Homeදේශපාලන ගොසිප්කෝසල නුවන් ජයවීර: අවුරුදු 38දී දිවියෙන් සමුගත් NPP මන්ත්‍රීවරයාගේ දේශපාලන ගමන්මග

කෝසල නුවන් ජයවීර: අවුරුදු 38දී දිවියෙන් සමුගත් NPP මන්ත්‍රීවරයාගේ දේශපාලන ගමන්මග

පසුගිය මහ මැතිවරණයෙන් රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ඉරිදා (අප්‍රියෙල් 06) අභාවප්‍රාප්ත වන විට 38 වන වියේ පසුවිය.

“ආඝාත තත්ත්වයක් (stroke) හේතුවෙන්” කෝසල නුවන් මන්ත්‍රීවරයා මිය ගොස් ඇති බවට පශ්චාත් මරණ වාර්තාවේ සඳහන් කර ඇති බව පරිසර අමාත්‍ය, වෛද්‍ය ධම්මික පටබැඳි බීබීසි සිංහල සේවය වෙත පැවසීය.

“පක්ෂ භේදයකින් තොරව කවුරුත් ආදරය කරපු කෙනෙක්,” යැයි තම සඟයා පිළිබඳව අමාත්‍ය ධම්මික පටබැඳි සිහිපත් කළේ ය.

“මේ රට ගොඩනගන්න විශාල දායකත්වයක් දෙමින් හිටපු සහ ඉතා විශාල දායකත්වයක් දෙන්න හැකියාව තිබිච්ච කෙනෙක්. මේ පාඩුව පිරිමහගන්න එක කියන්නේ ලොකු අභියෝගයක්. විශේෂයෙන්, මේ වගේ අවස්ථාවක ඔහුගේ අභාවය කියන්නේ එක පැත්තකින් දරා ගන්නත් අමාරුයි අනිත් පැත්තෙන් විශාල පාඩුවක් රටටත්, පක්ෂයටත් මේ රටේ ජනතාවටත්.”

කෝසල නුවන් ජයවීර හැදී වැඩුණේ, දෙහිඕවිට, නාපාවල ග්‍රාමයේ ය.

ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් හා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උසස් අධ්‍යාපනය හදාරා තිබේ.

උසස් අධ්‍යාපනය හදාරන සමයේ මහා ශිෂ්‍ය සංගමයට එක් වී ඇති ඔහු කලක් එම සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කටයුුතු කළේ ය.

සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් ජාතික දේශපාලනයට අවතීර්ණ වූ කෝසල, එම සංගමයේ ජාතික කමිටු සමාජිකයෙකු විය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඔහු දෙහිඕවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් ද කටයුතු කර තිබිණි.

කෝසල නුවන් ජයවීර මිය යන තෙක් ම සමාජවාදී තරුණ සංගමයේ සහ NPP YOUTH කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ය.

එමෙන් ම ඔහු ජාතික ජන බලවේගයේ රුවන්වැල්ල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ද විය.

මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් රුවන්වැල්ල ආසනයෙන් තරග කළ ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වූයේ, මනාප ඡන්ද 61,173ක් ලබා ගනිමිනි.

ඒ අනුව, පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේ ය.

ඔහු එහි වඩාත් ක්‍රියාශීලී සාමාජිකයෙකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ සේවය අගය කර තිබිණි.

කෝසල නුවන් මන්ත්‍රීවරයාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ නීතියට අනුව, මනාප ලයිස්තුවේ මීළඟට සිටින ජාතික ජනබලවේගයේ රඹුක්කන ආසන සංවිධායක සමන්ත රණසිංහ, පත්වනු ඇතැයි අමාත්‍ය ධම්මික පටබැඳි බීබීසි සිංහල සේවය වෙත වැඩිදුරටත් පැවසීය.

මේ අතර, නුවන් කෝසල ජයවීර මන්ත්‍රීවරයාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසුනක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.

ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රියෙල් මස 6 වන දා සිට දස වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව එහි සඳහන් කර ඇත.

1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය අනුව එම දැනුම් දීම කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ ය.

source; bbc.com

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments