Tuesday, July 1, 2025
More
    Homeතාක්ෂණයපිළිකා මුලදීම දැනගැනීමේ අලුත් තාක්ෂණයක්

    පිළිකා මුලදීම දැනගැනීමේ අලුත් තාක්ෂණයක්

    අදාළ පර්යේෂණයට නායකත්වය දුන් ජෝන් හොප්කින්ස් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් කණ්ඩායම විසින් කරනු ලැබ තිබෙන්නේ පිළිකා රෝගයේ පොදු ආකාරයන් අටක් හඳුනාගත හැකි විධික්‍රමයක් පෙරට තබනු ලැබීමයි.

    පිළිකාවක් හටගත් මුල් අදියරේදීම මිනිස් ජීවිත රැක ගත හැකි මට්ටමින් එය හසුකර ගැනීමේ වාර්ෂික රුධිර පරීක්ෂණ ක්‍රමයක් සැලසුම් කිරීම එම විද්‍යාඥයන්ගේ අභිප්‍රාය වී ඇත.

    “මේ ප්‍රයත්නය විස්මය දනවන සුළු යෝධ පියවරක්” හැටියට එක්සත් රාජධානියේ විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

    කෙසේවුවද, පිළිකාවක් එහි ආරම්භක අවස්ථාවේ හඳුනා ගැනීමට තරම් නව පරීක්ෂණ විධික්‍රමය සමත් වේද? යන්න තක්සේරු කිරීම සඳහා තවත් බොහෝදුර යා යුතු බව එක් විශේෂඥයෙක් පවසයි.

    පිළිකා සෛල මගින් මිනිස් සිරුරක විකෘති වූ කුඩා DNA කොටස් සහ ප්‍රෝටීන් මුදා හරින අතර ඒවා රුධිර පද්ධතියට එක් වෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    ‘කැන්සර්සීක්’ (CancerSEEK) යනුවෙන් නම් කරනු ලැබ ඇති නව පරීක්ෂණයේ දී පිළිකාවකින් අඛණ්ඩව මතුවෙන ජාන දහසයක විකෘති වීම් සහ පිළිකා මගින් නිරන්තරයෙන් මුදා හරිනු ලබන ප්‍රෝටීන් අටක් පරීක්ෂා කෙරෙයි.

    "මේ ප්‍රයත්නය විස්මය දනවන සුළු යෝධ පියවරක්" හැටියට එක්සත් රාජධානියේ විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
    “මේ ප්‍රයත්නය විස්මය දනවන සුළු යෝධ පියවරක්” හැටියට එක්සත් රාජධානියේ විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

    එම පර්යේෂණයේ දී ඩිම්බකෝෂය, අක්මාව ,උදරය, අග්න්‍යාශය ,අන්න ශ්‍රෝතය ,මහ බඩවැල, පෙණහැල්ල සහ පියයුරු ආදී ඉන්ද්‍රියයන්හි පිළිකා හටගත්, එහෙත් ඒවනවිට එය වෙනත් පටකවලට පැතිර නොතිබුණ රෝගීන් 1005 දෙනකු පරීක්ෂණයට භාජනය කරනු ලැබ ඇත.

    සමස්තයක් ලෙස ගත්විට එම පරීක්ෂණවලට භාජනය කරගත් පුද්ගලයන්ගෙන් 70% ක් පිළිකා රෝගීන් ලෙස හඳුනා ගත් බව එම වාර්තාවේ දැක්වෙයි.

    ජෝන් හොප්කින්ස් සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ක්‍රිස්තියන් ටොමසෙට්ටි (Dr Cristian Tomasetti) බීබීසියට අදහස් දක්වමින් “මේ ක්‍ෂේත්‍රයේ පළමු සොයා ගැනීම් ඉතාම තීරණාත්මක වන” බව සඳහන් කළේය.

    ප්‍රෝටීන් සහ විකෘති වීම් සංඛ්‍යාව ඉහළ යාම විශ්ලේෂණය කෙරෙමින් පවතින අතර පිළිකා වර්ග රාශියක් පිළිබඳව පරික්ෂා කර බැලීමට එමගින් මග සැලසෙයි.

    ලන්ඩන් නගරයේ පිළිකා පර්යේෂණ විද්‍යායතනයේ පිළිකා සහ පරිණාමය පිළිබඳ මධ්‍යස්ථානයේ කණ්ඩායම් නායක සහ රාජකීය මාර්ස්ඩන් NHS පදනමේ පිළිකා රෝග විශේෂඥයකු වන වෛද්‍ය ගර්ට් අටාර්ඩ් (Dr Gert Attard) බීබීසියට මෙසේ ප්‍රකාශ කළේය.

    “මෙය ඉතා විශාල ඉදිරි පියවරක්”

    “මම පුදුමාකාර මට්ටමින් විස්මයට පත් වුනා. කැමරාවක් යවා ශරීරය අභ්‍යන්තරය පරීක්ෂා කරනු ලැබීම හෝ ‘ස්කෑන්’ කිරීම වගේ පරීක්ෂණ ආදියෙන් තොරව රුධිර පරීක්ෂණයකින් පිළිකා අල්ලා ගැනීමට හැකි වීම පිළිබඳව” වෛද්‍ය ගර්ට් අටාර්ඩ් (Dr Gert Attard) පවසයි.

    “අපට තාක්ෂණය තියෙන නිසා පිළිකා හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ යොදා ගැනීමේ ක්‍රියාවලිය වෙත අපි බෙහෙවින් කිට්ටු වෙලයි ඉන්නේ ” විශේෂඥ වෛද්‍යවරයා බලාපොරොත්තු පළ කරයි.

    පර්යේෂණයට සහභාගී වූ 1005 දෙනාගෙන් එක් කාන්තාවක් - ජැනට් මේට්ලන්ඩ්
    පර්යේෂණයට සහභාගී වූ 1005 දෙනාගෙන් එක් කාන්තාවක් – ජැනට් මේට්ලන්ඩ්

    එහෙත් පිළිකාවක් හඳුනා ගත් පසු සිදු කළ යුත්තේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයක් බවත් ඔහු කියා සිටියි. ඇතැම් පිළිකා සඳහා ප්‍රතිකාර කරනු ලැබීම, ක්‍ෂණික ජීවිත තර්ජනයක් නොමැති පිළිකාවක් සමඟ ප්‍රතිකාර වලින් තොරව ජීවත් වීමට වඩා නරක තත්වයක් උද්ගත කිරීමේ අනතුරක් ද පවතී.

    ප්‍රතිකාර ලබා ගැනීමෙන් තොරව නිරන්තර අධීක්‍ෂණය මගින් ‘ප්‍රොස්ටේට්’ පිළිකා පැතිරීම සීමා කර ගැනීමට පුරුෂ පක්ෂයට දැනටමත් හැකියාවක් පවතී. පිළිකා හඳුනා ගැනීමේ නව විධික්‍රමය එහි මුල් අවස්ථාවේ දක්නට ලැබුණ ආකාරයට ක්‍රියාත්මක වෙන බව තහවුරු කර ගැනීමට අඩු තරමින් වසර පහක් හෝ හයක්වත් ගතවිය හැකියයි එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය රිචර්ඩ් මරෙස් (Prof Richard Marais) පවසයි

    “ඔවුන් පරීක්ෂා කරලා තියෙන්නේ නිරෝගී පුද්ගලයන්. ඒත් කවුරු හරි ‘ඉන්ෆ්ලුවන්සා’ හෝ වෙනත් අසනීප තත්වයක සිටියි නම්, එම නොපෙනෙන අසනීප තත්වය මේ පරීක්ෂණයට බල පාන්නේ කොහොමද?” මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.

    රුධිර පරීක්ෂණ නව තාක්ෂණය 'ප්‍රොස්ටේට්' පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට ඉවහල් අනු ඇත
    රුධිර පරීක්ෂණ නව තාක්ෂණය ‘ප්‍රොස්ටේට්’ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට ඉවහල් අනු ඇත

    කේම්බ්‍රිජ් සරසවියේ පිළිකා වසංගත අධ්‍යයනාංශයේ මහාචාර්ය පෝල් පාරෝහ් (Paul Pharoah) අදහස් දක්වමින්,පිළිකාවක ආරම්භක අදියරේ දී පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න තක්සේරු කිරීම සඳහා තවත් බොහෝ වැඩ කොටසක් ඇති බව පෙන්වා දුන්නේය.

    ‘කැන්සර්සීක්’ (CancerSEEK) පරීක්ෂණයක් සඳහා ඒක රෝගියකු වෙනුවෙන් වැය වෙන මුදල ඩොලර් 500 කට අඩු බවත් පැවසෙයි.

    එය කැමරාවක් යවා මහ බඩවැල පරීක්ෂා කරනු ලැබීම (colonoscopy) සඳහා වැය වෙන මුදලට සමාන වියදමකි.

    source: bbc.com

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments