Saturday, November 29, 2025
More
    Homeකෘෂිකර්මයජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඔබට ලබා දෙන සේවාවන් මොනවා ද ?

    ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඔබට ලබා දෙන සේවාවන් මොනවා ද ?

    ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පාලනය වන පර්යේෂණ හා සංවර්ධන ආයතනයකි. මෙම ආයතනය ආරම්භයේ දී වී අලෙවි මණ්ඩලය යටතේ සහල් සැකසුම් පර්යේෂණ හා සංවර්ධන ආයතනය ලෙස ක්‍රියාත්මක විය. සහල් සහ ධාන්‍ය ආශ්‍රිත පසු අස්වනු තක්ෂණය සම්බන්ධයෙන් මෙම ආයතනය කටයුතු කළේය.

    2000 වර්ෂයේ දී වී අලෙවි මණ්ඩලය අක්‍රිය වීමත් සමඟ සහල් සැකසුම් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විෂය පථය පුළුල්කර පසු අස්වනු තාක්ෂණ ආයතනය පිහිටුවන ලදී . ඒ අනුව වී, ධාන්‍ය, ක්ෂේත්‍ර බෝග, එළවළු, පලතුරු, කැපූ මල් සහ කුළුබඩු ආශ්‍රිත ක්‍රියාකාරකම් ද ආයතනයේ විෂය පථයට එක්විය. 2018 වර්ෂයේ දී ආයතනයේ නම යළි වෙනස් වූ අතර ‘ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය’ ලෙස නම්  කරන ලදී.

    “කෘෂි බෝගවල පසු අස්වනු තාක්ෂණය සම්බන්ධව අප ආයතනය කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලංකාවේ ප්‍රධානතම ජාතික ආයතනය ලෙස ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සැලකිය හැකියි.” ‘සරුබිම’ සමඟ සංවාදයට එක් වෙමින් ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරී ආචාර්ය  W.M.C.B. වාසල මහතා පැවසුවේය.

    • ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ වත්මන් විෂය පථය කුමක්ද ?

    “ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පසු අස්වනු තාක්ෂණය සම්බන්ධව ප්‍රධාන තේමා තුනක් යටතේ පර්යේෂණ සිදු කරනවා. ඒ අනුව, පසු අස්වනු හානිය අඩු කිරීම, කෘෂි ආශ්‍රිත නව නිෂ්පාදන වැඩි දියුණු කිරීම සහ නව නිෂ්පාදන හඳුනා ගැනීම සහ ආහාර වල පෝෂණය සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම යන තේමා තුන යටතේ අපි පර්යේෂණ කටයුතු කරනවා. පර්යේෂණ කටයුතුවලට අමතරව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පුහුණු කටයුතු කරනවා. ඒ අනුව නේවාසික පුහුණු වැඩසටහන් සහ ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් ආදිය අප ආයතනය හරහා සිදුවෙනවා. මේ පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අප සතුව තිබෙනවා. ඒ වගේම ව්‍යාප්ති කටයුතු, සංවර්ධන ව්‍යාපෘති,ඉංජිනේරු සහ රසායනාගාර සේවා මෙන්ම උපදේශණ සේවාද  අප ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

    ජාතික පසු අස්වනු තාක්ෂණ ආයතනයක් වාරියපොල ස්ථාපිත කරයි
    • මේ වැඩසටහන් සිදුවෙන්නේ කොහොමද ? ඒ සහා අනුරාධපුරයටම පැමිණිය යුතුයි ද ?

    අපේ ප්‍රධාන කාර්යාලය අනුරාධපුරයේ ස්ථාපිත කරලා තිබුණත් සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තවත් කාර්යාලයක් තිබෙනවා. එමෙන්ම වාරියපොළ,  මහනුවර, නුවරඑළිය, අම්පාර, හම්බන්තොට සහ කිළිනෝචිචිය යන ප්‍රෙද්ශ වල දිස්ත්‍රික් මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. මේ දිස්ත්‍රික් මධ්‍යස්ථාන හරහා අදාළ ව්‍යාප්ති කටයුතු සිදුවෙනවා.

    • ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සංවර්ධන ව්‍යාපෘති සහ උපදේශනක සේවාත්  ක්‍රියාත්මක කරනවාද ?

    ඔව්, කෘෂි තාක්ෂණයට ක්ෂේත්‍රයට ගෙන යාමට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපේ ආයතනය හරහා උපදේශක සේවාත් ක්‍රියාත්මක වෙනවා. කෘෂි කාර්මික නිෂ්පාදන ආශ්‍රිත නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ආදිය අපේ ආයතනය හරහා ලබා ගත හැකියි.

    • කෘෂි කර්මාන්තයේ දී යාන්ත්‍රික දැනුම සහ රසායනාගාර පහසුකම් ඉතා වැදගත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවාද ?

    ඔව්, අපි ඒ දෙකම කරනවා. අපේ ආයතනය විසින් ඉංජිනේරු සේවා පහසුකම් ලබා දෙනවා. ඇතැම් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය වගේම විශේෂණය අපේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය හරහා ඉටුකර ගත හැකියි. අපේ රසායනාගාර පහසුකම් අපි ප්‍රධාන වශයෙන් පර්යේෂණවලට භාවිත කරනවා. ඊට අමතරව ආහාර සාම්පල් විශ්ලේෂණ වාර්තා ලබා දීමත් අපේ ආයතනය කරනවා. අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කළේ, අපේ ආයතනය සමඟ සම්බන්ධ වෙලා කෘෂි ව්‍යවසායක කටයුතු කරන ව්‍යවසායකයින් වෙනුවෙන්. නමුත් මේ වන විට එම වැඩපිළිවෙළ පොදුවේ ඔ්නෑම කෘෂි ව්‍යවසායකයෙකුට ලබා ගත හැකි සේවාවයක් බවට පත්කර තිබෙනවා. මෙහිදී වැදගත් කරුණක් ගැනත් සඳහන් කළ යුතුයි, ISO 17025:2017 ප්‍රතීතන (Accreditation)  සහතිකය ලත්  විද්‍යාගාර පහසුකම් අපට තිබෙනවා. ඒ අනුව ආහාර තාක්ෂණයට සම්බන්ධයෙන් අප විසින් ලබා දෙන සහතික  ජාත්‍යන්තරව පිළිගන්නවා. මේක අමතර සේවයක් ලෙස අපි රටට කරන විශාල ලේ සේවයක් ලෙස අපි දකිනවා.

    • මේ සේවය ලංකාවේ ඕනෑම කෘෂි ව්‍යවසායකයෙකුටම ලබා ගන්න පුළුවන්ද ?

    ඔව්, මෙම තත්ව සහතික අවශ්‍ය ඕනෑම කෘෂි ව්‍යවසායකයෙකුට  ලබා ගතහැක. අපට සාම්පල් ලබා දීමක් කළොත් අදාළ සහතිකය ලබා දිය හැකියි. ආයතනය නොපැමිණ මේ පහසුකම් ලබා ගත හැකි වන ආකාරයට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

    • මේ සේවාවන් ලබා ගැනීමේදී සහ සහ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වීමේදී යම් මුදලක් ගෙවිය යුතුයි ද ?

    විද්‍යාගාර සේවාවන්, සාම්පල් විශ්ලේෂණය කිරීමේ දී යම් ගෙවීමක් කළ යුතුයි. ඒ වගේම මුදල් අය කරගෙන කරන පුහුණු වැඩසටහන් සහ නොමිලේ කරන පුහුණු වැඩසටහන් තිබෙනවා. ඒ වගේම අවශ්‍යතාව අනුව නොමිලේ වුණත් පුහුණුව ලබා දෙන්න පුළුවන් වැඩසටහන් තිබෙනවා. විශේෂයෙන් අපේ ක්ෂේත්‍ර මධ්‍යස්ථාන මඟින් ලබා දෙන සියලුම පුහුණු වැඩසටහන් නොමිලේ ලබා දෙනවා.

    • මේ පුහුණුව ලබා ගන්න පැමිණිය යුත්තේ කෙසේ ද ?

    ආයතන, ගොවි සංවිධාන ඇතුළු කණ්ඩායම් හෝ තනි තනිව මේ පුහුණුව ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. මේ ආකාරයෙන් අපෙන් පුහුණුව ලබා ගෙන ව්‍යාපාර ආරම්භ කළ විශාල පිරිසක් සිටිනවා. මෙහිදී යළිත් සිහිපත් කළ යුතුයි, අපි ලබා දෙන පුහුණු වැඩසටහන් වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබා දෙනවා.

    • මෙවැනි සේවයක් හෝ පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒක කරන්නේ කොහොමද ? කාටද අමතන්නේ ?

    ඔව්, අපේ ආයතනයට, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය (ජයන්ති මාවත, අනුරාධපුර)  025 3230000 යන ප්‍රධාන දුරකථන අංකයට ඇමතීම මඟින් අදාළ තොරතුරු ලබා ගන්න 025 3230076 අංකයට කතා කරලා අදාළ තොරතුරු ලබා ගන්න පුළුවන්. (Fax 025 2223983 / 2220149 – E-mail info@niphm.lk)

    • කෘෂි කර්මාන්තය ගැන කතා කරන විට පසු අස්වනු හානිය ගැන කතා නොකරම බැහැ, මේ ආශ්‍රිතව විශාල පසු අස්වනු හානියක් සිදුවන බවයි කියන්නේ. මේ සම්බන්ධයෙන් නවතම දත්ත තිබෙනවාද ?

    මීට කලකට පෙර එළවළු සහ පලතුරු ආශ්‍රිතව 30%-40%ක පසු අස්වනු හානියක් සහ ධාන්‍යවල 10%-15%ක පසු අස්වනු හානියක් සිදු වුණ බව වාර්තා වුණා. නමුත් දැනුවත් කිරීම, පුහුණුව සහ නව තාක්ෂණය හඳුන්වා දීම සමඟ එය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව වර්තමානය වන විට ධාන්‍ය වල පසු අස්වනු හාකිය 10%-12% දක්වා අඩුකර ගැනීමට  හැකි වෙලා තිබෙනවා. අපි මීට වසර දෙක තුනකට පමණ පෙර එළවළු සහ පලතුරුවල පසු අස්වනු හානිය සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කළා, එම අධ්‍යනයට අනුව එළවළු සහ පලතුරු ආශ්‍රිත පසු අස්වනු හානිය සැලකිය යුතු ලෙස අඩුව ඇති බව හෙළි වුණා.

    • පලතුරු ආශ්‍රිත පසු අස්වනු හානිය සම්බන්ධ දත්ත මොනවාද ?

    සමස්තයක් ලෙස පලතුරු ආශ්‍රිත පසු අස්වනු හානිය 15%-20% අතර තිබෙනවා. සුලභ පලතුරු වන අඹ සහ ගස්ලබු වල පසු අස්වනු හානිය 15%ක් දක්වා අඩු වෙලා තිබෙනවා. මීට කලකට පෙර මෙම හානිය 40%ක් වැනි ඉහළ අගයක් ගෙන තිබුණා. 30% – 35%ක පැවැති කෙසෙල් වල පසු අස්වනු හානිය මේ වන විට 26% දක්වා අඩුවෙලා තිබෙනවා. කෙසෙල් කැන් වශයෙන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මේ ඉහළ අගය වාර්තා වෙනවා. අලිඇට පේරවල පසු අස්වනු හානිය 20%-25%ක අගයක් වාර්තා වෙනවා. පලතුරු ප්‍රවාහනයේ දී (අඹ සහ ගස්ලබු) ඇසුරුම් භාවිතය ඉහළ යාම සහ ගොවීන්, ප්‍රවානහකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු සමස්ත සැපයුම්දාමයේ දැනුවත් භාවය ඉහළ යාම හේතුවෙන් එහි සමස්තයක් ලෙස පසු අස්වනු හානිය අඩුවෙලා තිබෙනවා.

    • ප්‍රධාන එළවළු වාර්ග වල පසු අස්වනු හානිය කොහොමද ?

    කලකට පෙර 30%-40%ක අගයක පැවති එළවළු වල පසු අස්වනු හානිය මේ වන විට 20%-30%ක් දක්වා අඩු වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස 30%ක අගයක පැවැති වම්බටු වල පසු අස්වනු හානිය වර්තමානය වන විට 20%ක් පමණ දක්වා අඩු වෙලා තිබෙනවා. කැරට් 30% සිට 22% දක්වාත්, 30%-40%ක අගයක පැවති මාළු මිරිස්වල පසු අස්වනු හානිය වර්තමානය වන විට 26%ක් දක්වාත්, තක්කාලිවල පසු අස්වනු හානිය 30%සිට 16% දක්වා අඩුවෙලා තිබෙනවා. (ලී පෙට්ටිවල ප්‍රවාහනය හේතුවෙන්).

    • මේ අඩුවීම සම්බන්ධයෙන් ඔබේ ආයතනය සෑහීමට පත්වෙනවාද ?

    නැහැ, අපි විශ්වාස කරනවා මේ අගය තව දුරටත් අඩුවිය යුතුයි කියලා. නමුත් පසුගිය දශක දෙකක කාලය හා සැසදීමේදී සැලකිය යුතු ලෙස පසු අස්වනු හානිය අවම කර ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.

    • පසු අස්වනු හානිය අවම කිරීම සම්බන්ධයෙන් ‘තීරණාත්මක’ වෙනසක් කරන්න පුළුවන් කාටද ? ගොවියට ද ? ව්‍යාපාරිකයාට ද?  පාරිභෝගිකයාට ද ?

    පසු අස්වනු ක්‍රියාවලියට සම්බන්ධ වන පාර්ශ්ව කිහිපයක් සිටිනවා, මේක සැපයුම් දාමක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. ගොවියා, කෘෂි නිෂ්පාදන එකතු කරන්නා, ප්‍රවාහනකරු, තොග වෙළෙන්ඳා, සිල්ලර වෙළෙන්ඳා සහ අවසාන වශයෙන් පාරිභෝගිකයා. මේ සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. මේ සියලු දෙනාගේම ක්‍රියාකාරීත්වය පසු අස්වනු හානිය අවම කර ගැනීමට ඍජුව අදාළ වෙනවා, බලපානවා. ගොවියා හොඳ නිෂ්පාදනයක් නොදුන්නොත් මේ සමස්ත ක්‍රියාවලියම දුර්වල වෙනවා. නමුත් ගොවියා කොච්චර හොඳ නිෂ්පාදනයක් දුන්නත් ඔහුගෙන් පසු සැපයුම්දාමයේ ක්‍රියාකාරීත්වය දුර්වල වුණොත් පසු අස්වනු හානිය අවම කර ගන්න බැහැ.

    • සැපයුම්දාමයට හා සම්බන්ධ ක්‍රියාවලිය තුළ පසු අස්වනු හානිය අවම කර ගන්න පුළුවන් නේද ?

    ඉතාම පැහැදිලිව ඔව්, නිවැරදි අවස්ථාවේ අස්වැන්න නෙළා ගැනී ඉතාම වැදගත්. ඔ්නෑම බෝගයක අස්වැන්න නෙළාගත යුතු නිවැරදි අවස්ථාවක් තිබෙනවා. ඒ ගැන ගොවියා මනාව දැනුවත්ව සිටිය යුතුයි. ඒ වගේම අස්වැන්න නෙළා ගැනීමට නිවැරදි හා සුදුසු උපකරණ භාවිතය, තේරීම හා වර්ග කිරීම, ප්‍රවාහනයට සුදුසු ඇසුරුම් භාවිතා කිරීම, (සමස්ත පසු අස්වනු හානි වලින් 75%ක් පමණ ප්‍රවාහනයේ දී නිවැරදි ඇසුරුම් භාවිතා නොකිරීම නිසා සිදු වන අතර දැල් ගෝනී භාවිය අතිෂය හානිකරය) පලතුරු ඉඳවීම නිසි ප්‍රමිතියට සිදු නොකිරීම ආදිය හේතුවෙන් පසු අස්වනු හානිය ඉහළ යාම සිදුවෙනවා.

    • අධික මිල ගණන් පසු අස්වනු හානියට යම් බලපෑමක් කරනවාද ?

    ගොවි බිමෙන් ලැබෙන මිල සහ සිල්ලර මිල අතර විශාල පරතරයක් තිබෙනවා, අතරමැදියෝ විශාල පිරිසක් සිටීම මෙයට ප්‍රධාන හේතුවයි. ඒ වගේම අතරමැදියෝ වැඩි වෙන්න – වැඩිවෙන්න මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සිදුවෙනවා. ඒ වගේම පසු අස්වනු හානියත් කෘෂි නිෂ්පාදනවල මිල ඉහළ යාමට හේතු වෙනවා. විශේෂයෙන් සිල්ලර වෙළෙන්ඳා ගැන කතා කළොත් ඔහුට මිලදී ගන්නා සියලුම දේවල් අලෙවි කරන්න බැහැ, යම් ප්‍රමාණයක් නාස්ති වෙනවා, නමුත් ඔහු මිල නියම කරන්නේ මේ නාස්ති වන ප්‍රමාණයත් අල්ලලා. නමුත් ඔහුට මේ සමස්ත මිල ලාභයක් ලෙස ලැබෙන්නේ නැහැ, පසු අස්වනු හානිය (නාස්තිය) ඔහුට ලාභයෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරන්න වෙනවා.

    • නමුත් සුපිරි වෙළෙ සැල්වල තත්ත්වය ඊට වෙනස් නේද ?

    ඔව්, සුපර් මාර්කට්වල පසු අස්වනු හානිය සැලකිය යුතු ලෙස අඩුයි, එය 5%ක් වැනි අගයකයි තිබෙන්‌නේ. මේ නිසා ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයාට ලැබෙන අතර,   ගොවියට සාධාරණ වැඩි මිලක්     ලබා දෙනවා.

    • ඔබගේ අදහස අනුව පසු අස්වනු හානිය අවම කර ගැනීමට ගොවියා ඇතුළු සැපයුම් දාමයේ විවිධ  පාර්ශ්ව කළ යුතු වැදගත් ම දේවල් මොනවද ?

    පසු අස්වනු හානිය අවම කර ගැනීම සම්බන්ධයෙන් වැදගත්ම වගකීම ගොවියාට හිමිවෙනවා. ඔහු මුලින්ම තමන්ගේ වගාව නිසි පරිදි නඩත්තු කළ යුතුයි, හොඳ නිෂ්පාදනයක් ලැබෙන්නේ නිසි පරිදි නඩත්තු කළ වගාවකින් පමණයි, අස්වනු නෙළන අවස්ථාවේදී නියමිත පරිදි අස්වනු නෙළා ගත යුතුයි, ඒ වෙනුවෙන් නිවැරදි උපකරණ සහ තාක්ෂණය භාවිත කළ යුතුයි. ඒ වගේම හොඳ ඇසුරුම්, ප්‍රමිතිගත ඇසුරුම් (ප්ලාස්ටික් ඇසුරුම් ආදිය) භාවිතා කළ යුතුයි.

    ගොවියා සමඟ සමීප කටයුතු කරන්නේ කෘෂි බෝග එක්රැස් කරන්නා, ඔහුටත් කියන්න තියෙන්නේ මනා, ප්‍රමිතිගත තේරීමක් කළ යුතුයි, ගොවියගෙන් හැම දේම මිල ගන්නවා වෙනුවට (කෘමිහානි වැනි) නිසි ප්‍රමිතියකින් යුත් බෝග මිලදී ගත යුතුයි, ඒ වගේම නිවැරදි ඇසුරුම්වල ප්‍රවාහනය කළ යුතුයි, එහිදී නිෂ්පාදනවලට හානි අවම වන ආකාරයෙන් ඇසුරුම් කිරීම, පැටවීම, ප්‍රවාහනය හා බෑම කළ යුතුයි.

    මෙහිදී ප්‍රවාහනකරුවන් වෙතත් සැලකිය යුතු වගකීමක් තිබෙනවා. ප්‍රවාහනයේ දී හැකි තරම් කාලය අවම කරගත යුතු අතර අධික ලෙස පැටවීම නොකිරීම, උෂ්ණත්වය අඩු කාලයේදී ප්‍රවාහනය කිරීම කළ යුතු අතර පැටවීමේදී හා බෑමේ දී වඩාත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි.

    තොග වෙළෙඳුන් ද ඉහත ක්‍රියාවලිය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ගබඩා කරන හෝ අලෙවි කරන ස්ථාන මනාව පිරිසිදු කිරීම, මනා වාතාශ්‍රයක් සහිතව පවත්වා ගෙන යාම කළ යුතුයි. ඒ වගේම සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. නරක් වූ එළවළු හා පලතුරු බැහැර කිරීමේද ඒවා ආසන්න ස්ථානවල බැහැර නොකළ යුතුයි. විශේෂයෙන් පලතුරු ඉඳවීමේදී දැඩිව කල්පනාකාරී විය යුතුයි. කෘත්‍රිම ඉඳවීම වාණිජ වෙළදාමේදී අවශ්ය වුවත්, එය නිවැරදිව ප්‍රමිතිගතව කළ යුතුයි. ඒකට හේතුව තමයි වැරදි ක්‍රම භාවිතයෙන් හානිය ඉහළ යාමට වැඩි ඉඩක් තීබීමයි.

    මෙම නිවැරදි ක්‍රම භාවිතයෙන් පසු අස්වනු හානිය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකියි.

    රතුඉර පුවත්පතේ 2025 නොවැම්බර් 23 කලාපයේ ප්‍රකාශයට පත් වූ ලිපියකි.

    සංවාද සටහන – භාතිය බරුකන්ද

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments