ලංකාවේ විනිමය පනතට එක් වූ නව සංශෝධනයත් සමග මුදල් ගනුදෙනු සඳහා භාවිත කරනු ලබන චෙක්පත් සඳහා වන නීතිය දැඩි වී තිබේ.
2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඊට කතානායකවරයා අගෝස්තු 15 වන දා සිය සහතිකය සටහන් කළේ ය. ඒ අනුව, එය 2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?
නව සංශෝධනය හරහා නීත්‍යනුකූලව අවසර ලත් ආකාරයට එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නව්‍ය ලෙස හා නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිත කිරීම පිණිස පහසුකම් සලසන අතර චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන සලසා ඇත.
බැංකුකරුවෙකු විසින්, ගෙවීම සඳහා චෙක්පත ඉදිරිපත් කිරීම වෙනුවට, චෙක්පතේ නිශ්චිතව දක්වා ඇති ඉලෙක්ට්‍රොනික ගෙවීම් තොරතුරු සමග එහි අනුරූපයක් ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් මගින් චෙක්පත අණකරන ලද බැංකුකරු වෙත, ගෙවීම සඳහා ඉදිරිපත් කරනු ලැබිය හැකි ය,” යනුවෙන් පනතෙහි සඳහන් වේ.
එසේ ගෙවීම් කිරීමට චෙක්පතක අනුරූපය, චෙක්පතේ ඉදිරිපස දර්ශනය සහ පිටුපස දර්ශනයෙන් සමන්විය යුතු බව ද දක්වා තිබේ.
තව ද, චෙක්පතේ අනුක්‍රමික අංකයෙන්, චෙක්පත අණකරන ලද බැංකුකරු සහ ශාඛාව හඳුනාගනු ලබන කේතයෙන්, චෙක්පතේ අණකරුගේ ගිණුම් අංකයෙන්, චෙක්පතේ අණකරු අතුළත් කර ඇති පරිදි චෙක්පතින් අණ කරන ලද මුදල් ප්‍රමාණයෙන් සහ ගෙවීම්, නිෂ්කාෂණ සහ බේරුම් කිරීමේ පද්ධති හා සම්බන්ධ යම් ලිඛිත නීතියක් යටතේ සාදනු ලබන නියෝග මගින් කලින් කලට නියම කරනු ලැබිය හැකි පරිදි වූ වෙනත් යම් කාරණයකින් සමන්විත විය යුතු ය.
චෙක්පතක් අගරු වෙන්නේ කොහොම ද?
චෙක්පතට ගෙවීම සඳහා ගිණුමේ බැරව පවතින මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම, බැංකුවෙන් ලබාගෙන ඇති අයිරා පහසුකම (Overdraft Facilities) ඉක්මවා තිබීම, වසා දැමූ ගිණුමකින් චෙක්පත නිකුත් කර තිබීම, අණකරු විසින් නිකුත් කරන ලද චෙක්පත ඔහු විසින් සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රතිනියෝග (ගෙවීම නතර කිරීම) කරනු ලැබ තිබීම හේතුවෙන් සහ බැංකුව මගින් අදාළ චෙක්පතට මුදල් නොගෙවා ආපසු ලබා දෙන ලද අවස්ථාවක චෙක්පත අගරු වූ ලෙස සැලකේ.
අගරු චෙක්පතට නඩු පැවරීමට බලපාන කරුණු
මෙලෙස අගරු වූ චෙක්පතක් සඳහා නඩු පැවරිය හැකි අතර ඒ සඳහා කරුණු කිහිපයක් සලකා බලනු ලැබේ.
චෙක්පත අණ කරන ලද දින සිට මාස හයක කාල සීමාවක් හෝ එහි වලංගු කාලසීමාව යන දෙකෙන් කලින් එළඹෙන කාල සීමාව ඇතුළත අණ ලැබූ බැංකුව වෙත චෙක්පත ඉදිරිපත් කර ඇත්නම්, චෙක්පත අගරු වූ බව බැංකුව විසින් දැනුම් දුන් දින සිට දින 90ක් ඇතුළත, චෙක්පතෙහි වටිනාකම ගෙවීම සඳහා අණකරු වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කළ යුතු ය.
ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් චෙක්පතේ අණකරු එකී ඉල්ලීමේ දින සිට දින 90ක් ඇතුළත, චෙක්පතේ නම සඳහන් තැනැත්තාට හෝ චෙක්පත ගනුදෙනු කර ඇති විටෙක හෝ ආදායකයා වශයෙන් නමක් සඳහන් නොවන විටෙක මුදල් අය විය යුතු තැනැත්තා වෙත ගෙවීමට අපොහොසත් වී ඇති අවස්ථාවක නඩු පැවරීමේ හැකියාව පවතී.
සමාගමකට, හවුල් ව්‍යාපාරයකට අලුත් නීතිය බලපාන්නේ කොහොම ද?
චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් සමාගමක, හවුල් ව්‍යාපාරයක සහ සංස්ථාගත නොකරන ලද මණ්ඩලයක අධ්‍යක්ෂවරුන්, හවුල්කරුවන් සහ සාමාජිකයෙකු ඒ වරද කර ඇත්තේ, ඔහුගේ දැනීමකින් තොරව හෝ වරද සිදු කිරීම වැළැක්වීම සඳහා ඔහු නිසි උද්යෝගයෙන් ක්‍රියා කරන ලද බවට අධිකරණය සෑහීමකට පත් වන පරිදි ඔප්පු කළහොත් වරද සිදු කරන ලද ලෙසට නොසලකනු ලැබිය යුතු බව ද පනතේ සඳහන් වේ.
චෙක්පත් සම්බන්ධ ඉහත සඳහන් වරදකට පුද්ගල මණ්ඩලයක් වරදකරු වන අවස්ථාවකදී, එය සංස්ථාගත මණ්ඩලයක් නම් එහි සෑම අධ්‍යක්ෂවරයෙකු ම, කළමනාකරුවකු ම හෝ ලේකම්වරයෙකු ම වරද සිදු කර ඇතැයි සලකනු ලබ යි.
හවුල් ව්‍යාපාරයකදී හවුල් ව්‍යාපාරයේ සිටි සෑම හවුල්කරුවෙකු විසින් ම වරද කරනු ඇති බවට සලකන අතර සංස්ථාගත නොකරන මණ්ඩලයක් නම් වරද සිදුකරන අවස්ථාවේදී සංස්ථාගත නොකරන මණ්ඩලයේ සාමාජිකයෙකු වූ සෑම පුද්ගලයෙකු ම වැරදිකරුවන් වන බව නව පනත් සංශෝධනයේ සඳහන් කර ඇත.
වරදට ලැබෙන දඬුවම් මොනවා ද?
නව පනත් සංශෝධනයට අනුව එසේ අගරු චෙක්පතක් සම්බන්ධයෙන් වැරදිකරු වන තැනැත්තෙකුට පනවා ඇති දණ්ඩනය දැඩි කර තිබේ.
එහිදී චෙක්පතෙහි මුදල් ප්‍රමාණයට සමාන දඩයකට හෝ වසර දෙකක් නොඉක්මන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධානාගාරගත කිරීමක් හෝ එම දඩය හා බන්ධානාගාරගත කිරීම යන දඬුවම් ලබා දීමේ හැකියාව පවතී.
source: bbc.com /sinhala