හෝමෝන නිපදවීම වකුගඩු මගින් සිදු කෙරෙන වැදගත් කාර්යයන්ගෙන් එකක් බව වෛද්‍යවරු පවසති. වකුගඩු යනු මිනිස් සිරුරේ වැදගත් අවයවවලින් එකක් වන අතර ශරීරය නිරෝගීව තබා ගැනීම සඳහා ඒ මත වගකීම් රැසක් පැවරී තිබේ.
වකුගඩු නිරෝගීව තබා ගැනීමට ලුණු සමබර ප්‍රමාණයකින් පරිභෝජනය කරන ලෙසත්, අධික සීනි පරිභෝජනයෙන් වැළකී සිටින ලෙසත්, වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව වේදනා නාශක ඖෂධ භාවිත නොකරන ලෙසත් වෛද්‍යවරු බොහෝ අවස්ථාවලදී උපදෙස් ලබා දෙති.
වකුගඩු මත අධික පීඩනයක් එල්ල වීම වළක්වා ගැනීම සඳහා තවත් පියවර රැසක් තිබේ.
එසේ නම්, වකුගඩු නිරෝගීව තබා ගැනීමට ජලය කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතු ද?

අපගේ ශරීරයේ ඉලෙක්ට්‍රෝලයිට් සමබරතාව පවත්වාගෙන යාම වකුගඩු මගින් සිදු කෙරේ. එය සෝඩියම් සහ පොටෑසියම් වැනි මූලද්‍රව්‍යවල ප්‍රමාණය පාලනය කරයි.
ජාත්‍යන්තර වෘක්ක වෛද්‍යවේද සංගමයේ හිටපු සභාපති සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ ජෝර්ජ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විවේකානන්ද් ජා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥයෙකි.
ඔහු පවසන්නේ, “ආහාර මගින් හෝ වෙනත් ක්‍රම මගින් අප පරිභෝජනය කරන අනවශ්‍ය දේ ශරීරයෙන් ඉවත් කරන්නේ වකුගඩු හරහා,” බව ය.
“වකුගඩු ශරීරය තුළ හෝමෝන වර්ග බොහෝමයක් නිපදවන අතර, ඒවාට රුධිරය සාදන හෝර්මෝනය, රුධිර පීඩනය පාලනය කරන හෝර්මෝනය සහ ඛනිජ ලවන (electrolyte) සමතුලිතතාව පවත්වා ගන්නා හෝර්මෝන ඇතුළත් වෙනවා,” වෛද්‍ය විවේකානන්ද් ජා පවසයි.
අපගේ ශරීරය තුළ රසායනික ප්‍රතිචාර ක්‍රියාවලියට සම්බන්ධ සෑම ක්‍රියාවලියක් සඳහා ම ඛනිජ ලවන (electrolyte) සමතුලිතතාව පවත්වා ගැනීම අතිශයින් වැදගත් වේ.
උදාහරණයක් ලෙස, හදවතේ සෑම සෛලයක් ම නිසි ලෙස ක්‍රියාත්මක වීම සඳහා, නිශ්චිත ප්‍රමාණයක ඛනිජ ලවණ අවශ්‍ය වේ.
ඛනිජ ලවණ ප්‍රමාණය අසමතුලිත වන්නේ නම්, මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල විය හැකි අතර මාංශ පේශිවල කාර්යක්ෂමතාව අඩු වීම සහ ස්නායු පද්ධතියට බලපෑම් ඇති වීම ද සිදුවිය හැකි ය.
“වකුගඩු නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් විටමින් ඩී ලබා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. විටමින් ඩී කොපමණ ප්‍රමාණයක් ලබා ගත්තත් එයින් ශරීරයට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ,” බැංගලෝර්හි මනිපාල් රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ගරිමා අගර්වාල් පවසයි.
වකුගඩු රුධිර පීඩන නියාමකයක් (voltage stabilizer) ලෙස ද හැඳින්වේ. යම් අයෙකු අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ජලය පානය කරන්නේ නම් වකුගඩු මගින් එම අමතර ජලය ශරීරයෙන් ඉවත් කරයි.

ඔබ ජලය කොපමණ පානය කළ යුතු ද?
අපට පිපාසය දැනෙන්නේ, කුමන අවස්ථාවක ද එය ශරීරයට ජලය අවශ්‍ය බවට කෙරෙන සංඥාවකි.
”අපේ වකුගඩු සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න අප දිනපතා පානය කළ යුතු නිශ්චිත ජල ප්‍රමාණයක් නැහැ. අපගේ ශරීරයට කොපමණ ජල ප්‍රමාණයක් අවශ්‍ය ද යන්න පවසන්නේ අපගේ ශරීරය ම යි. පිපාසය දැනීම කියන්නේ වතුර අවශ්‍ය බවට ලැබෙන සංඥාවක්,” වෛද්‍ය විවේකානන්ද් ජා පවසයි.
දහදිය සහ හුස්ම ගැනීම වැනි ආකාර කිහිපයකින් ශරීරයෙන් ජලය පිට කෙරෙන බව ඔහු පැහැදිලි කරයි.
මෙය හැරුණු විට නොපෙනෙන ක්‍රියාවලි කිහිපයක් ද ඇත, ඒවා මගින් ද ශරීරයෙන් ජලය පිටවේ.
එවැනි තත්ත්වයක් තුළ, වැඩිහිටියෙකුට දිනකට අවම වශයෙන් ජලය මිලි ලීටර් 700 සිට 800 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වේ.
කෙසේ වෙතත්, සාමාන්‍ය ජලය පානය කිරීමෙන් පමණක් ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය නොලැබෙන අතර කිරි, පලතුරු යුෂ හෝ බටර් මිල්ක් වැනි ද්‍රවමය ආහාර වර්ග මගින් ද ශරීරයට ජලය ලැබේ.
පුද්ගලයෙකුට අවශ්‍ය ජල ප්‍රමාණය ඔහුගේ වයස, ශාරීරික ක්‍රියාකාරකම් සහ පරිසරය මත රඳා පවතින බව ද දැනගැනීම වැදගත් වේ.
යම් අයෙකු ජීවත් වන්නේ, උණුසුම් දේශගුණයක් පවතින පරිසරයක නම්, ඔහුට ජලය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.
“සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට ජලය ලීටර් තුන හමාරක් අවශ්‍ය වෙනවා. ඒ ජල ප්‍රමාණය හුදෙක් ජලයෙන් ම පමණක් සපුරාලීමේ අවශ්‍යතාවක් නැහැ. ඒක පරිභෝජනයට සුදුසු ඕනෑ ම දියර වර්ගයක් මගින් සපුරා ගන්න පුළුවන්. අපි ශරීරයේ ජල සමබරතාව පවත්වා ගන්නේ නම්, මුත්‍රා ආසාදන ඇති වීමට පවතින අවස්ථාත් අඩු යි,” දිල්ලියේ පට්පර්ගන්ජ්හි මැක්ස් රෝහලේ මුත්‍රා රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සයිලේෂ් චන්ද්‍රා සහේ පවසයි.
”හෘදයාබාධ හෝ වකුගඩු රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ එම ඉන්ද්‍රියයන් මත වැඩි පීඩනයක් ඇති නොවීම සඳහා ඔවුන් පානය කරන ජලය ප්‍රමාණය තරමක් සීමා කර තිබෙනවා “
“වකුගඩු මගින් ශරීරයේ තිබෙන ජල ප්‍රමාණය සමතුලනය කරනවා. ඔබ වැඩිපුර ජලය පානය කර තිබේ නම්, වකුගඩු මගින් ඒවා පිට කරනවා, ඔබ ජලය අඩුවෙන් පානය කරන්නේ නම්, ඒ හා සමාන ජල ප්‍රමාණයක් ශරීරය තුළ තැන්පත් වෙනවා. පුද්ගලයෙකුට පානය කළ යුතු නිශ්චිත ජල ප්‍රමාණයක් නැහැ. කොහොම වුණත් සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටියෙකු දිනපතා ජලය ලීටර් දෙකක් හෝ තුනක් පානය කළ යුතු යි,” වෛද්‍ය ගරීමා අගර්වාල් පවසයි.
ශරීරයේ ජල අවශ්‍යතාව පුද්ගලයාගේ ශරීර ප්‍රමාණය මත රඳා පවතී. උදාහරණයක් ලෙස කුඩා දරුවන්ට අවශ්‍ය වන්නේ වැඩිහිටි පුද්ගලයින්ට වඩා අඩු ජල ප්‍රමාණයකි.
වකුගඩු නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය පහසු සහ මූලික උපදෙස්
ඔබේ වකුගඩු නිරෝගීව තබා ගැනීමට සමබර ආහාර වේලක් අත්‍යවශ්‍ය වේ.
ඔබේ වකුගඩු නිරෝගීව තබා ගැනීමට ඇති වඩාත් සුදුසු මූලික පියවර වන්නේ, සමබල ආහාර වේලක් ලබා ගැනීම, ඔබේ සිරුරේ බර පාලනය කර ගැනීම සහ නිතිපතා ශාරීරිකව ක්‍රියාකාරකම් සිදු කිරීම ය.
“ලුණු පරිභෝජනය අඩු නිසා මැද පෙරදිග රටවල වකුගඩු රෝග ගොඩක් අඩු යි. නමුත් ඉන්දියාව වගේ රටවල ගොඩක් අය වැඩිපුර ලුණු පරිභෝජනය කරන නිසා එම තත්ත්වය වකුගඩුවලට බලපානවා,” ආචාර්ය ගරීමා අගර්වාල් පවසයි.
පුද්ගලයෙකු ලුණු හෝ සීනි අධික ලෙස පරිභෝජනය කරන විට, සමබරතාව පවත්වා ගැනීම සඳහා වකුගඩු මත අමතර පීඩනයක් ඇති වේ. මෙම පීඩනය වකුගඩුවල ක්‍රියාකාරිත්වය සඳහා දිගු කාලීනව බලපෑ හැකි ය.
මීට අමතරව බොහෝ පුද්ගලයින් අධිරුධිර පීඩනය හේතුවෙන් දිගුකාලීනව පීඩා විඳින, නමුත් ඔවුහු එය බැරෑරුම් ලෙස නොසලකති. වෛද්‍යවරුන්ට අනුව අධිරුධිර පීඩනය පවතින්නේ නම් රුධිර පීඩනය සමතුලිතව තබා ගැනීමට වකුගඩුවලට වැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වන හෙයින් එම තත්ත්වය වකුගඩුවලට ඍජුව ම බලපෑම් එල්ල කරයි.
එබැවින් යම් පුද්ගලයෙකුට අධිරුධිර පීඩනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම්, වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ මගින් එය පාලනය කර ගත යුතු ය.
”මම ඖෂධීය ආහාර ලබා ගැනීම ගැන විරුද්ධ නැහැ, නමුත් ඔබ මොනවා ආහාරයට ගත්තත් වෛද්‍යවරයෙකුගේ හෝ විශේෂඥයකුගේ උපදෙස් අනුව ඒවා ආහාරයට ගන්න. ඔබේ අභිමතය අනුව අලෙවි සලකින් කිසි ම ඖෂධයක් මිල දී ගන්න එපා. විශේෂයෙන් ම වේදනා නාශක ඖෂධ. මොක ද ඒවායින් වකුගඩුවලට හානි විය හැකි නිසා,” වෛද්‍ය ගරීමා පවසයි.
වකුගඩු නිරෝගීව තබා ගැනීමට ලබා දෙන තවත් වැදගත් උපදෙසක් වන්නේ, දුම්පානයෙන් වැළකී සිටීම ය. ඒ, දුම්කොළ සහ එම නිෂ්පාදන ද වකුගඩුවලට ඍජුව ම බලපෑම් එල්ල කරන හෙයිනි.
source: bbc.com/sinhala