දවස තුළ කෝපි කෝප්පයක් පානය කරන වේලාව අනුව, අකාලයේ මියයාමේ අවදානම අඩු විය හැකි බව නව පර්යේෂණවලින් සොයාගෙන තිබේ.
උදෑසන කෝපි පානය කරන පුද්ගලයින් හෘදවාහිනී ආශ්රිත රෝගවලින් මිය යාමේ අවදානම අඩු බවත්, මුළු දවස පුරාම කෝපි පානය කරන්නන්ට, සාපේක්ෂ වශයෙන් වඩාත් අඩු මරණ අවදානමක් ඇති බවත් අධ්‍යයනයකින් සොයාගෙන තිබේ. නමුත් මෙම ප්‍රතිඵල ලැබීමට හේතු වූ එකම හේතුව කෝපි පානය කිරීම දැයි නිශ්චිතව කීමට පරීක්ෂකයන් සමත් වී නැත.
ටුලේන් විශ්ව විද්‍යාලයේ තරබාරුකම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂක සහ අධ්යක්ෂ ආචාර්ය ලූ කුයි පවසන්නේ, උදෑසන කෝපි පානය කිරීම, අකල් මරණ අවදානම අඩු කරන්නේ මන්දැයි අධ්‍යයනයෙන් පැහැදිලි නොවුණද, දවස් ගෙවී යනවිට කෝපි පානය කිරීම ශරීරයේ අභ්‍යන්තර කාල සටහන අවුල් වීමට හේතු විය හැකි බවයි.
මෙම අධ්‍යයනය යුරෝපීය හෘද සඟරාවේ පසුගිය බදාදා (ජනවාරි 8 වැනිදා) ප්‍රකාශයට පත් වී තිබිණි.
මෙම සොයාගැනීම් වෙනත් ජන කණ්ඩායමකට ද මෙලෙසම අදාළ වේද යන්න තීරණය කිරීම සඳහා වැඩිදුර අධ්යයයනයන් සිදු කිරීම අවශ්‍ය බව ආචාර්ය කුයි පවසයි. “දවසේ කෝපි පානය කරන වේලාව වෙනස් කිරීමෙන් ඇති විය හැකි බලපෑම පරීක්ෂා කිරීම සඳහා අපට සායනික අත්හදා බැලීම් අවශ්‍යයි.”
“උදෑසන කෝපි පානය කිරීමෙන් හෘද වාහිනී ආශ්රිත රෝගවලින් මිය යාමේ අවදානම අඩු වන්නේ කෙසේදැයි මෙම අධ්‍යයනයෙන් පැහැදිළි වන්නේ නැත.” ඔහු පැහැදිලි කළේ ය.
“එයට එක් පැහැදිලි කිරීමක් නම්, දහවල් හෝ සවස කෝපි පානය කිරීමෙන් අපගේ ශරීරයේ පැය 24 ක ශාරීරික, මානසික හා චර්යාත්මක චක්‍රය වෙනස් වෙයි. එමෙන්ම එය ශරීරයේ ඇති මෙලටොනින් වැනි හෝමෝන මට්ටමට බලපායි.”
“මෙය අනෙක් අතට, දැවිල්ල සහ රුධිර පීඩනය වැනි හෘද වාහිනී ආශ්රිත ගැටළුවලට ද තුඩු දිය හැකියි.”
නිව් ඕර්ලියන්ස් හි ටුලේන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින්, 1999 සහ 2018 අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය හා පෝෂණ සමීක්ෂණයට සහභාගී වූ වැඩිහිටියන් 40,725 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණය කළහ.
සහභාගි වන්නන්ගෙන් ඔවුන් කෝපි පානය කළාද, එය කොපමණ ප්‍රමාණයක්ද සහ ඒ කුමන වේලාවන්හිදී ද යන්න ඇතුළුව ඔවුන්ගේ දෛනික ආහාර පාන පරිභෝජනය ගැන විමසන ලදී.
“අපේ ශරිරයට කැෆේන්වල ඇති බලපෑම සැලකිල්ලට ගෙන, කෝපි පානය කරන දවසේ වේලාව හෘද සෞඛ්‍යයට බලපානවාද යන්න සොයා බැලීම අපට අවශ්‍ය වුණා”යි වෛද්‍ය කුයි පැහැදිලි කළේ ය.
“සාමාන්‍ය ප්‍රමාණයට කෝපි පානය කිරීමෙන් සෞඛ්‍ය ප්රතිලාභ ලබා ගත හැකි බව අතීත පර්යේෂණවලින් සොයාගෙන ඇතත්, කෝපි පානය කිරීමේ කාල රටාවන් හා සබැඳි සෞඛ්‍ය ප්‍රතිඵල පරීක්ෂා කරන පළමු අධ්‍යයනය මෙයයි” ඔහු පැවසීය.
පර්යේක්ෂකයන්ට අනුව සහභාගී වූවන්ගෙන් 36% ක් උදෑසනට කෝපි පානය කරන්නන් වන අතර,14% ක් දවස පුරා කෝපි පානය කළ අයයි.
ආචාර්ය කුයි සහ ඔහුගේ කණ්ඩායම, දශකයකට ආසන්න කාලයක් මෙම අධ්‍යයනයට සහභාගිවන්නන් අධීක්ෂණය කළ අතර, එම කාලය තුළ ඔවුන්ගේ සෞඛ්‍ය වාර්තා සහ මරණයට හේතු සමාලෝචනය කළහ.
වසර 10 කට ආසන්න කාලයකදී කළ පසු විපරම්වල දී, සහභාගිවන්නන්ගෙන් 4,295 ක් මිය ගොස් තිබු අතර, 1,268 ක් මියගොස් තිබුණේ හෘද වාහිනී ආශ්රිත රෝගවලිනි.
උදෑසන කෝපි පානය කරන්නන්ගෙන් සමස්තයකගේ මිය යාමේ සම්භාවිතාව කෝපි පානය නොකරන අයට සාපේක්ෂව 16% කින් අඩු වන අතර, හෘද රෝගවලින් මිය යාමේ සම්භාවිතාව 31% කින් අඩු බව පර්යේෂකයන් සොයාගෙන ඇත.
කෝපි පානය නොකරන අයට සාපේක්ෂව, මුළු දවසම කෝපි පානය කරන්නන්ගේ ද මෙම තත්වයන්ගේ අවදානමේ අඩුවීමක් ඔවුන් දුටුවේ නැත.
“උදෑසන කෝපි පානය කිරීම, උදෑසන කාලයෙන් පසුව එය පරිභෝජනය කරනවාට වඩා මරණ අවදානම අඩු කරනවා විය හැකියි.” යි පර්යේෂකයන් ඔවුන්ගේ පත්‍රිකාවේ සඳහන් කර තිබේ.
පර්යේෂකයන් සඳහන් කළේ ඉහළ කෝපි පරිභෝජනය මරණයේ අඩු අවදානමට “සැලකිය යුතු ලෙස” දායක වී ඇති නමුත් මෙම බලපෑම දක්නට ලැබුණේ උදෑසන කෝපි පානය කළ පුද්ගලයින් තුළ මිස දවස පුරා කෝපි පානය කළ අය තුළ නොවන බවයි.
ලන්ඩනයේ රෝයල් බ්‍රොම්ප්ටන් සහ හාර්ෆීල්ඩ් රෝහල්වල සේවය කරන මහාචාර්ය තෝමස් එෆ් ලුෂර්, සිය කතුවැකියක මෙලෙස සඳහන් කළේ ය. “දවසේ වේලාව වැදගත් වන්නේ ඇයි?”
සාමාන්‍යයෙන් උදෑසන දී අප අවදිවන විට ශරීර ස්වභාවිකවම වඩාත් සුපරීක්ෂාකාරී වන අතර, මෙම “අවධානය” දවස පුරා ක්‍රමයෙන් අඩු නිදා සිටින විටදී අවම මට්ටමකට පැමිණේ.
පර්යේෂකයන්ගේ අදහසට අනුව, දවසේ අවසානයේදී කෝපි පානය කිරීමෙන්, අප විවේක ගත යුතු වෙලාව වෙනස් වී ශරීරයේ අභ්‍යන්තර කාලසටහන කඩාකප්පල් විය හැකි බව මහාචාර්ය ලුෂර් සඳහන් කරයි.
“ඇත්ත වශයෙන්ම, දවස පුරාම කොපි පානය කරන්නන් සුව නින්දක් නොලැබීමෙන් පීඩා විඳිනවා.” ඔහු පැහැදිලි කළේ ය. “කෝපි, නින්දට වැදගත් මැදිහත්කරුවෙකු වන, මොළයේ ඇති මෙලටොනින් මර්දනය කරන බව මෙයින් පෙනී යනවා.”
අධ්‍යයනයෙන් හෙළි වූයේ උදෑසන කෝපි පානය කරන පුද්ගලයින් කැෆේන් සමඟ තේ සහ සෝඩා පානය කිරීමට වැඩි ඉඩක් ඇති නමුත් දවස පුරා කෝපි පානය කළ අයට සාපේක්ෂව කැෆේන් සහිත කෝපි සහ රහිත කෝපි යන දෙකම පානය කර තිබුණේ අඩුවෙන් බව ය.
source; bbc.com/sinhala