Monday, December 29, 2025
More
    Homeකාන්තා ලෝකයපියයුරු පිළිකාවලින් වැළකීමට ඉදිරි දශකයේදී එන්නතක්: එන්නත් 50ක් අත්හදාබැලීම් මට්ටමේ

    පියයුරු පිළිකාවලින් වැළකීමට ඉදිරි දශකයේදී එන්නතක්: එන්නත් 50ක් අත්හදාබැලීම් මට්ටමේ

    ඉදිරි දශකය තුළ එන්නත් සම්මත පිළිකා ප්‍රතිකාර ක්‍රියාවලියේ කොටසක් බවට පත්වනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිළිකා එන්නත් ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඩිසිස් විශ්වාසය පළ කරයි.

    බොහෝ රටවල පිළිකා රෝගයෙන් මිය යන කාන්තාවන්ගේ මරණයට ප්‍රධානතම හේතුව පියයුරු පිළිකාව වේ. වර්තමානයේ, ලොව පුරා කාන්තාවන් 20 දෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ රෝගය පවතින බව හඳුනා ගන්නා බව පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය පවසයි.

    විවිධ ප්‍රවේශයන් භාවිත කරමින් ලොව පුරා ක්‍රියාකාරී පියයුරු පිළිකා එන්නත් අත්හදා බැලීම් 50කට වඩා සිදුවෙමින් පවතින බැවින් බලාපොරොත්තුවක් තබා ගත හැකි බව පියයුරු පිළිකා පර්යේෂණ පදනම පවසයි. එම එන්නත්වලින් 5ක් දියුණු මට්ටමේ පවතින ක්‍රියාකාරී අත්හදාබැලීම් වේ.

    පසුගිය මාස 18 තුළ එන්නත් අත්හදාබැලීම්වල විශාල වර්ධනයක් දක්නට තිබේ. මෙයට හේතුව ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාරවල දියුණුව යි. එය රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයේ ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය යොදා ගන්නා විප්ලවීය ප්‍රතිකාරයකි. ඊට අමතරව පිළිකා රෝගීන්ගෙන් ලබා ගත් දත්ත කට්ටල දස දහස් ගණනක් විශ්ලේෂණය කළ හැකි කෘත්‍රිම බුද්ධියේ වර්ධනය ද ඊට බලපා තිබේ.

    පියයුරු පිළිකාවලට එරෙහි එන්නත් සඳහා ක්‍රියාකාරී අත්හදාබැලීම් 50ක් ලොව පුරා සිදුවෙමින් පවතී.

    එන්නතක් නිපදවීමෙන් ලෝකයට ඇති විය හැකි සැබෑ බලපෑම, වයස අවුරුදු 30 දී මව්කිරි නාලවල හට ගන්නා පියයුරු පිළිකාවක පූර්ව අදියර වන ductal carcinoma in situ (DCIS) පවතින බව හඳුනාගත් රංගන ශිල්පිනී වික්ටෝරියා එකනෝයේගේ අත්දැකීම් මගින් පෙන්නුම් කෙරේ.

    “ඔබේ රැකියා ජීවිතයට, සමාජ ජීවිතයට, පවුලේ අයට සහ මිතුරන්ට එමගින් විශාල බලපෑමක් එල්ල වෙනවා. එය ඔබේ ලෝකය උඩු යටිකුරු කරනවා, අපට එය එන්නතකින් වළක්වා ගන්න පුළුවන් නම් ඇත්තට ම ඒක අදහාගන්න බැරි දෙයක් වේවි,” ඇය පවසයි.

    ඇයට සිකල් සෛල රෝගය ද (sickle cell disease) ඇති බැවින් ඇගේ ප්‍රතිකාර විශේෂයෙන් දුෂ්කර විය. එයින් අදහස් වන්නේ, ඇගේ සැත්කම් සඳහා ඇයට රුධිර පාරවිලයනය අවශ්‍ය වූ බව ය. නමුත් එය කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ඇයට සහනයක් විය.

    රංගන ශිල්පිනී වික්ටෝරියා එකනෝයේ වයස අවුරුදු 30 දී පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව හඳුනා ගන්නා ලදී.

    විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ පිළිකාවට ප්‍රතිකාර කිරීම සහ වැළැක්වීම සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමට උත්සහ කර ඇති නමුත් ඒවා එතරම් සාර්ථක නොවී ය.

    සරම්ප හෝ මෙනින්ජයිටිස් වැනි රෝග සඳහා ලබා දෙන එන්නත් ක්‍රියා කරන්නේ ආක්‍රමණික වෛරසයකින් හෝ බැක්ටීරියාවකින් ශරීරය ආරක්ෂා කිරීමට අවශ්‍ය ශක්තිය වර්ධනය කිරීමට ශරීරයට උපකාර කිරීම මගින් ය.

    එය ශරීරයේ ම සෛලවලින් හට ගන්නා බැවින් පිළිකා සම්බන්ධයෙන් එම ක්‍රමය වඩාත් අපහසු වී තිබේ. එයින් අදහස් කෙරෙන්නේ, බොහෝ පිළිකා එන්නත් ගැනුම්කරුගේ ඉල්ලුම අනුව නිර්මාණය කරන ලද ඒවා වන අතර, ඒවායේ අඩංගු “අමුද්‍රව්‍ය” එක් එක් රෝගියාට සහ ඔවුන්ගේ පිළිකාවේ අද්විතීය ජානමය ලක්ෂණ සඳහා ගැලපෙන පරිදි වෙනස් කර ඇත.

    මෙම එන්නත් මගින් එම පිළිකා සෛලවල පමණක් ඇති සලකුණු හෝ ප්‍රතිදේහ විනාශ කරන ප්‍රෝටීන හෝ ප්‍රතිදේහ නිපදවීමට ශරීරයට උපදෙස් දෙයි.

    මෙම කාර්යයන්ගෙන් සමහරක් සඳහා පුරෝගාමීත්වය ගෙන සිටින්නේ, වඩාත් හොඳ එන්නත් නිෂ්පාදනය කිරීම වේගවත් කරන ඇමෙරිකානු සංගමයක් වන පිළිකා එන්නත් සන්ධානය සමග සමීපව කටයුතු කරන වෛද්‍ය නෝරා ඩිසිස් විසිනි.

    පියයුරු පිළිකා සෛල ඉක්මනින් වර්ධනය වීමට උපකාරී වන මූලද්‍රව්‍යයක් වන HER 2 ප්‍රෝටීනය ඉලක්ක කර ගත් එන්නතක් වන UW’ WOKVAC පරීක්ෂණ පුළුල් කිරීම ඇතුළුව වෛද්‍ය ඩිසිස් ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටියි.

    මෙම අත්හදා බැලීමේදී සියලු ම රෝග විනිශ්චයන්ගෙන් තුනෙන් එකක් පමණ වන HER2 ධනාත්මක අවදියේ පියයුරු පිළිකා ඇති පුද්ගලයින්ට පිළිකා ඉවත් කිරීම සඳහා සිදුකෙරෙන සැත්කමකට භාජනය වීමට පෙර රසායනික චිකිත්සාව සහ අනෙකුත් ප්‍රතිකාර සමග එන්නත ලබා දෙයි.

    “අවසානයේදී අපි සිටින්නේ නුදුරු අනාගතයේදී ම සායනික භාවිතය සඳහා අනුමත කරන ලද පිළිකා එන්නත් දැකිය හැකි ස්ථානයක යි,” වෛද්‍ය ඩිසිස් පවසයි.

    මේ අතර, අගෝස්තු මාසයේදී ජෛව තාක්‍ෂණ සමාගමක් වන Anixa Biosciences සහ ඔහියෝහි ක්ලීව්ලන්ඩ් සායනය විසින් වැඩිදියුණු කරන ලද එන්නතක් සම්බන්ධයෙන් සායනික අත්හදාබැලීම්වල පළමු අදියර අවසන් කර තිබේ.

    පෙප්ටයිඩ මත පදනම් වූ මෙම එන්නත, මාරාන්තික අදියරවලින් එකක් වන ආක්‍රමණශීලී ට්‍රිපල්-නෙගටිව් පියයුරු පිළිකාව සමග සම්බන්ධ වූ මව්කිරි ප්‍රෝටීනයක් වන alpha lactalbumin ඉලක්ක කරයි.

    Headshot of Dr Nora Dsis in a laboratory. She has short red hair and is wearing red-rimmed glasses, an oatmeal-coloured funnel-necked jumper and a camel coat. Behind her are metal shelves containing glass flasks.
    වෛද්‍ය ඩීසිස්ගේ පර්යේෂණය පොදු පිළිකා සඳහා ප්‍රතිශක්තිකරණ පාදක ප්‍රතිකාර කෙරෙහි අවධානය යොමු කරයි

    “අපි පියයුරු පිළිකා සෛලවලට ආවේණික වූ ප්‍රෝටීනයක් ශරීරයට හඳුන්වා දෙන අතර එම සෛල විනාශ කරන්න අපි ශරීරයට උගන්වනවා,” Anixa හි වෛද්‍ය අනිල් කුමාර් පැහැදිලි කරයි.

    මෙම විද්‍යාඥයින් උත්සහ කරන්නේ, එන්නත මගින් රෝගියෙකුගේ පිළිකාව හීන කළ හැකි ද, එනම් ශල්‍යකර්මය අඩු ආක්‍රමණශීලී ද නැතහොත් කිසිසේත් අවශ්‍ය නොවේ ද සහ රෝගීන්ට පිළිකා නැවත ඇති වීමේ සම්භාවිතාව දුර්වල මට්ටමක පවතී ද යන්න තහවුරු කිරීමටයි.

    ට්‍රිපල්-නෙගටිව් පියයුරු පිළිකාවලින් දිවි ගලවා ගත් රෝගීන් සහ ජෛව පරීක්ෂණ මගින් පූර්ව පිළිකා තත්ත්වය විය හැකි බවට යෝජනා කරන වෙනස්කම් පෙන්නුම් කළ කාන්තාවන් සඳහා එන්නත පරීක්ෂා කරනු ලැබේ.

    මෙම කාන්තාවන්ගෙන් 70%කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පියයුරු පිළිකා සෛල හඳුනාගෙන ඒවා විනාශ කළ බව අත්හදා බැලීමේදී අනාවරණ විය.

    එන්නත හොඳින් ඔරොත්තු දෙන බව සහ අතුරු ආබාධ අවම බව මූලික ප්‍රතිඵලවලින් පෙනී ගියේ යැයි ක්ලීව්ලන්ඩ් සායන පිළිකා ආයතනයේ වෛද්‍ය ජී. තෝමස් බඩ් පැවසුවේ ය.

    සායනික අත්හදාබැලීම්වල දෙවන අදියර 2026 මුල්භාගයේදී ආරම්භ වන අතර විද්‍යාඥයින්ට එහි කාර්යක්ෂමතාව සංසන්දනය කිරීමට ඉඩ සලසමින් එන්නත නොලබන ප්ලේසෙබෝ කණ්ඩායමක් ඇතුළත් කර ගනු ඇත.

    එය ”ආරම්භයේදී ම වැළැක්වීම” සඳහා දැනටමත් පිළිකාව නොමැති කාන්තාවන්ට සහ ඇතැම් පිරිමින්ට කවදා හෝ එය ලබා දීමට හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව වෛද්‍ය කුමාර් පවසයි.

    විවිධ රෝහල්වල බොහෝ රෝගීන් සමග සිදු කෙරෙන මහා පරිමාණ අධ්‍යයනයන් වන පරීක්ෂණවල 3 වන අදියර පසුව සිදුවනු ඇත. මෙම පරීක්ෂණ මගින් නව ප්‍රතිකාර ක්‍රම දැනට පවතින හොඳ ම ඒවා සමග සංසන්දනය කරයි.

    මෙම අදියරෙන් පසුවත් එන්නතක් සඳහා බලපත්‍ර ලබා ගැනීමට වසර කිහිපයක් ගත විය හැකි ය, නමුත් එක්සත් ජනපද නියාමක ආයතනය වන ආහාර සහ ඖෂධ පරිපාලනය පිළිකා ඇතුළු ඇතැම් රෝග සඳහා මෙම අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇත.

    Picture of Diana Innes - she is wearing a large black floppy hat, and red dangling earrings, with a black patterned shirt dress. She is pictured against a red-painted brick wall
    ඩයනා ඉන්ස් තම දියණිය නිදි කරවන අතරතුර ඇගේ පියයුරුවල ගැටිත්තක් ඇති බව දුටුවා ය.

    “ඒක හරියට ලොතරැයියක් දිනුවා වගෙයි” පියයුරු පිළිකා එන්නතක් ලබාගෙන වසර තුනක සිට රෝගය මැඩපවත්වා ගනිමින් සිටින ඩයනා ඉන්ස් පවසයි.

    වයස අවුරුදු 39 දී, ඇගේ දෙහැවිරිදි දියණිය නිදි කරවමින් සිටියදී ඇගේ පියයුරුවල ගැටිත්තක් නිරීක්ෂණය කළ අතර ඇයට අදියර 3 ට්‍රිපල් නෙගටිව් පියයුරු පිළිකාව ඇති බව හඳුනා ගැණිනි.

    ඩයනා බරපතළ සැත්කම්, විකිරණ චිකිත්සාව සහ එහි වර්ණය හා විෂ සහිත බව හේතුවෙන් “red devil” ලෙස හැඳින්වෙන ඉහළ පෙළේ රසායනික චිකිත්සා තුනක් ඇතුළුව රසායනික චිකිත්සක වට 16ක් ඇතුළත් මාස ගණනාවක් වෙහෙසකර ප්‍රතිකාරවලට භාජනය විය.

    එවිට ඇය පියයුරු පිළිකා එන්නත් අත්හදාබැලීමක් සඳහා සුදුසු විය හැකි බව පවසා තිබිණි. පළමුව ඇයට සැකයක් දැනුණු, නමුත් ඒ පිළිබඳ ඇයට සම්පූර්ණයෙන් ම දැනුම් දුන් පසු ඇයට දැනුණේ තමන් ඉතා වාසනාවන්ත බව ය.

    “මම ඇත්තට ම හිතන්නේ එය විද්‍යාවේ ඊළඟ දැවැන්ත ඉදිරි පියවර බවයි,” ඇය පවසයි.

    ඒ ඒ පුද්ගලයන්ට සුදුසු එන්නත් නිපදවීම සඳහා ඇති හැකියාව පිළිබඳව ශුභවාදී හැඟීමක් ඇති වුව ද, එය තවමත් මුල් අවධියේ පවතී. ඒවා ඉහළ ඉලක්කගත ප්‍රතිකාර ලබා දෙන නමුත්, ඒවායේ පවතින සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය නිසා නිෂ්පාදනය කිරීම සඳහා ඉහළ මිලක් දැරිය යුතු ය.

    ඖෂධ සමාගම්වල දිගුකාලීන ඉලක්කය වන්නේ, පොදු පිළිකා ලක්ෂණ ඉලක්ක කර ගනිමින් පුළුල් ජනගහනයක ක්‍රියාත්මක වන “භාවිතයට සූදානම්” එන්නත් වැඩිදියුණු කිරීම යි.

    පියයුරු පිළිකාවෙන් දිවි ගලවා ගැනීමේ අවස්ථා සහ ලෝකයේ රෝගියෙකු ජීවත් වන ස්ථානය අතර සහසම්බන්ධයක් පැහැදිලිව පවතී.

    ඉහළ ආදායම් ලබන රටවල, රෝගය පවතින බව හඳුනා ගන්නා ලද කාන්තාවන්ගෙන් 83%ක් දිවි ගලවා ගන්නා අතර, දකුණු අප්‍රිකාවේ සියලු ම ප්‍රදේශ ඇතුළුව අඩු ආදායම් ලබන රටවල, එක ම රෝග විනිශ්චය ඇති කාන්තාවන්ගෙන් අඩකට වඩා මිය යති.

    ඇතැම් පිළිකා විශේෂඥයින් පවසන්නේ, එන්නත් වැනි අතිනවීන තාක්‍ෂණය එවැනි පහසුකම් අවශ්‍ය කාන්තාවන් විශාල පිරිසක් වෙත කෙදිනකවත් ළඟා නොවනු ඇතැයි ඔවුන් බිය වන බව ය.

    ශල්‍යකර්ම, විකිරණ චිකිත්සාව සහ රසායනික චිකිත්සාව වැනි මූලික පිළිකා ප්‍රතිකාර පවා ලබා ගත හැකි පුද්ගලයින් සහ නොහැකි පුද්ගලයින් අතර දැනටමත් විශාල විෂමතා පවතින බව පිළිකා පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර ඒජන්සියේ පිළිකා නිරීක්ෂණ ශාඛාවේ නියෝජ්‍ය ප්‍රධානී වෛද්‍ය ඉසබෙල් සෝර්ජෝමාතරම් පවසයි.

    “සංකීර්ණ, පුද්ගලානුරූපී පිළිකා ප්‍රතිකාර සම්බන්ධයෙන් තත්ත්වය ඊටත් වඩා අභියෝගාත්මක යි,” ඇය පවසයි.

    Headshot of Kristen Dahlgren, who has wavy, blonde, shoulder-length hair and is wearing a dark suit jacket
    පියයුරු පිළිකාවෙන් දිවි ගලවා ගත් හිටපු NBC ප්‍රවෘත්ති වාර්තාකාරිනී ක්‍රිස්ටන් ඩාල්ග්‍රන්, පියයුරු පිළිකා එන්නත් යථාර්ථයක් බවට පත් කිරීමට පර්යේෂකයන්ට උපකාර කිරීම සඳහා පිළිකා එන්නත් සන්ධානය ආරම්භ කළා ය.

    පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර ඒජන්සිය මගින් පෙබරවාරි මාසයේ නිකුත් කළ වාර්තාවකට අනුව 2050 වන විට ගෝලීය වශයෙන් වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 38%කින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, රෝගයෙන් වාර්ෂිකව සිදුවන මරණ 68%කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

    “හැම මිනිත්තුවක ම, ලොව පුරා කාන්තාවන් හතර දෙනෙක් පියයුරු පිළිකාවෙන් පෙළෙන බව හඳුනාගෙන තියෙනවා. ඒ හතර දෙනාගෙන් එක් කාන්තාවක් රෝගයෙන් මිය යනවා, මේ තත්ත්වය තවත් නරක අතට හැරෙමින් තිබෙනවා,” වාර්තාවේ කතුවරිය සහ පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර ඒජන්සියේ විද්‍යාඥ වෛද්‍ය ජොඈන් කිම් පවසයි.

    වික්ටෝරියාට එන්නත්වල ප්‍රගතිය ප්‍රමාණවත් තරම් වේගයෙන් ළඟා නොවනු ඇත. ඇය දැන් කළු ජාතික කාන්තාවන් අතර පියයුරු පිළිකා පිළිබඳ වඩා හොඳ දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් සිටියි.

    “පියයුරු පිළිකා ගැන තවමත් ඉතා අඩු අවධානයක් දෙන ප්‍රජාවන් ඉන්නවා,” ඇය පවසයි.

    “ඔවුන්ට වරදකාරී හැඟීමක් සහ ලැජ්ජාවක් තියෙනවා – වරදකාරී හැඟීම ඔබත් එක්ක රැඳෙයි, හැබැයි ඒක ගැන අවධානය යොමු නොකළොත් ඔබට ඔබව අහිමි වෙයි. ඊට පස්සෙ කරන්න කිසි දෙයක් නෑ.”

    රෝගය සමනය වී වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත්, ඩයනා දිගින් දිගට ම සිතන්නේ ඇගේ පිළිකාව නැවත මතු වේ ද? යන්න පිළිබඳව ය.

    “නමුත් මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් නෙමෙයි, අපි ඉන්නේ සායනික අත්හදාබැලීම්වල 2 වන අදියරේ. මම අද මෙහි සිටින්නේ ජීවමාන සාක්ෂියක් ලෙස යි,” ඇය පවසයි.

    source:https://www.bbc.com/sinhala/articles/ckg6ml45n8vo

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments