කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ සහ ආලේපන ඇතුළු භාණ්ඩ ගබඩා කළ කොළඹ 13 “Orience International Business” පුද්ගලික සමාගමට සහ එහි අධ්යක්ෂවරයාට රුපියල් ලක්ෂයක (රු. 100,000/-) දඩයක් පැනවූ අධිකරණය එම තොගය විනාශ කිරීමටත් නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිල නිවේදනය පහත දැක්වේ.
කල් ඉකුත් වූ ආනයනික ආයුර්වේද ඖෂධ විකිණීම සඳහා අනෙකුත් භාණ්ඩ සමඟ ගබඩා කිරීම, ඒවා විනාශ කිරීම සම්බන්ධ ලේඛන පවත්වා නො ගැනීම සහ උපරිම සිල්ලර මිල හෝ ආනයනකරුගේ තොරතුරු සඳහන් නොකළ ආයුර්වේද ඖෂධ, සුවඳ සබන් සහ ආලේපන වර්ග සන්තකයේ තබා ගැනීම මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කළ කොළඹ 13, ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේ පිහිටි “Orience International Business (Pvt) Ltd” ආයතනයට සහ එහි අධ්යක්ෂවරයාට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා 05ක් යටතේ නඩු පවරා තිබුණේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.05.20 දින සිදුකළ විශේෂ වැටලීමකදී, මෙම ආයතනයේ තිබී කල් ඉකුත් වූ Nephrofit, Dolacare, Asparose, Triphala සහ Ashwagandha ඇතුළු ආයුර්වේද ඖෂධ කැප්සියුල හා පෙති 640කට අධික ප්‍රමාණයක් සොයා ගනු ලැබුවේය.
එමෙන්ම, නිසි ලේබල් තොරතුරු නොමැති සබන්, Face Wash, Shampoo, Day/Night Creams, Hair Oil සහ Juice ඇතුළු ආලේපන හා අනෙකුත් නිෂ්පාදන 280කට අධික ප්‍රමාණයක්ද සොයාගත් අතර, සමස්තයක් ලෙස භාණ්ඩ 920කට ආසන්න තොගයක් මුද්‍රා තබා අත්අඩංගුවට ගත්තේය.
මෙම නඩුව 2026.08.04 දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර සමාගම සහ එහි අධ්යක්ෂවරයා එල්ල වූ චෝදනා 05ටම වරද පිළිගනු ලැබුවා.
ඒ අනුව, අධිකරණය විසින් විත්තිකරුවන් දෙදෙනාට එක් චෝදනාවක් සඳහා රුපියල් 10,000/- බැගින්, සමස්තයක් ලෙස රුපියල් 100,000/-ක (ලක්ෂයක) දඩ මුදලක් නියම කළේය.
ඊට අමතරව, අත්අඩංගුවට ගත් අදාළ ඖෂධ, ආලේපන සහ අනෙකුත් භාණ්ඩ තොගය වහාම විනාශ කර දමන ලෙස ද අධිකරණය විසින් නියෝග කළේය.


