Wednesday, January 22, 2025
More
    Homeපෝෂණයශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය ගැන මේ කරුණු දැන සිටියාද?

    ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය ගැන මේ කරුණු දැන සිටියාද?

    ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෑතදී ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව මන්ද පෝෂණ තත්වය විග්‍රහ කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද්දක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ බව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය දකුණු ආසියාවේ පහළ මට්ටමක පවතින බවට පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

    ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 22.1% කට සාමාන්‍ය සහ යහපත් තත්වයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් ශක්තියක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ආහාර නොලැබෙන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

    කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17% දීර්ඝකාලීන මන්ද පෝෂණ තත්ත්වයක් වන මිටි බවින් (වයසට අනුව උස) පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද 2016 ජන විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා උපුටා දක්වමිනි.

    එහෙත් දකුණු ආසියාතික සෙසු රටවල මෑතකාලීන දත්ත හා සංසන්දනය කරන විට මිටි බව අඩුම රට ශ්‍රී ලංකාව යයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

    “ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ද 20% කට අඩු අගයක් පෙන්වන නිසා ශ්‍රී ලංකාව මිටි බව අඩු රටක් ලෙස ගැනෙයි. මෙම අගය නේපාලයේ 36% වන අතර ඉන්දියාවේ 38% කි,” යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    පාසල් දරුවෝ

    කෙසේ නමුත් ඉහත කී සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 15% ක් කෙටිකාලීන මන්ද පෝෂණය නිසා ඇති වන කෘෂ බැවින් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    “එම අගය කලාපයේ සමහරක් රටවල් හා සසඳන විට තරමක් ඉහළ අගයක පැවතුනත් ‘මැරස්මස්’ හෝ ‘ක්ශිවෝයොකෝර්’ වැනි උග්‍ර කෘෂ තත්ත්වයන් පසුගිය දශකයක පමණ කාලය තිස්සේ අපේ රටේ දක්නට නොලැබේ. තවද මන්දපෝෂණය නිසා සිදුවන ළමා මරණ හෝ උග්‍ර රෝගී තත්ත්වය ද ශ්‍රී ලංකාවේ වාර්තා නොවේ,” යනුවෙන් ද නිවේදනයේ දැක්වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මන්දපෝෂණය ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇති අතර ළමා පෝෂණ තත්ත්වය නගා සිටුවීමට අදාළ ක්‍රියාකාරකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    මන්ද පෝෂණ තත්ත්වය වළකා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයයේ නිර්දේශ:

    • ක්‍රමානුකූලව දරුවන්ගේ බර, දිග, උස මැනීම
    • පෝෂණ උපදේශනය
    • විටමින් ඒ සහ ක්ෂුද්‍ර පෝෂක ඌනතා රෝග පිළිබඳ අවධානය යොමු කිරීම
    • නිරක්තිය වළක්වා ගැනීම සඳහා විටමින් ඒ අතිරේකයන්
    • යකඩ සහ ක්ෂුද්‍ර පෝෂක අතිරේකයන් ලබා දීම

    මේ අතර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් උදෑසන ආහාරය නොගන්නා බව පර්යේෂණවල දී අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගිය නොවැම්බර් මාසයේ පැවසීය.

    එම ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපතිනිය ද වන විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය වර්ධනයට මෙන්ම ශරීර වර්ධනයට ද බලපාන බවය.

    source: bbc.com

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments