
රෝහිණී කවිරත්න – පාර්ලිමේන්තු මන්ත්‍රිනී, සමගි ජන බලවේගය
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය අවසන් වුණා. නමුත් විපක්ෂයේ ඇතැම් පිරිස් කිව්වේ මේක දෙවැනි ගෝල්ෆේස් අරගලයේ ඇරඹුම බවයි. ඇත්තටම මොනවද මේ වෙන්නේ ?
සමගි ජන බලවේගයේ අපි බොරදියේ මාළු බාන්න ගියේ නැහැ. නමුත් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව හරිම සංකීර්ණ ගැටලුවක්. 2012 දී සංවර්ධන නිලධාරීන් ලෙස පත් වීම් ලද අයත් ගුරුවරු ලෙස පාසල්වල වැඩ කරනවා. ඒ වගේම අවුරුදු හත අට පමණ කාලක් ගුරුවරු ලෙස පාසල්වලට අනුයුක්ත කළ සංවර්ධන නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. ගුරුවරු කළ සියලුම රාජකාරී කටයුතු ඔවුනුත් කරනවා. මේ පිරිස අවුරුදු හත අටකට වඩා ගුරු සේවයේ අත්දැකීම් තිබෙන අය. පසුගිය කාලය පුරාම විවිධ දේශපාලන පක්ෂ මේ අයට පොරොන්දු දීලා ඡන්දය ලබා ගත්තා. වත්මන් මාළිමාව ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයේ මේ කණ්ඩායමට පොරොන්දු වුණා තමන් බලයට පත් වුණ විගස, ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ඔවුන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කර ගන්නා බවට. මාළිමාව ඒ බලාපොරොත්තුව මේ සංවර්ධන නිලධාරීන්ට දුන්නා. අපි කියන්නේ මේ ගැටලුව දිහා සංවේදීව බැලිය යුතුයි. ඔවුන් උපවාසය අවසන් කළේ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසුවනේ. ජනපතිවරයා ඔවුන්ට යළි පොරොන්දුවක් ලබාදී තිබෙනවා. මං හිතනවා ජනාධිපතිවරයා දුන්න වෙනත් පොරොන්දු වාගේ මේකත් පොරොන්දුවක් පමණක් නොවේවි කියලා. ඒකට හේතුව තමයි මේ 16,000කට අධික සංවර්ධන නිලධාරීන් නිසා පාසල් බොහෝ ප්‍රමාණයක් රැකෙනවා. මම අත්දැකීමෙන් දන්නවා සමහර දුෂ්කර පාසල් වල විදුහල්පතිවරයා සහ සංවර්ධන නිලධාරීන් කිහිප දෙනෙක් පමණයි ඉන්නේ. ඒ තරම් ගුරු හිඟයක් අපේ රටේ තිබෙනවා. 43,000ක ගුරු හිඟයක් තිබෙනවා. ආණ්ඩුව කියනවා 23,00ක් බඳවා ගන්නවා කියලා. ඒත් 20,000ක හිඟයක් තිබෙනවා. මේ අලුතින් බඳවා ගන්නා 23,000 ගුරුවරු ලෙස පුහුණුව ලබා පැමිණිය යුතුයි. ඒකටත් සැලකිය යුතු කාලයක් යනවා. ඒ තත්ත්වය සැලකිල්ට ගත් විට මේ ඉන්න අයට විධිමත් පුහුණුවක් ලබාදීලා ඔවුන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කර ගැනීමට යම්කිසි විධිමත් ක්‍රමවේදයක් සැකකීම හොඳයි කියලා මම හිතනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරිය ‘තදින්’ ඉන්න බවක් පේනවා. ආණ්ඩුවත් ඒ වෙනුවෙන් දැඩිව පෙනී ඉන්නවා. ආණ්ඩුව රට පුරා සම්මන්ත්‍රණ තියනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මේ මොකද වෙන්නේ ?

මුලින්ම කියන්න ඔ්නෑ මේ අවස්ථාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුවෙන්නේ නැහැ. නියමිත කාල පරිච්ඡේදය තුළ සිදුකළ යුතු විෂයමාලා සංශෝධනයක් තමයි මේ සිදුවෙන්නේ. සරලව පැහැදිලි කළොත් 2022 දී සිදුකළ යුතුව තිබුණ විෂයමාලා සංශෝධනය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ විෂයමාලා සංශෝධනය කල් ගියා. මේ ක්‍රියාත්මක වෙන්නේ එයයි. ඒ නිසා මේක කිසිසේත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියලා කියන්න බැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරන විට කුළුණු පහක් ගැන අවධානය යොමු කරනවා. නමුත් වත්මන් ආණ්ඩුව වැඩි බරක් දාලා තියෙන්නේ මේ කුළුණු පහේ එක කුළුණක් වන විෂය මාලා සංශෝධනයටයි. නමුත් මේ වැඩපිළිවෙළ තුළ යම් යම් බරපතළ ගැටලු තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරිය ‘තදින් හිටියා’ කියලා මේ ගැටලු වලට විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි පසුගිය වසරේ සිට කිව්වා මේ වෙනුවෙන් ධවල පත්‍රිකාවක්, සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒත් ඒක වුණේ නැහැ. මේ ගැන දේශපාලනඥයෝ කතා කරලා වැඩක් නැහැ. ඒ ගැන කතා කළ යුත්තේ අධ්‍යාපනඥයෝ, විෂය ප්‍රවීනයෝ. ක්ෂණික නූල්ඩ්ස් හදනවා වාගේ අධ්‍යාපන ප්‍රතිංස්කරණ ක්‍රියාත්මක කරන්න බැහැ. ඒකට දීර්ඝ කාලීන සාකච්ඡාවක් අවශ්‍යයි. ඒ සාකච්ඡාව තුළින් පමණයි රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න තදින් සිටීම වැදගත් නැහැ. වැදගත් වෙන්නේ නම්‍යශීලී වීමයි. සාකච්ඡාවෙන් සම්මුතියකට ඒමයි. විපක්ෂයේ පැහැදිලි ස්ථාවරය එයයි.
විපක්ෂයේ අදහසට ආණ්ඩුව කන්දෙනවාද ?
කිසිසේත්ම නැහැ. පසුගිය දා පාර්ලිමේන්තුවේදී අපේ නලීන් බණ්ඩාර මහත්මයා පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න කළ විට ඇයගේ පිළිතුර වුණේ, හය වසර මොඩියුල් විනාශ කළේ නැහැ, ඒවා 2027 වසරේදී පාවිච්චියට ගන්නවා කියන එකයි. නමුත් අපේ ප්‍රශ්න තමයි, එක මොඩියුලයක නම් ප්‍රශ්නයක් තිබුණේ (හය වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ) ඇයි එසේ නම් හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල් දැම්මේ. ඇයි අධ්‍යාපන අමාත්‍යවරිය සහ ආණ්ඩුව මේ තරම් වගකීම් විරහිත ලෙස කටයුතු කරන්නේ ?. ආණ්ඩුව මේ සෙල්ලම කරන්නේ ළමයි එක්ක. ඒ නිසා මිට වඩා විධිමත්ව, විවෘත කතිකාවතක් සමඟ මේවා ක්‍රියාත්මක කළ යුතුයි. ඒක අමාත්‍යාශවල සීතල කාමරවල කරන සාකච්ඡාවක් නොවිය යුතුයි. ඒක පැහැදිලිවම රටේ ජනතාව, විද්වතුන් සහ වෘත්තිකයින් සමඟ කරන විවෘත කතිකාවක් විය යුතුයි. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ ගැටලු ගණනාවක් තිබෙනවා. ඒ තැන්වල ගැටලු තිබෙනවා නම් එතැනින් පහළ තැන් ගැන කතා කරලා වැඩක් නැහැනේ. ‘යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නම් හාල් මල්ල බලන්නෙත්වත් නැතිව විසි කරපන්’කියලා කිව්වා වාගේ කතාවක් මේක. ඒ නිසා අපි කියනවා, ‘අපි හරි’ කියන්න රට පුරා සම්මන්ත්‍රණ තියන එක තුළින් නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මීට වඩා වගකීමෙන් මේක කළ යුතුයි.

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ පළමු සභාපතිනිය පසුගිය දා ඉල්ලා අස් වුණා. යළිත් අසන්න තියෙන්නේ මොකක්ද මේ වෙන්නේ ?
ඇත්තටම මේ ගැන මම දැඩි ලෙස කනගාටුවට පත්වෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියෝ හිටියේ 12 දෙනයි. කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ගරු සභාපතිනිය වුණේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය. මමත්, සීතා අරඹේපොළ මැතිණියත් උප සභාපතිවරියන් ලෙස කටයුතු කළා. අපි බොහෝ වෙහෙස මහන්සි වෙලා තමයි ‘2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත’ සම්මත කර ගත්තේ. ඒ පනත 2024 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වුණා. ඒ පනත අනුව තමයි කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ස්ථාපිත කළේ. මෙම පනත කාන්තාවන් සවිබලගැන්වීමට අවශ්‍ය විධිවිධාන සැලසීමත්, කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමත්, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමත් අරමුණු කරගෙන සම්මත කර ගන්නා ලද පනතක්. එමෙන් ම, ඒ හරහා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමටත්, එම අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී නඩු පැවරීමට සහ ඒ සම්බන්ධ අනෙක් කරුණු සඳහා විධිවිධාන සැපයීමටත් ප්‍රතිපාදන සලසා තිබුණා. එදා අපි කොහොම හරි මේ පනත සම්මත කරගෙන කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට අවශ්‍ය අඩිතාලම දැම්මා. අද අපට ආණ්ඩුව සමච්චල් කරනවා ‘නැටිවල එල්ලා ආවා’ කියලා. අපි නැටිවල එල්ලිලා ආවත් වැඩක් කළා. නමුත් මාළිමාවට අග්‍රාමාත්‍යවරිය ද ඇතුළුව කාන්තා මන්ත්‍රීවරියන් 20 දෙනෙක් ඉන්නවා. ඔවුන් අද අපි කියන කිසිම දේකට කන්දෙන්නේ නැහැ. කාන්තා කොමිෂමේ සභාපතිනිය පත් කරන විට අපි යෝජනා ඉදිරිපත් කළා. නමුත් කාන්තා කොමිෂමේ පළමු සභාපතිනිය ලෙස පත් කළ ආචාර්ය රමණි දේවිකා ජයසුන්දර පසුගිය දා ඉල්ලා අස් වුණා. ඇයට මාස හතරක් වගේ කෙටි කාලයක් තුළ මේක එපා වෙලා. ඇය ඉල්ලා අස්වීමට හේතු ලෙස කිව්වේ කුමක් ද ? කොමිෂමේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වෙනවා කියලා ඇය කිව්වා, ඒ වගේම කොමිෂමට අවශ්‍ය මුදල් වෙන් කරලා නැහැ, මේ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් වේලාවක් ඉල්ලුවත් ඒ අවස්ථාවත් දීලා නැහැ. මම මේ ගැන පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. මේ දරුවා හැදුවේ අපි, ඒ දරුවව පෝෂණය ක කරන්න දුන්නේ මාළිමාව ආණ්ඩුවට. ඒත් ඔවුන් ඒ දරුවව පෝෂණය කළේ නැහැ. මේ ගැන විශේෂ ප්‍රකාශයක් විපක්ෂ නායකතුමත් කළා. එතුමා කිව්වා කාන්තා කොමිෂමට ප්‍රතිපාදන අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න කියලා. මේ රටේ ‘කාන්තාවෝ එක මිටට’ කියලා ඡන්ද පොළට දක්කලා ඔවුන්ගේ ඡන්දය ලබා ගත්තා. නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ථාපිත කළ කොමිෂම අකර්මන්‍ය කරනවා. අපි ඒ ගැන කණගාටු වෙනවා වගේම අපේ අප්‍රසාදයත් පළ කරනවා.
ආණ්ඩුව ඇයි ස්වාධීන කොමිෂන් සභාවලට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ලබා නොදෙන්නේ ?
කාන්තා කොමිෂමට පමණක් නොවෙයි තොරතුරු කොමිෂමට, අල්ලස් කොමිෂමට පවා ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන ලබා දෙන්න ආණ්ඩුව සූදානම් නැහැ. ආණ්ඩුව ඉතාම පැහැදිලි ලෙස ස්වාධීන කොමිෂන් සභාවලට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වනවා. ආණ්ඩුවට උතුරන්න සල්ලි තියෙනවා කියලා කිව්වට ස්වාධීන කොමිෂන් සභා වාගේ අවශ්‍ය තැන්වලට ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැ. ස්වාධීන කොමිෂන් සභා නිසයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය තහවුරු වෙන්නේ, ආරක්ෂා වෙන්නේ. ඒත් මේ ආණ්ඩුව ස්වාධීන කොමිෂන් වලට බයයි, ඒවා ස්වාධීනව කටයුතු කරනවාට බයයි. ඒ මේ ටික කාලයට ඔවුන් කළ දූෂණ, වංචා සහ අක්‍රමිකතා මේ ස්වාධීන කොමිෂන් සභා හරහා එළිවෙයි කියන බයට, ආණ්ඩුවේ ඉදිරි කටයුතුවලට බාධාවක් වෙයි කියලා තියෙන බයට.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයා කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් කරනවා. මේක අපි මීට පෙර නොදටු තත්ත්වයක්. ඇත්තටම මේ මොනවද වෙන්නේ ?
මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. සිදු නොවිය යුතු දෙයක්. වත්මන් කතානායකවරයා සම්බන්ධයෙන් අපටත් බරපතළ විවේචන තිබෙනවා. ඔහු ඉතාම පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ. ඒක විපක්ෂයේ අපට පමණක් නොවෙයි රටටම පේනවා. ඔහු විපක්ෂය මර්ධනය කිරීමේ වෑයමක ඉන්නේ. ඔහු වෙනස් පාරක යන්නේ. අනික හිටපු නියෝජ්‍ය මහ ලේකම්තුමාට අපිට නොපෙනෙන ඇතුළේ තියෙන දේවල් පේනවා ඇතිනේ. මටත් කතානායකවරයා ගැන කියන්න දේවල් තියෙනවා. ඒත් ඒවා ප්‍රසිද්ධියේ කියන්න බැහැ. ඒවා අපි ඇහට දැකපු දේවල් තියෙනවා.
ඔබට සමගි ජන බලවේගය පාක්ෂිකයින් ඇතුළු ජනතාවට කියන්න දෙයක් තිබෙනවාද ?
ඔව්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගේම මේ ආණ්ඩුවත් බලයට ගෙනාවේ සමාජ මාධ්‍ය. නමුත් දැන් ඒ සියල්ල කණපිට හැරලා තිබෙනවා. මේ ආණ්ඩුව බලයට ගෙන ආ පාවෙන ඡන්ද දැන් ඇත්ත තත්ත්වය වටහා ගෙන තිබෙනවා. මේ ආණ්ඩුවට ගමනක් නැහැ කියලා ඔවුන් වටහා ගෙන තිබෙනවා. මම ඔවුන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. සමගි ජන බලවේගයට ඡන්දය දුන්න අය දැන් ඒ ගැන සතුටු වෙනවා ඇති. ඉදිරියේ දී පවත්වන ඔ්නෑම මැතිවරණයකින් සමගි ජන බලවේගය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා පක්ෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
සටහන – භාතිය බරුකන්ද


