Friday, August 29, 2025
More
    Homeකාන්තා ලෝකයගර්භණී සමයේදී කාන්තාවකට මුහුණ පෑමට සිදුවිය හැකි ප්‍රධාන සෞඛ්‍ය ගැටලු 5ක්

    ගර්භණී සමයේදී කාන්තාවකට මුහුණ පෑමට සිදුවිය හැකි ප්‍රධාන සෞඛ්‍ය ගැටලු 5ක්

    මවක වීමට බලාපොරොත්තු වන ඕනෑ ම කාන්තාවකගේ සිහිනය වන්නේ, නිරෝගී දරුවෙකු බිහි කිරීම ය. එවන් කාන්තාවක දරුවෙකු කුස තුළ පිළිසිඳ ගත් දිනයේ සිට නිරෝගී දරු ප්‍රසුතියක් සිදුවන තෙක් වූ සති 40ක කාලය තුළදී තමන්ට මුහුණ දීමට සිදුවන විවිධ රෝග හා සංකුලතා ගැන තිබෙන නොදැනුවත්භාවය නිසා ම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන අවස්ථා ද ඕනෑ තරම් තිබේ.

    ගර්භණී සමයේදී මව්වරුන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කරුණු සොයා බැලී ය.

    එහිදී බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර පිහිටි විප්ස් ක්‍රෝස් විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය කවින්ද හේවාවිතාරණ බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, මවක සිය ගර්භණී සමයේ විවිධ අවස්ථාවලදී සංකුලතාවන්ට මුහුණ දෙන බව ය.

    අධික ලෙස ඔක්කාරය සහ වමනය ඇති වීම ගර්භණී සමයේ මූලික රෝග ලක්ෂණයක් ලෙස දැකිය හැකි වුවත්, ඇතැම් මව්වරුන්ට එය අධික ලෙස පැවතීම ඇතැම් විට මාරාන්තික සෞඛ්‍ය ගැටලුවකට හේතු පාදක විය හැකි බව වෛද්‍ය කවින්ද හේවාවිතාරණ පෙන්වා දුන්නේ ය.

    “ගර්භණී සමයේදී අම්මා කෙනෙක් මුහුණ දෙන පළවෙනි ගැටලුව තමයි වමනය සහ ඔක්කාරය. ඒකට ප්‍රධාන ම හේතුව තමයි ගර්භණී සමයේදී අම්මා කෙනෙකුගේ ශරීරයේ ඇති වෙන හෝමෝන විචලනය. මේක සාමාන්‍ය තත්ත්වයක් වුණත් ඇතැම් අයට මේ තත්ත්වය අධිකව ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ගර්භණී අම්මලට කෑම කන්න වගේ ම දියර වර්ග බොන්න බැරිව ඇග විජලනය වෙනවා. ඒ අවස්ථාවලදී සිරුරේ අයන අසමතුලිතතාවන් ඇති වෙනවා වගේ ම සීනි සහ විටමින් අඩු වෙලා දරුණු සංකූලතාවලට මුහුණ දෙන්න පුළුවන්. සමහර වෙලාවට මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් මේ තත්ත්වයේදී. ලෝකයේ පිළිගත් සම්මත ක්‍රමවේදයට අනුව, ගර්භණී අම්මා කෙනෙක්ට සුළු වමනය හෝ ඔක්කාර තත්ත්වයක් නම් තියෙන්නේ එතනදී බෙහෙත් තියෙනවා වෛද්‍යවරුන්ට නිර්දේශ කරන්න පුළුවන්.

    දියර වර්ග බොන එක, ඒ වගේ ම සාමාන්‍ය ජීවිතයේ කරන සමහර ක්‍රියාවන් නොකර ඒවා කරන වෙලාවන් වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට උදේ ම දත් මදිනකොට, දිව මදිනකොට වමනේ යන්න පුළුවන්, පිළිකුල්සහගත දර්ශන, ගඳ සුවද දැනෙන දේවල්වලින් මග ඇරලා ඉන්න පුළුවන්. ඒ වගේ ම ගර්භණී අම්මා කෙනෙක් කන්නේ බොන්නේ නැතුව අධික වමනය වගේ ම ඔක්කාරය තියෙනවා නම් වහා ම සුදුසුකම් තියෙන ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් හමුවෙන එක සුදුසු යි.

    මේ අවස්ථාවලදී ඒ රෝගී අම්මාව රෝහල්ගත කිරීමක්, සේලයින්, ඉලෙක්ට්‍රෝලයිට් දියර වර්ග ලබා දීම සිදුකරන්න වෙනවා.

    සමහර අම්මලට තමන්ගේ ගර්භණී සමයේදී දිගින් දිගටම මේ වගේ තත්ත්වයක් තිබීමට හේතු විදිහට ඔවුන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ විචල්‍යතාවක්, මුත්‍රා ආසාදනයන් වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් හඳුනාගෙන ප්‍රතිකාර කරන්න අවශ්‍ය යි.

    මුලින් ම මේ රෝගී ලක්ෂණ ගර්භණී සමයේ පළමු සති 12 -18 කාලයේදී නතර වෙයි කියලා අපි හිතුවත් නවතම පර්යේෂණවලට අනුව මේ තත්ත්වය ගර්භණී කාලයේ ඇති වන ඔක්කාරය සහ වමනය ඇති වීම දරුවා බිහි වෙනකම් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. සමහර වෙලාවට සති 28කින් පස්සේ ගර්භණී අම්මා කෙනෙකුට ඇති වන මේ වගේ තත්ත්වයකදී එයාගේ අක්මාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අවධානය යොමු කරනවා.”

    ගර්භණී සමයේ පළමු සති 12ක කාලය තුළදී සිදුවන රුධිරය වහනය වීම ද සුලභව දැකිය හැකි රෝග ලක්ෂණයක් බව වෛද්‍ය කවින්ද හේවාවිතාරණ පැවසීය.

    “මේකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ගබ්සාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවත් අංශයක් ගැන අපි කතා කරනවා අලුතින් ඇති වන වැදෑමහ ආශ්‍රිතව සුළු රුධිර වහන තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් නම් තියෙන්නේ ඒක ස්වභාවිකව ම නතර වෙනවා.

    ඊටත් අමතරව ගත්ත ම ගැබ් ගෙළ, යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන මස් වැදැල්ලක් හෝ ලේ ගැලීමක් වැනි තත්ත්වයක් වෙන්න හැකියාව තිබෙනවා. ඒ වගේ ම මෝලර් ප්‍රෙග්නසි (Molar Pregnancy) කියන තත්ත්වය. ඒ කියන්නේ ගර්භණී කළලයක් නොවන ඒ හා සමාන පටක වර්ධනය වැනි කරුණු නිසා ගර්භණී සමයේ මුල් කාලයේදී ඇති වන රුධිර වහන තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥයෙකු වෙතට යන එක වඩාත් සුදුසු යි. එතකොට වෛද්‍යවරුන් ඒ ගර්භණී මවගේ සායන ඉතිහාසය, ගැබ් ගෙළ, යෝනි මාර්ගය පිළිබඳ පරීක්ෂණයක් වගේ ම ස්කෑන් පරීක්ෂණයක් කරලා අවශ්‍ය විශේෂ රුධිර පරික්ෂණවලින් රුධිර වහනයට හේතු හොයා ගන්නවා.

    විය හැකි ගබ්සා තත්ත්වයක් ගැන කල් තියා හඳුනා ගත්ත ම ඒ සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ආදිය ලබා දීම සිදුකරනවා. ඒක රඳා පවතින්නේ රෝගියාගේ සායනික ඉතිහාසය මත යි,” ඔහු පැහැදිළි කළේ ය.

    "ගර්භණී සමයේදී අම්මා කෙනෙක් මුහුණ දෙන පළවෙනි ගැටලුව තමයි වමනය කිරීම සහ ඔක්කාරයට ඒම. ඒක සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි ගර්භනී සමයේදී අම්මා කෙනෙකුගේ ශරීරයේ ඇතිවෙන හෝමෝන විචලනය."

    ගර්භණී සමයේදී මවකට ඇති විය හැකි තවත් සුවිශේෂි රෝග ලක්ෂණයක් වන්නේ, දියවැඩියා තත්ත්වය බව වෛද්‍ය කවින්ද හේවාවිතාරණ පැහැදිලි කළේ ය.

    “ගර්භණී කාලය තුළදී ඇති වන දියවැඩියා තත්ත්වය මේකට අපි Gestational diabetes mellitus නැත්නම් GDM කියලත් කියනවා. මේක ඇති වෙන්නේ ගර්භණී සමයේ සති 24 -28 කියන කාලය ඇතුළත. සමහර අම්මලට ඊට පස්සේ වුණත් මේ තත්ත්වය ඇති වෙනවා.

    මේකට හේතු වෙන්නේ, වැදෑමහෙන් නිෂ්පාදනය කරන Human Placental Lactogen නැත්නම් HPL කියන හොර්මෝනය.

    මෙතනදී HPL කියන හොර්මෝනය කරන්නේ අම්මගේ ඇඟෙන් වැඩි ග්ලූකෝස් ප්‍රමාණයක් නිපදවලා ගර්භාෂයේ ඉන්න දරුවට ලබා දෙන එක. මෙතැනදී අම්මගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. එතකොට මේ තත්ත්වයේදී අම්මට වගේ ම දරුවටත් හානියක් වෙන්න පුළුවන්.

    උදාහරණයක් විදිහට සීනි මට්ටම රෝගය වැඩි වුණා ම ලේසියෙන් ම ආසාදනවලට ලක්වෙන්න පුළුවන්.

    ඒ වගේ ම දරුවට ලැබෙන සීනි මට්ටම වැඩි වෙන තත්ත්වය නිසා අධික පෝෂණයත් එක්ක දරුවා ලොකු වෙන්න පටන් ගන්නවා. ඒක හොඳ ලොකු වීමක් නෙමෙයි. ඒකෙන් දරුවා ඉපදෙන කොට අධික බර සහිතවීම, සාමාන්‍ය දරු ප්‍රසුතියකට යන්න බැරි වෙන එක, මව් කුස තුළදී අධික ලෙස දරුවාගේ වර්ධනය නිසා උර හිස සිරවීමේ අවදානම වගේ ම මළ දරු උපතක් සිදුවීමට ඉඩකඩ තිබෙනවා.

    මේ වගේ අවස්ථා නිසා සති 24 -28 කියන කාලය අතර තුරේදී OGTT කියන ග්ලුකෝස් පරීක්ෂණය සිදුකරනවා.

    මොක ද විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ ආසියාතික රටවල ගර්භණී මව්වරුන් අතරේ මේ දියවැඩියා තත්ත්වය බහුලව දකින්න පුළුවන්. මේ නිසා දරුවා පිළිසිඳගෙන සති 12ක් යද්දී වෛද්‍යවරුන් පළමු ලේ පරීක්ෂණය සිදුකරනවා. රුධිරගත සීනි මට්ටම අඩු යි නම් ආපහු සති 24-28 අතර කාලයේදී තවත් පරීක්ෂණයක් කරනවා. කුස තුළ ඉන්න දරුවාගේ අධික වර්ධනයක් පෙන්නුම් කරනවා නම්, කළලය ආශ්‍රිතව තියෙන වෝටර් බෑග් එකේ ජලය අධික ලෙස වැඩි වෙනව නම් වෛද්‍යවරුන් නැවතත් අම්මගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරනවා.

    මෙතනදී ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් වගේ ම දියවැඩියාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ගර්භණී අම්මගේ තත්ත්වය ගැන තීරණයක් ගන්නවා. ඒ වගේ ම රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිහින් තියෙන මව්වරුන් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

    ඒ වගේ අවස්ථාවලදී ගර්භණී අම්මා කෙනෙක් ආහාර ගන්න කලින් වගේ ම පස්සෙත්, ඒ වගේ ම මධ්‍යම රාත්‍රියේදී එක් වරක් සීනි පරීක්ෂා කරනවා. සාමාන්‍යයෙන් දවසට අවස්ථා 07කදී පරීක්ෂා කරනවා.

    රෝගියාගේ සීනි පාලනය කරන ගමන් බොහෝදුරට සාමාන්‍ය දිනයට කලින් දරුවා ප්‍රසූත කරවන්න කටයුතු කරනවා වෛද්‍යවරුන්ගේ තීරණය අනුව.

    මළ දරු උපතක් ඇති වීමේ අවදානම අඩු කර ගන්න කළලයට සති 40ක් වගේ වෙනකොට වෛද්‍යවරුන් බලනවා සාමාන්‍ය ආකාරයට නැත්නම් සිසේරියන් සැත්කමකින් නිරෝගී දරු උපතක් සිදුකරන්න,” ඔහු පැවසුවේ ය.

    "ගර්භණී කාලය තුලදී ඇති වන දියවැඩියා තත්ත්වය මේකට අපි Gestational diabetes  mellitus නැත්නම් GDM කියලත් කියනවා."

    ගර්භණී සමයේදී මවක මුහුණ දෙන අනෙක් සෞඛ්‍යමය අවදානමක් වන්නේ අධිරුධිර පීඩන තත්ත්වය යි.

    ගර්භණී මවකට අධික රුධිර පීඩනය ඇති වන ප්‍රධාන හේතුව, ඇයගේ වැදෑමහ කරණකොටගෙන ඇති වන සංකූලතා බව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය කවින්ද හේවාවිතාරණ පැවසුවේ ය.

    “වැදෑමහ තමන්ට අවශ්‍ය රුධිරය සපයා ගන්නේ ගර්භාෂයේ බිත්තියෙන්. එතනදී වැදෑමහ ගර්භාෂය තුළට කිඳා බහිනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. එතනදී රුධිරය සපයා ගැනීමේදී ඇති වන අපහසුතා නිසා වැදෑමහ අණු වර්ග (molecules) මුදා හරිනවා. මේ ඇති වන අධිරුධිර පීඩන තත්ත්වය සාමාන්‍ය අධිරුධිර පීඩන රෝගී තත්ත්වයට වඩා වෙනස්. මේක පාලනය කර ගන්න අමාරු යි.

    මේ තත්ත්වය නිසා ගර්භණී මවකගේ වකුගඩුවලට, අක්මාවට, ස්නායු පද්ධතියට හානි කරනවා වගේ ම කුස තුළ ඉන්න දරුවගේ වර්ධනයට බලපෑමක් එල්ල කෙරෙනවා.

    සමහර වෙලාවට කුසේදී ම දරුවා අහිමි වෙන්නත් මේ නිසා හැකියාව තියෙනවා.

    මෙතනදී විශේෂයෙන් වෛද්‍යවරුන් කරන්නේ, ඉතා ප්‍රවේශමෙන් අධිරුධිර පීඩනයෙන් පෙළෙන ගර්භණී අම්මගේ තත්ත්වය පාලනය කරන්න කටයුතු කරන එක.

    එතනදී 80 -130 කියන ප්‍රමාණය මත රුධිර පීඩනය පවත්වා ගෙන යන්න අවශ්‍ය යි. ඒ වගේ ම ගර්භණී මව්වරුන්ට විශේෂ ඖෂධ ලබා දෙනවා රුධිර පීඩනය පාලනය කරන්න.

    සැරින් සැරේ මුත්‍රාවලින් ප්‍රෝටින් පිටවීමක් වෙනව ද, අක්මාවේ වගේ ම වකුගඩු ආශ්‍රිතව කරන පරීක්ෂණවල වෙනස්කම් තියෙනව ද කියලා බලලා, දරුවගේ වර්ධනය ගැන ස්කෑන් මගින් පරීක්ෂා කරලා බලලා මේ සියලු දේවල්වල අවසන් නිගමනයකට ඇවිල්ලා තමයි තීරණයක් ගන්නේ වෛද්‍යවරුන් දරුවාව ප්‍රසූත කරන කාල සීමාව ගැන.

    ගොඩක් දුරට මේ වගේ අවස්ථාවලදී අම්මාගේ දරු ගැබට සති 37 හෝ 38ක් වෙද්දී දරු ප්‍රසූතිය සිදුකරන්න වෛද්‍යවරුන් තීරණය කරනවා.

    සමහර වෙලාවට අම්මගේ අවයවවලටත්, දරුවගේ වර්ධනයටත් අධික බලපෑමක් එල්ල වෙලා තියෙනවා නම් සමහර ප්‍රසූත කිරීම් සති 37කට කලින් වුණත් සිද්ධ කරන්න වෛද්‍යවරුන් කටයුතු කරනවා.

    දරුවා බිහි වුණාට පස්සේ අම්මගේ දියවැඩියාව සහ අධික රුධිර පීඩන තත්ත්වය පාලනය වුණත් නැවතත් ගර්භණී සමයේදී මේක ඇති වෙන්න පුළුවන් නිසා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා ම වැදගත්.” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

    ගර්භණී මවක ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන අයුරු

    ඇතැම් ගර්භණී මව්වරුන්ට ඔවුන්ගේ දරු ගැබට සති 28ක් ගත වීමෙන් පසු විවිධ රෝගී තත්ත්වයන් දක්නට ලැබෙන බව ද ප්‍රසව හා නාරිවේද වෛද්‍ය කවින්ද හේවාවිතාරණ පැවසීය.

    “මේ කාලයේදී සමහර අම්මලට විවිධාකාර අසාමාන්‍ය රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර වෙලාවට obstetric cholestasis (OC) කියලා තත්ත්වයක් ඇති වෙනවා.

    සති 28කින් වගේ පස්සේ තමයි දකින්න ලැබෙන්නේ. මෙතැනදී සිද්ධ වෙන්නේ ගර්භණී අම්මගේ අක්මාවේ පිත නිෂ්පාදනය කිරීම අකර්මණ්‍ය වෙලා පිත අම්ල තත්ත්වය සමේ තැන්පත් වැඩි වෙලා මුළු ඇඟ ම කසන්න පටන් ගන්නවා.

    මේකෙන් දරුවාට බලපෑමක් ඇති වෙන්නේ, දරුවා කුස තුළදී ම මලපහ පිට කිරීම සහ මළ දරු උපතක අවදානම වැඩිවෙන්න පුළුවන්.

    මේ වගේ රෝගියෙක් වාර්තා වුණා ම කරන්නේ කැසීම අඩු වෙන්න ඖෂධ ලබා දෙනවා වගේ ම එයාගේ අක්මාවේ වාර්තා අනුව දරුවා ප්‍රසූත කිරීමේ කාර්යය සති 35 ඉඳලා කරන්න වෛද්‍යවරුන් පියවර ගන්නවා.

    ඊට අමතරව සමහර අම්මලා ඇවිත් වෛද්‍යවරුන්ට පැමිණිලි කරනවා තමන්ගේ කුසේ ඉන්න දරුවා දඟලන්නේ නෑ කියලා.

    මේක විශේෂ අවශ්‍යතාවක්. එක එක අම්මලාගේ දරුවා දඟලන විදිහ එක එක්කෙනාට අනුව වෙනස්. එක ම අම්මගේ වුණත් එයාගේ ප්‍රෙග්නන්සි එකෙන් ප්‍රෙග්නන්සි එකට වෙනස් වෙනවා.

    අම්මා තමයි දන්නේ තමන්ගේ දරුවා දඟලන්නේ කොහොම ද කියලා. ඒක නිසා වෛද්‍යවරුන් ගොඩක් වෙලාවට විශ්වාස කරන්නේ අම්මා කියන දෙය යි.

    ගර්භණී සමයේ මුල් කාලයේදී වෛද්‍යවරුන් කරන්නේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන එක.

    නමුත් දරු ප්‍රසූතිය ළංවෙද්දී මේ වගේ කුසේ ඉන්න දරුවා දඟලන්නේ නැහැ කියලා අම්මා කෙනෙක් කිව්වොත් වෛද්‍යවරුන් නිගමනය කරනවා ඉක්මන් දරු ප්‍රසුතියක් කිරීම සුදුසු යි කියලා. මොක ද අපිට වඩා තමන්ගේ කුසේ ඉන්න දරුවගේ හැසිරීම ගැන තේරුමක් තියෙන්නේ අම්මට යි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත්, ගර්භණී සමයේදී කාන්තාවකට මෙවැනි සෞඛ්‍ය ගැටලු සහ විවිධ සංකුලතා ඇති වීම ස්වාභාවික තත්ත්වයක් බව වෛද්‍ය කවින්ද හේවාවිතාරණ පවසයි.

    “ගර්භණී සමයේදී හැම අම්මා කෙනෙකුට ම මේ වගේ රෝගී තත්ත්වයන් වගේ ම සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යය දෙයක් මේ වගේ කාලයකදී.

    තමන්ට ශාරීරිකව කිසියම් හෝ වෙනසක් අපහසුවක් දැනෙනවා නම් ඒක ගැන තමාගේ සහකරුවාට කියන්න. ඒ වගේ ම ඉක්මනින් තමන්ගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හමුවෙන්න.

    තමන්ගේ වෛද්‍යවරයා වගේ ම පවුල් සෞඛ්‍ය සේවිකාව ලබා දෙන උපදෙස් හරියට පිළිපදින්න. ඒ වගේ ම පැහැර හරින්නේ නැතිව මාසික වෛද්‍ය සායනයට සහභාගී වෙන්න අමතක කරන්න එපා.

    ඒ වගේ ම ගර්භණී සමයේදී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න, වෛද්‍ය උපදෙස් අනුව ටිකක් ව්‍යායාම් කරලා සතුටින් දරු ප්‍රසුතියට සුදානම් වෙන්න.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    source: bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments