක්තිජනක පාන වර්ග වෙළෙඳසැල්, අවන්හල්, කැෆේ, විකුණුම් යන්ත්‍ර සහ අන්තර්ජාලය හරහා මිල දී ගැනීම නතර කිරීම සඳහා රජය නව නීතියක් සැලසුම් කරමින් සිටියි.

    බොහෝ සුපිරි වෙළෙඳසැල් දැනටමත් ස්වේච්ඡාවෙන් ම එම නිෂ්පාදන අලෙවිය තහනම් කිරීමට පියවර ගෙන තිබුණ ද, එක්සත් රාජධානියේ වෙසෙන ළමුන්ගෙන් තුනෙන් එකක් පමණ සතිපතා මෙම බීම වර්ග පානය කරන බවට විශ්වාස කරයි.

    ඇතැම් ජනප්‍රිය බීම වර්ගවල කෝපි කෝප්ප දෙකකට වඩා කැෆීන් අඩංගු වේ. එම නිෂ්පාදන ප්‍රමාණය ඉක්මවා පානය කිරීම හිසරදයට මෙන් ම නින්ද සඳහා බාධා එල්ල වීමට ද හේතු විය හැකි ය.

    මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මව්පියන්, ගුරුවරුන් සහ දරුවන් රජයෙන් ඉල්ලා සිටි බව BBC Radio 4හි Today වැඩසටහන සමග එක්වෙමින් සෞඛ්‍ය හා සමාජ සත්කාර ලේකම් වෙස් ස්ට්‍රීටිං පැවසුවේ ය.

    “ඒවා සෞඛ්‍යයට, මනසට සහ ඉගෙනීමට බලපාන බව ඔබට පෙනෙනවා ඇති. ඒකයි අපි යමක් කරන්නේ,” ඔහු BBC Breakfast වෙත පැවසීය.

    කැෆීන් අධික ලෙස පරිභෝජනය ඔබේ හදවත වේගයෙන් හෝ අක්‍රමවත් ලෙස ස්පන්දනය වීමට හේතු විය හැකි ය.

    එවැනි තත්ත්වයන් දුර්ලභ වුව ද, කැෆීන් අධික ලෙස පරිභෝජනය ඇතැම් මරණවලට හේතු වී තිබේ.

    මෙම බීම වර්ගවල පවතින පැණි රසය දත්වලට හානි කළ හැකි අතර තරබාරුකමට ද හේතු විය හැකි බව එක්සත් රාජධානියේ පෝෂණවේදීන්ගේ සංගමය පවසයි.

    සෞඛ්‍ය සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් මෙන් ම මහජනතාව, සිල්ලර වෙළෙන්දන්ගෙන් සහ දැනටමත් බීම තහනම් කර ඇති නිෂ්පාදකයින්ගෙන් ඒ පිළිබඳ තොරතුරු රැස්කිරීම සඳහා සති 12ක සමාලෝචනයක් ක්‍රියාත්මක වේ.

    තහනම ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් දිනයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ස්ට්‍රීටිං පැවසුවේ කම්කරු පක්ෂය මීට පෙර පොරොන්දු වූ කාලසීමාව අනුව මෙම පාර්ලිමේන්තුවේ නිල කාල සීමාව අවසන් වීමට පෙර එය ක්‍රියාත්මක වනු ඇති බව ය.

    18 හැවිරිදි කැරේරා තරුණ ක්‍රියාකාරීන්ගේ කණ්ඩායමක් වන Bite Backහි සාමාජිකාවකි. ඇය පැවසුවේ තරුණයින් ඉලක්ක කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය පුද්ගලයන්, ආකර්ෂණීය ඇසුරුම් සහ ආකර්ෂණීය රසයන් භාවිත කිරීමට සමාගම් “දක්ෂ” ලෙස කටයුතු කරන බව ය.

    “ශක්තිජනක පාන වර්ග ක්‍රීඩා පිටියේ සාමාජයීය මුදල් ඒකකය බවට පත්වීම පුදුමයක් නොවෙයි,” ඇය පැවසුවාය.

    වැඩසටහනේදී අදහස් දක්වමින් ස්ට්‍රීටිං ප්‍රකාශ කළේ රජය කාලය සමග වෙනස් යුතු බව සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරණයන් පාලනය කළ යුතු බව ය.

    කැෆීන්: ජනප්‍රිය බීම වර්ග සංසන්දනය කර බලමු

    කැෆීන්: ජනප්‍රිය බීම වර්ග සංසන්දනය කර බලමු

    Diet Coke වැනි අඩු කැෆීන් ප්‍රමාණයක් අන්තර්ගත සිසිල් බීම වර්ග තහනමට අයත් නොවන අතර තේ සහ කෝපි සඳහා ද ඉන් බලපෑමක් නොමැත.

    රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වන සූපවේදී ජේමී ඔලිවර් විසින් ශක්තිජනක පාන වර්ග නිසා ඇතිවන භයානක සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ නැවත නැවතත් අනතුරු ඇගවීම් සිදු කරනු ලැබ ඇති අතර ඔහු පැවසුවේ, ළමයින් උදේ ආහාරය සඳහා ශක්තිජනක බීම වර්ග පානය කර “තාප්පයෙන් පැන” පාසලට පැමිණෙන බව ය.

    “අපි කතා කරන්නේ මේවායේ තිබෙන අධිසාන්ද්‍රික කැෆීන් පිළිබඳව. ගොඩක් සීනිත් තිබෙනවා. ඒ නිසා එය ඇත්තෙන් ම භයානකයි,” පසුගිය වසරේ Xහි පළ කළ වීඩියෝවක ඔහු පැවසීය.

    ලේබල් කිරීමේදී වර්තමානයේ පවතින නීති යටතේ තේ හෝ කෝපි හැර, ලීටරයකට කැෆීන් මිලිග්‍රෑම් 150කට වඩා වැඩි ඕනෑ ම පානයක මෙලෙස සඳහන් කළ යුතු ය: “ඉහළ කැෆීන් ප්‍රමාණයක් අන්තර්ගතයි. ළමුන් හෝ ගර්භණී හෝ මව්කිරි දෙන කාන්තාවන් සඳහා නිර්දේශ නොකෙරේ.”

    යොවුන් වයසේ පසුවන්නන්ගේ ශරීරය කුඩා වන අතර ඔවුන්ගේ මොළය තවමත් වර්ධනය වෙමින් පවතින බැවින් ඔවුන් කැෆීන් සඳහා සංවේදී ලෙස ප්‍රතිචාර දැක්විය හැකි බව විශේෂඥයෝ පවසති.

    බොහෝ වැඩිහිටියන්ට දිනකට කැෆීන් 400mg දක්වා එනම් ක්ෂණික කෝපි කෝප්ප හතරක් හෝ තේ කෝප්ප පහක් වැනි ගණනක් ලබා ගැනීම ගැටලුකාරී නොවේ.

    පැවති කන්සර්වේටිව් රජය මෙම තහනම හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නමුත් පසුව 2022 වසරේදී එය අසාර්ථක විය. අනතුරුව ඔවුන් පැවසුවේ ඒවා පරිභෝජනය කිරීම පෞද්ගලිකව කරන තෝරා ගැනීමක් විය යුතු බවට ය.

    ස්ට්‍රීටිං BBC Breakfast වැඩසටහන සමග එක්වෙමින් පැවසුවේ ටෝරිගේ නියෝජිතයින් (කන්සර්වේටිව් රජයේ නියෝජිතයින්) වරදක් කර සිදු කර ඇති බව ය.

    එමෙන් ම වැඩිහිටියන් වගකීම භාර ගත යුතු අතර දරුවන්ට වෙනස් ප්‍රවේශයක් අවශ්‍ය බව ද ඔහු පැවසුවේ ය.

    ඔහු පැවසුවේ, ළමයින් විවේක කාලයේදී සහ පාසලෙන් පසු බීම මිල දී ගැනීමට වෙළෙඳසල් වෙත යන අයුරු සිය කාර්යාලයේ සිට බලා සිටින බව ය. කිසිවෙකු ඔවුන් වළක්වන්නේ නැතැයි ද ඔහු පැවසුවේ ය.

    ළමා රෝග හා ළමා සෞඛ්‍ය පිළිබඳ රාජකීය විද්‍යාලයේ සභාපති මහාචාර්ය ස්ටීව් ටර්නර් පැවසුවේ මෙම තහනම ළමා ආහාර රටාව වඩාත් සෞඛ්‍ය සම්පන්න කිරීමේ මීළඟ සංවේදී පියවර බව ය.

    මෙම බීම වර්ග තරුණ ප්‍රජාවගේ ජීවිත සඳහා බලපාන ආකාරය අධ්‍යයනය කළ ටීසයිඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇමීලියා ලේක් ප්‍රකාශ කළේ, ඒවා දරුවන්ගේ ආහාර වේලෙහි කොටස් නොකළ යුතු බව ය.

    “අපේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ ශක්තිජනක පාන වර්ග දරුවන්ගේ මනසට සහ ශරීරයට බරපතළ ලෙස හානි කළ හැකියි කියලා.”

    “මෙම බීම වර්ග යොවුන් ප්‍රජාවගේ සංස්කෘතියේ කොටසක් සහ ඔවුන්ගේ ක්‍රීඩා, තරග සහ සංගීතය වැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවත් අපි දන්නවා. නමුත් ඔවුන් සෞඛ්‍ය‍යට එල්ල විය හැකි අවදානම් පිළිබඳ පැහැදිලිව තේරුම් ගන්නේ නැහැ.”

    නමුත් බ්‍රිතාන්‍ය සිසිල් බීම සංගමය නියෝජනය කරන ගැවින් පාටින්ග්ටන් ප්‍රකාශ කළේ, සමාගම් දැනටමත් ස්වයං නියාමනය සඳහා මූලිකත්වය ගෙන ඇති බවට ය.

    “රජයේ ප්‍රතිපත්ති වගේ ම ඕනෑ ම නව නීතියක්, අපි ළඟ තියෙන කරුණු හොඳින් සමාලෝචනය කිරීම මත පදනම් වෙන එක වැදගත්,” ඔහු පැවසීය.

    උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය ද මෙවැනි තහනමක් පිළිබඳ සලකා බලමින් සිටියි.

    මූලාශ්‍රය – https://www.bbc.com/sinhala/articles/c4g2lk2yyl5o

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments