ඉතිහාසය වෙනස් කරමින් කොළඹ නගර සභාවට තේරී පත් වූ දෙවන පුරපතිනිය
2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත් වූවා ය.
පැවති රහස් ඡන්දයෙන් ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61ක් දිනා ගනිමින් නගරාධිපති ධූරයට පත්විය.
කොළඹ මහ නගර සභාවට තරග කළ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි කර ගැනීම නොහැකි වීම හේතුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 16) පැවති මංගල සභා වාරයේදී ඉදිරිපත් වූ නාම යෝජනා අතරින් වැඩි ඡන්ද ගණනක් ලබා ගෙන කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය බවට පත් වීමට ඇයට හැකි විය.
මෙතෙක් පැවති පුරපති සටන අවසන් කරමින් ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක් වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය යි.
කොළඹ නව පුරපතිනියගේ අධ්‍යාපන සුදුසුකම් මොනවා ද?
1985 වසරේ අප්‍රේල් මස 10 වන දා උපන් ව්‍රායි කැලී බල්තසාර් කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබේ.
උසස් පෙළ අවසන් කිරීමෙන් අනතරුව ඇය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් ලබා ගෙන ඇත.
එමෙන් ම ඇය කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක ද වේ.
ඇය තවදුරටත් එම විෂය යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාපති උපාධියක් ද හදාරමින් සිටී.
නිවේදිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියක්
දෙදරු මවක වන ඇය වසර දහයකට වැඩි කාලක් රූපවාහිනී ඉංග්‍රීසි භාෂා නිවේදිකාවක ලෙස කටයුතු කර තිබේ.
තව ද නගර සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කම්කරු අයිවාසිකම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධව පර්යේෂිකාවක ලෙස ත් ව්‍රායි කැලී බල්තසාර් කටයුතු කර ඇත.
2018 වසරේ සිට විවිධ සංවිධාන සමග එක්වී කාන්තාවන් සහ ළමුන් පිළිබඳව සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කර ඇති ව්‍රායි කැලී බල්තසාර් 2021 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයෙන් ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයට එක්වූවා ය.
ජවිපෙ දේශපාලනයට පිවිසීම සහ මැතිවරණයට ඉදිරිපත් වීම
2023 වසරේ ජාතික ජන බලවේගයේ කොළඹ කණ්ඩායම් නායිකාව ලෙස පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වූ ඇය 2024 වසරේ පැවති මහ මැතිවරණයට ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළා ය.
එහිදී නැගෙනහිර කොළඹ නියෝජනය කරමින් ඡන්ද 44,663ක් ලබා ගත් නමුත් ඇයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් අහිමි විය.
අනතුරුව 2025 වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීමට ජාතික ජන බලවේගයේ කොළඹ කණ්ඩායම් නායිකාව ලෙස, කොළඹ මහ නගර සභාවේ තිඹිරිගස්යාය කොට්ඨාසය නියෝජනය කරමින් ඡන්ද 2,094ක් ලබා ගෙන ජය ගත් ඇය අවසානයේ කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය වීමේ වරම් ලබා ගත්තා ය.
source: bbc.com/sinhala